ක්‍ෂාර කර්මයේ වැදගත්කම

ආයුර්වේද ශල්‍ය චිකිත්සා ක්‍රමයක් වූ

ක්‍ෂාර කර්මයේ වැදගත්කම

ආයුර්වේද ශල්‍ය ච්කිත්සාව ප්‍රධාන අංග 4කින් යුක්ත වේ. එනම් යන්ත්‍ර කර්ම, ශස්ත්‍ර කර්ම, ක්‍ෂාර කර්ම හා අග්නි කර්ම යන ලෙසයි.
ශස්ත්‍ර හා අනු ශස්ත්‍ර අතුරින් ක්‍ෂාර කර්මය ප්‍රධාන වන්නේ ජේදන (කැපීම්), භේදන (පැලීම්), ලේඛන (සීරීම්) යන මේවා ක්‍ෂාරයෙන් සිදුකෙරෙන නිසා ද තුන්දොස් නසන නිසා ද විශේෂ කාර්යයන්හි යොදාගත හැකි නිසාත් ය.
ක්‍ෂාර වලට එම නම ලැබී ඇත්තේ දුෂිත වූ සිවි, මස් ආදිය ක්‍ෂරණය (වැගිරවීම) හා ක්‍ෂණනය (හිංසා කිරීම) සිදුකරන බැවිනි. ඒ සදහා ක්‍ෂාර සතු උෂ්ණ වීර්යය, පැසවන ගුණය, විලයනය (විනාශය) කරන ගුණය හා ශෝධන ගුණය උපකාරී වේ.
නව්‍යව ගත්කල මෙය භාෂ්මික ද්‍රව්‍ය සතු තීක්‍ෂ්ණ ගුණ (Caustic alkaline) මගින් තුවාල වල දූෂිත පටක විනාශ කර නව පටක සෑදීම උත්තේජනය කිරීමක් බව දැක්විය හැක.
ක්‍ෂාර ද්‍රව්‍ය උපයෝගී කරන ආකාරය අනුව දෙවැදෑරුම් ය.

1. ප්‍රතිසාරණීය ක්‍ෂාර – කුෂ්ඨ, අර්ශස්, භගන්දර, දූශිත ව්‍රණ, නාඩි ව්‍රණ, අර්බුද ආදී රෝග අවස්ථා වලදී බාහිර වශයෙන් ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී.

2. පානීය ක්‍ෂාර – කෘත්‍රිම විෂ ශරීරගත වූ විට, අජීර්ණ, ආහාර අරුචි, මුත්‍ර ගල්, අභ්‍යන්තර ව්‍රණ, පණු රෝග වලදී ක්‍ෂාර ද්‍රව්‍ය පානය කිරීමට ලබා දී ප්‍රතිකාර කෙරේ.

ක්‍ෂාර නිෂ්පාදනය සදහා පහත ශාක වර්ග වල මුල්, ගෙඩි, කොල, අතු සියල්ල යොදා ගනී.එනම් කෙළිඳ, කරල්හැබ, කෑළ, එරබදු, බුළු, ඇහැළ, ලොත්සුඹුල්, පළොල්, කරඳ, ඉරමුසු, කනේරු, හා රුක් අත්තන යන ශාකයන් ය.
පලමුව මේවායින් එක් ශාක වර්ගයක් තෝරාගෙන හොදින් වියළා දහනය කරයි. ඉන් ලැබෙන අළු ජලයේ දියකර ගනී. පසුව එම දියරය විසි එක්වරක් පෙරීමෙන් පසු ජලය ඉවත් වනතුරු රත් කිරීමෙන් අවසානයේ දී ඇත්දළ පැහැති ක්‍ෂාර ලබා ගත හැක.

final gra
ක්‍ෂාර සෑදීමේදී ශාක වර්ග දහනය කරන අතරතුර යොදන තවත් අමතර ඖෂධ වර්ග මගින් අවසානයේ ලැබෙන ක්‍ෂාර ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය මෘදු, මධ්‍ය, තීක්‍ෂ්ණ වශයෙන් ආකාර 3කට සාදා ගත හැක. ඒවා ප්‍රතිකාරයේදී රෝගයේ අඩු වැඩිතාවය මත යොදා ගත හැක.
ආයුර්වේදයේ ක්‍ෂාර යොදමින් සුවකල හැකි රෝග රාශියක් පවතින අතර ඉන් කිහිපයක් පහත පරිදි දැක්විය හැක.
අර්ශස්  – මෘදු වූ, බැහැරට නෙරාගියා වූ, යටට මුල් බැසගිය, ඉහළට ඉස්සුනු අර්ශස් අංකුර වල ක්‍ෂාර ආලේප කිරීමෙන් සුවකල හැක. මේ පිළිබද දීර්ඝ විස්තරයක් එනම් පූර්ව කර්ම, ප්‍රධාන කර්ම, පශ්චාත් කර්ම වශයෙන් සුශ්‍රැත සංහිතාවේ සදහන් කර ඇත. වර්තමාන සමාජයේ රෝගීන් බහුලව පීඩා විඳින රෝගයක් වූ අර්ශස් රෝගීන් හට මෙම ප්‍රතිකාර ක්‍රමය යොදා ගත හැක.

භගන්දර – ක්‍ෂාර ආලේපිත නූල්  හෙවත් ක්‍ෂාර සූත්‍ර මගින් ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන නාඩි ව්‍රණ ගුදයේ මාංශ පේශීන්ට හානි නොවන පරිදි සුවකිරීමේ හැකියාවක් ඇති අතර මෙම ප්‍රතිකාර ක්‍රමය අද බටහිර ලෝකය පවා පිළිගන්නා ක්‍රමයකි. මෙම ප්‍රතිකාරය මගින් නැවත රෝගී තත්වය ඇති වීම 90% ක් දක්වා අවම කෙරේ.

කල් ගත වූ තුවාල – මෙහිදී ක්‍ෂාර මගින් එහි ඇති දුෂිත වූ සිවි, මස් ආදිය ඉවත් කිරීමේ හැකියාව උපයෝගී කර ගනිමින් තුවාලය පිරිසිදු කරයි. එමගින් නිරෝගී නව පටක ඇතිවී තුවාලය සුවවීම ඉක්මන් කිරීම සිදුවේ.

නාසා අර්ශස් – නාස් කුහරයේ ඇතිවන මස් දළු හෙවත් නාසා අර්ශස් රෝගයේ දී ආයුර්වේද වෛද්‍යවරුන් අළු කෙසෙල් මගින් සාදාගන්නා කදලී ක්‍ෂාර මගින් සුව කිරීමට සමත් වේ.

ක්‍ෂාර භාවිතා කිරීමෙන් පහත වාසි ලබාගත හැක.
1. ශල්‍ය කර්ම කිරීමෙන් පසු ඇතිවන වේදනාව අවමයි.
2. රුධිර ගැලීමක් සිදු නොවේ.
3. දින ගණන් රෝහල් ගත වීමට අවශ්‍ය නොවේ.
4. නැවත රෝගය ඇතිවීමේ අවම සම්භාවිතාව
5. අතුරු ආබාධ නොපවතී.

මේ ආකාරයට සලකා බැලීමේදී ආයුර්වේදයේ පවතින විශිෂ්ඨ චිකිත්සා ක්‍රම අතුරින් ශල්‍ය චිකිත්සා ක්‍රමයක් වූ ක්‍ෂාර කර්මය ඉතා වැදගත් චිකිත්සා ක්‍රමයක් බව පැහැදිලි වේ. වර්ථමානයේ වෛද්‍යවරුන් හට මෙවැනි වටිනා ඖෂධ සාදා ගැනීමේ දුෂ්කරතාවයන් නිසා භාවිතය අල්ප වුවද මෙවැනි දෑ මගින් නව්‍ය වෛද්‍ය ක්‍රම අභිබවා යා හැකි බව ඉතා පැහැදිලිවම තහවුරු කල හැක.

 

dr ruwan

වෛද්‍ය ආර්.ටී.අහංගම ආරච්චි

බී.ඒ.එම්.එස් (ගෞරව)(කොළඹ විශ්ව විද්‍යාලය)
බිමායා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
කැස්බෑව.

නොමිලේ උපදෙස් සඳහා අමතන්න
071 8118703