නිවැරදිව බෝධි පූජාවක්
තබන්නේ මෙහෙමයි

උස් රථයක, තැන්පත්ව සාධුකාර හඬ මැද්දේ මහ පෙරහැරේ වැඩමවන ජය ශ්‍රී මහා බෝධිය දෙස  බලන සැදැහැවතුන්ගේ සිත් සතුටින් පිනායන බව පෙනේ. රථය අභියස දෙපසින් ගමන් කළෝ බෝධිය රකිනු පිණිස ධර්මාශෝක රජතුමන් විසින් එවන ලද දහඅට කුලයක පුරුෂයෝ වූහ. මුලු මහමෙව්නා උයනම කසාවතින් ද සුදුවතින් ද බැබලුහ. තැනෙක අභිඥාලාභී රහතන්වහන්සේලාය. තැනෙක සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂුන් වහන්සේලාය. තැනෙක මහණදම් පුරන්නට බලා සිටින අනුලා බිසව ඇතු. කාන්තාවන්ය. උස්තැනෙක මිහිඳුමාහිමියන් ප්‍රමුඛ නායක හිමිවරුන් පිරිවරාගත් දේවානම් පියතිස්ස රජතුමා හා ඇමැතිවරුය. හාත්පස සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ය. මල් සුවඳ, ලෙළදෙන කොඩි, හේවිසි බෙර හඬ සහ පංචතූර්ය නාදය සැමදෙනාගේ සිත් සතන් වශී කළෝය. බෝධිය රෝපණය කරන්නට සකසා තිබූ භූමියට පෙරහැර ළඟා විය. සියල්ලෝම භූමිය වටා සාධුකාර දෙමින් සිටගත්හ.

බෝධිය සහිත රන් කටාරම රජු ඇතු පිරිස විසින් මහත් භක්තියෙන් බිමට වැඩමවා රෝපණය කර වීම පිණිස භූමිය මත තැන්පත් කර දෑත් ඉවතට ගත්තා පමණි. එකවරම බෝධිය එයින් අහසට පැන නැංගේය. පිරිස විශ්මයෙන් ඇළලී ගියේය. අසූ රියනක් පමණ අහසට නැඟුණු ජය ශ්‍රී මහා බෝතොමෝ කිසිවෙකුට නොපෙනී ගියේය. මල් වැසි වසින්නට විය. වන්නේ කුමක්දැයි සිතාගත නොහැකි මුත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනාගිය සියල්ලෝ සාධුකාර දුන්හ.

දවස අවසානයේ සැන්දෑ හිරු නොපෙනී යන්නට ආසන්නය. නැගෙනහිර ක්‍ෂිතිජයේ වෘෂභ රාශිය උදාවෙමින් තිබිණ. “රෙහෙන නැකත උදාවූ  මෙහොතේ මහා බෝධිය පෘථිවිය මත පිහිටියේ යැයි” තිවක්ක නම් බ්‍රාහ්මණයා කිවේය. සියල්ලෝම බෝධිය පිදූහ. ඒ නිමවෙත්ම මහවැසි සමඟ මීදුමකින් බෝධිය වැසී ගියේය. සතියක් පුරා කිසිවකුට එය දැකගත හැකි නොවීය. සතිය අවසානයේ වැසි නැවතිණ. මීදුම පහව ගියේය. නැවත පිරිස එක්විය. සුගන්ධවත් ඖෂධ මුසුවූ සාරවත් පස්වලින් පිරි රන් කටාරමේ බෝධි වෘක්‍ෂය රෝපණය කරන ලදි. එහි රිකිලි පහක් වූ අතර පල පහක් ද විය. මේ පල පහ බිමට වැටෙන්නට නොදි මිහිඳුමා හිමියන් විසින් සිවුරෙන් පිළිගත් අතර ඒ පල පහ රෝපණය කරන්නට රජුට භාර කෙරිණි. රිකිලි රෝපණය කළ විට ජනයා බලා සිටියදීම පැළ අට බැගින් පැන නැංගේය. එලෙසින් බෝ පැළ 40 ක් විය. මේ බෝපැළ 40 ලංකාවේ විවිධ පළාත්වල රෝපණය කරන ලදි. මහරජතුමා විසින් ශ්‍රී ලංකා රාජ්‍යය සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කිරිමට මේ සිදුවීම හේතු විය. තවදුරටත් අනුරාධපුරය මහමෙව්නා උයනත්, ජය ශ්‍රී මහා බෝධියත් ගැන ඉතිහාසගත කරුණු මිහිඳුදු හිමියන් විසින් රජු ඇතු. පිරිසට පහදා දෙන ලදී. මහරජතුමනි, මීට පෙර බුදුවරයන් වහන්සේලා තිදෙනෙකුගේ බෝධිවෘක්‍ෂවල දක්‍ෂිණ ශාඛා මෙම උයනේ රෝපණය කර ඇත. කකුසඳ බුදු හිමියන්ගේ කාලයේ මහ මෙවුනා උයන තීර්ථ නම් විය. එකල මේ රට “ඔජදිප” නම් විය. උන්වහන්සේ පිටදුන් බෝධිය මහදි වෘක්‍ෂයයි. රූපනන්දා නම් භික්‍ෂුණියක් විසින් එය රැගෙන ආවේය. මේ කල්පයේ දෙවැනිව බුදු වූ කෝණාගම නම් බුදුන්ගේ කාලයේ මේ රටේ නම වර්ප නම් විය. මහමෙවුනා උයන “මහානාම” නම් විය. එකල උදුම්බරා බෝධිය වැඩම වූයේ කණකදත්තා නම් භික්‍ෂුණියක් විසිනි. මේ කල්පයේ තෙවැනිව බුදුවූ කාශ්‍යප නම් බුදුන්ගේ කාලයේ මේ රටේ නම මණ්ඩදිප නම් විය. මහමෙවුනා උයන “මහා සාගර” නම් විය. එකල නිග්‍රෝධ නම් බෝධිය වැඩම වූයේ සුධර්මා නම් භික්‍ෂුණියක් විසිනි. මේ දැන් රෝපණය කළ ඇසතු බෝධිය වනාහී ගෞතම බුදුරදුන් පිටදුන් බෝධියයි. මේ අනුව අනුරාධපුර මහමෙව්නා උයන සතර බුදුවරයින් වහන්සේලාගේම බෝධි වෘක්‍ෂ රෝපණය කළ පූජනීය භූමියකි.

බුදුරජාණන් වහන්සේලා සිව් දෙනෙකු පහළ වූ මේ කල්පය පුරාම බෝධි පූජාවද පැවති ඇති බව ධර්ම ග්‍රන්ථ කියවන විට පෙනේ. බෝධිය ගසක් බවත්, බෝධි පූජාව ද වෘක්‍ෂ වන්දනාවක් බවත් කෙනෙකුට සිතෙන්නට පිළිවන. එහෙත් ලෝකයේ පළමුවැනි බෝධිපූජාව සිදුකර ඇත්තේ ද බුදුරජාණන් වහන්සේ ම බව වටහාගත යුතුවේ. සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් වැනි අති දුෂ්කර කාලයක් මුල්ලේ පතන ලද බුද්ධත්වය උන්වහන්සේට ලැබුණේ බෝධි වෘක්‍ෂය මුලදීය. උන්වහන්සේ බුද්ධත්වය ලද පසුව සතියක්ම එහි ගත කළ සේක. (පඨමංබෝධි පල්ලංකං) ඉන් පසුව සතියක්ම ඇසිපිය නොහෙළා බෝධිය දෙස බලා සිටිමින් අනිමිස ලෝචන පූජාව කළ සේක. (තියංච අනිම්මිසං) ලෝකයේ ඉහළම තත්ත්වයට පත් බුහිමියන් මෙබඳු පූජාවන් කළේ මක් නිසාද යන්න වටහා ගැනීම කාලෝචිතය. නිවන අවබෝධ කිරිම නිසා තත්ත්වයන් තුනකට පත්විය හැකිය. ඒ රහත් බව, පසේබුදුබව හෝ සම්මා සම්බුදුබවයි. මෙයින් රහත් බව හෝ පසේ බුදු බව ඕනෑම තැනකදි ලැබිය හැකිය. ඊට බාධාවක් නැත. එහෙත් සම්මා සම්බුදු බව ලබන්නේ බෝධියක් (ගසක්) මුලදි පමණි. මේ ගසට බෝධි වෘක්‍ෂය යැයිද බෝ ගස යැයිද කියනු ලැබේ. එසේ කියනු ලබන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට උපකාර වූ ගස යන අර්ථයෙනි. මේ අනුව කකුසඳ බුදුරජාණන් වහන්සේ මහදි ගසක් මුලද, කෝණාගම බුදුන් වහන්සේ දිවුල් ගසක් මුලද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නුග ගසක් මුලද, පදුමුත්තර බුදුන් වහන්සේ සල්ගසක් මුලද ආදි වශයෙන් බුද්ධත්වය අවබෝධ කරගෙන ඇත්තේය. බුදුවරුන් විසි අටදෙනාට බුදුවීමට උපකාර වූ ගස් වලට අටවිසි බෝධි යැයි කියනු ලැබේ. දැනටමත් බොහෝ විහාරස්ථානවල මේ අටවිසි බෝධි රෝපණය කර තිබේ.

යම් ගොඩනැඟිල්ලක් තුළ හෝ හිස් භූමියක් තුළ බුද්ධත්වය නොලැබෙන්නේත් ඊට වෘක්‍ෂයක් උපකාර වන්නේත් වෘක්‍ෂයක විශේෂ බලයක් ඇති නිසාය. මිනිසෙකු විසින් රෝපණය කරන ලදුව ඉතිහාසයේ සඳහන් වන පැරණිතම වෘක්‍ෂය ජය ශ්‍රී මහා බෝධිය බව මෙහිදි සඳහන් කළ යුතුවේ. එදා සිට අද දක්වා විවිධ කරුණු සාර්ථක කර ගැනීම උදෙසා බෝධිපූජා පැවැත්වීමට සැදැහැවත් බෞද්ධයෝ පෙළඹී සිටිති. බෝධි පූජාව බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බව ද මෙහිදි සිහිපත් කිරිම වටී. උන්වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ වදාළහ. “ආනන්ද… ශාරිරික, පාරිභෝගික, උද්දේසික යැයි චෛත්‍යයෝ තිදෙනෙක් වෙති. ශාරිරික චෛත්‍ය කළ හැක්කේ බුදුවරු පිරිනිවීමෙන් පසුවය. බුදුවරු පාරිභෝග කළ මහාබෝධිය වනාහි බුදුවරු ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක්ම වන්නේය”
මේ අනුව බෝධි පූජාව යනු බුදුන් වහන්සේ විසින් කරන ලද්දා වූද අන් අයට එය කිරිමට අනුදැන වදාළා වූද පූජාවකි. බෝධි පූජාවෙන් ලැබිය හැකි ආනිශංස බොහෝය. ඒ බව බෝධි වන්දනා ගාථා වලින් ද ප්‍රකට වේ.

ආයුං ආරෝගතං වණ්ණං
යසං කිත්තිං ධනං බලං
වඞ්ඪෙන්තං පූජයන්තානං
වන්දේතං බෝධිමුත්තමං

පුදන්නවුන්ට ආයුෂ නිරෝගි බව, ශාරිරික වර්ණය, යසස, කීර්තිය, ධනය හා බලය යන මේවා වර්ධනය කරන්නාවූ උත්තම බෝධින් වහන්සේට වඳිමි. යනු එහි තේරුමයි. සසර දුක නිවා දැමීම සම්පූර්ණ වන්නේ නිවන් දැකීමෙනි. එහෙත් එතෙක් සසර ගමන් ගන්නා අපට නිරෝගි බව, ආයුෂ, ධනය, බලය වැනි දේ අවශ්‍ය වේ. මේවා ලබා ගැනීමට හෝ වෙනක් ලෞකික ප්‍රාර්ථනා සඵල කර ගැනීමටත්, උතුම් නිවන අවබෝධ කර ගැනීමටත් බෝධි පූජාව උපකාර වනු ඇත.
මෙසේ බෝධි පූජාව කරන සැදැහැවතුනට කුශල ශක්තිය රැස්වේ. කුශල ශක්තිය යනු වාහනයක ඉන්ධන මෙන් ගෙවී යන දෙයකි. කුශල ශක්තිය මත ලැබෙන සැප, ලාභ, ප්‍රශංසා, කීර්තිය ආදිය කුශල ශක්තිය ගෙවී යනවාත් සමඟම ආපසු පෙරළී දුක, අලාභ, අපකීර්තිය, නින්දා ආදි දේ වලට මුහුණ පෑමට සි≥වේ. මේ නිසා නිතර කුශලය රැස්කළ යුතුවේ. එසේ බෝධිපූජාව මගින් ලද කුශලය දෙවියන්ට අනුමෝදන් කළ විට දෙවියන්ගේ ආරක්‍ෂාව හා රැකවරණය ද ලැබේ.
මීළඟට සාකච්ඡා කළ යුතු වැදගත්ම කාරණය වන්නේ බෝධි පූජාව නිසි පරිදි කරන්නේ කෙසේද යන්නය. බොහෝ දෙනා බෝධි පූජා තබන අතර ඒ සඳහා කිරි ආහාර, මල් පහන් සුවඳ ධූප, කොඩි, දැහැත්, අෂ්ටපාන, චතුමධුර ආදි බොහෝ දේ යොදා ගනී. එහෙත් මූලික ව දැනගත යුතු වන්නේ බෝධි පූජාවකදි නොකළ යුතු දේ මොනවාද යන්නයි. බෝධිය යනු ගසක් බවත් ද්‍වවී පරිසරය ආරක්‍ෂා කරන ගසකට හිතකර හා අහිතකර දේ මොනවාද යන්නත් කල්පනා කරන විට ද වටහා ගත හැකිවේ. මේ අනුව ඉහත සෑම පූජාවක්ම පින් සිදුවන ලෙසින් මෙන්ම පව් සිදුවන ලෙසින්ද කෙරෙන බව වටහාගත යුතුවේ. බෝධි පූජාවකදි මුලින්ම කළ යුතු වන්නේ තමන් ඊට සුදුසු පරිදි සූදානම් වීමය. ඇඳුම විශේෂය. බෝධිය අභියසට යා යුත්තේ ඊට ගැලපෙන ඇඳුමෙනි. වසාගත යුතු තැන් පෙනෙන සේ අඩනිරුවත් ඇඳුමක් ද, නිල් කලු වර්ණ වලින්ද සැරසීම පාවහන් හිස් වැසුම් පැළඳීම නොකළ යුතුවේ. ශරිරය පිරිසිදු කරගෙන සුදුවතින් චාම්ව සැරසීම වඩාත් සුදුසු වේ. මීළඟට තමන් පූජා කරන දේ කුමක් වුවද ඒවා ඉතා පිරිසිදුව, ධාර්මිකවත් සපයාගත යුතු වේ.
දහඩිය මහන්සියෙන් සපයා තමන් විසින්ම සකසාගත් පූජා භාණ්ඩ සෑම පූජාවකටමත්, දානයකටත් සුදුසු වේ. දෙවැනිව බෝධිය අවට හා මල් අසුන් පිරිසිකර පවිත්‍ර කරගත යුතු වේ. ඇමදිම විශේෂ පින්කමකි. බෝපත් ඉවත්කර (ඇමදිමේ) පිනෙන් මෘදුවූ, සිනිඳුවූ මොළොක් වූ සමක් ඇති වන බවත්, ශරිරයේ ගඩු, කබර, ලපකැලැල්, පිළිකා දද ඇති නොවන බවත් බෝධි සමිඤ්ජන රහතන් වහන්සේ ගේ අපදානයේ සඳහන් කර ඇත. ඇමඳිමෙන් ලැබෙන මෙවැනි ආනිශංස විස්සක් (20) මෙහි සඳහන් වන අතර ලිපිය දීර්ඝ වන නිසා මෙහි සඳහන් නොකරමි. එය කෙටියෙන් මෙසේය.
“ඇමදිමේ අනුසස් පහකි. තමාගේ සිත පැහදි, අනුන්ගේ සිත පැහදි. දෙවියෝ සතුටු වෙති. රූප ශෝභාව ඇතිකරන පිනක් කරයි. මරණින් මතු ස්වර්ගයේ උපදි”
(පරිවාරපාළි)
පිරිසිදු කරන බෝමලුවේ වැලි ඇතිරීම ද කුශලයක් බව කිව යුතුය. බෝමලුවේ ඇති වැලි ඉක්මනින් දිරායන දෙයක් නොවේ. එහෙත් ලංකාවේ ප්‍රසිද්ධ බෝධීන් වහන්සේලා රෝපිත මලුවල මාස තුනකට පමණ වරක් නැවත නැවතත් වැලි ඉවත්කර අලූත් වැලි ඇතිරිමට සිදුව ඇත්තේ මලුව මත පහන් දැල්වීම නිසාය. පහන් සිය ගණන් මලුව මත දැල්වීම මෝඩ ශ්‍රද්ධාවක් බව කිව යුතුය.
එය ප්‍රඥාවෙන් තොරය. මේ විශාල පහන් දැල්ලෙන් නිකුත් වන අධික තාපය බෝ පත්‍රවලට හානිකර වේ. රත්ව දැවෙන පොල් තෙල් මලුවේ වැලි අතන් ගලාබැස එහි මුල් වලට හානිකරයි. එබැවින් එයින් පිනක් නොව පවක් සිදුවිය හැකිය. පහන් පිරිම පිනකි. එහෙත් මේ පහන් බෝධියට දුරින් හා හානි නොවන අයුරින් දැල්වීම මැනවි.
පහන් පහක් (5) පූජා කළ පංචදීපා නම් රහත් මෙහෙණින් වහන්සේගේ අපදානයේ මෙසේ දැක්වේ.

දිබ්බං චක්ඛුං විසුද්ධං මේ සමාධි කුශලා අහං
අභික්‍ද්ක්‍දා පාරමීපත්තා පංචදිපානිදං ඵලං”

මා හට පිරිසිදු දිගැස් ඇත්තේය. මම සමාධියෙන් දක්‍ෂ වෙමි. අභිඥාවන්ගේ කෙළවරට පැමිණියෙමි. මේ පහන් පස පූජා කිරිමේ ඵලයය. බෝධියට පැන්, මල්, පහන්, කොඩි, කිරි ආහාර, චතුමධුර, අෂ්ටපාන, ගිලන්පස ආදි දේ පූජා කිරිමත් ගාථා හෝ කවි මගින් ස්තුති පූජාව කිරිම් කළ හැකිවේ. බෝධීන් වහන්සේට වැඳිය යුත්තේ බුදු රජාණන්වහන්සේට වඳින්නාක් මෙන් ගෞරවයෙනි.
බෝධි පූජාව කිරිම මෙන්ම බෝධි රෝපණයද ආනිශංස දායක පිනකි. ග්‍රහ අපල සඳහා පූජා තබනවිට බෝධි පූජාව සඳහා සෙනසුරු අපලයට නිල්පාට කොඩි ද,සඳු අපලයට සුදු කොඩිද, කුජ අපලයට රතු කොඩි ද, ගුරු අපලයට කහකොඩි ද, සියලූ ග්‍රහ අපලවල දි ෂඞ්වර්ණ බෞද්ධ කොඩි ද පූජා කළ හැකිවේ.
පූජාව අවසානයේ දෙවියන්ට පින් ඣීම අවශ්‍ය වේ. බෝධි පූජාවේ දී නොදන්නා ගාථා රාශියක් කීම අත්‍යවශ්‍ය නොවන නමුත් අර්ථය දැනගෙන ගාථා කීම ප්‍රතිඵලදායක වේ. පහත සඳහන් වන්නේ ඊට සුදුසු ගාථා දෙකකි.

යස්ස මූලේ නිසීදි ත්වා – සන්තාහං ලෝකනායකෝ
විමුක්ති සුඛ සංවේදි  – වන්දේ තං බෝධි මුත්තමං

ලෝක නායක වූ තථාගතයන් වහන්සේ යම් බෝධියක් මුල වැඩ සිට සතියක් මුල්ලේ විමුක්ති සුවය වින්දේ ද ඒ උත්තම බෝධීන්වහන්සේට වඳිමි.
මහාදයෝ මහාසත්තෝ – බෝධි මූලේ නිසීදිය
පංචමාරෙදි පරාජෙත්වා – පත්තෝ සම්බෝධි මුත්තමං
ඒතේන සච්චේන – සොත්ථි මේ හෝති සබ්බ දා
බෝධිපූජාව ආනුභාව සම්පන්න පිංකමක් වීමට නම් බෝධිය යනු කුමක් ද? යන්නත් කිරිම ඵල විශ්වාසයන් ඇතිවත් එය කළ යුතුවේ. ඔබ සැමට උතුම් වූ ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ පිහිට ලැබේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු.

උපුටා ගැනීම දිවයින පුවත්පත