බෙලි

රස සපිරි ඔසු ගුණැති බෙලි

77විශේෂයෙන් බෙලි, ශාකයේ ස්වභාවය අනුව වර්ග දෙකක් පෙන්නුම් කරයි. එනම් ගසේ කටු ගතිය අධික ගෙඩි කුඩා බෙලි විශේෂයයි. අනෙක් වර්ගය වන්නේ ගසේ කටු ගතිය අඩු ස්වභාවයක් පෙන්වන විශාල වූ ගෙඩි හටගන්නා බෙලි විශේෂයයි.


මේ ලක්ෂණ අපට පොදුවේ හඳුනා ගැනීමට ඇති කාරණ වේ. තවද ගෙඩි වල ප්‍රමාණ මෙන්ම රසය, ඇට ප්‍රමාණයේ අඩු වැඩි බව හේතු කොට ගෙනද ප්‍රභේද දක්නට ලැබේ. මෙම ශාකය ගාම්‍ය වශයෙන්ද වන ගතවද හොඳින් වැඬේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුම දේශය ආදි රටවල මෙම ශාකය වැවෙන බව සඳහන් කළ හැක. ව්‍යාවහාර අංග මුල්, පොතු, කොළ, මල්, ගෙඩි, පංචාගයම භාවිතා කරයි.

බෙලි ශාකයේ ගුණ
1. බලං බිල්ව ඵලං ශ්‍රාහි – දීපනං පාචනං කටු
කෂායෝෂ්ණං ලඝු ස්නිග්ධා – තික්තං වාත කඵා පහම්
ලපටි බෙලි ගෙඩි ග්‍රාහී ගුණයෙන් යුක්තයි දීපන පාචන කටු කෂාය රස යුක්ත වේ. වීර්යයෙන් උෂණයි. සැහැල්ලුයි. එසේම ස්නිග්ධ ගුණ යුක්තයි තික්තයි වාත කඵ නාශනය කරයි.
2. පක්වා ගුරු තිදෝෂං සභත් – දුර්ජනාං ප්‍රති මාරුතං
විද්‍රහි විශ්ඨම්බ කරං – මධුරං වහ්නි මාන්ද්‍යකෘත්
පැසුණු බෙලි (ඉදුනු බෙලි) බරයි. ත්‍රිදෝෂ ඇති කරයි. අමාරුවෙන් දිරවීම සිදු වේ. මිහිරි වේ. දාහය ඇති කරයි. ගිනි මද බව ඇති කිරීමට සමත් වේ.
රසායනික උපාද්‍රන වශයෙන්
බෙලි මදයේ පිච්ජිල පදාර්ථ, ශර්කර, වාශ්ඵුශීලි තෛල, නිර්යාස හා තික්ත පදාර්ථ අන්තර්ගතය
බෙලි ගසේ සියලු අංග වෙන වෙනම සලකා බැලූ විට එහි ඇති සුවිශේෂත්වය අපට වටහා ගත හැකි වේ.
බෙලි මල්
ප්‍රයෝගයේදී:- අතීසාර, අජීර්ණ, මුත්‍රාකාරක, වමන නාශක, ජ්වර නාශක, ග්‍රාහණී නාශක, රක්ත පිත නාශක, වා සෙම් නාශක, ආම පාචන, අග්නි වර්ධනය ආදියේ යෙදේ.
බෙලි මල් ඉතාම ගුණදායක ඖෂධීය පානයක් ලෙස අපට ප්‍රයෝජනයට ගත හැකි වේ. දාහ පිපාස ඇති අයට ඇඟ සිසිල් කරන අතර රුචිය ඇති කරන පිපාසා සංසිඳුවන පානයක් ලෙස ගත හැකි වේ. වමන අතීසාර අජීර්ණ ආදියේදී රෝග අවස්ථාවන් වලදී ද ගුණදායක වේ.
එසේම නිතර තේ කහට කෝපී ආදී පාන වෙනුවට බෙලි මල් තම්බා ගත් පානය ලබා ගැනීමෙන් ශාරීරික සෞඛ්‍යයට ගුණයක් එක් කර ගත හැකිද වේ.
බෙලි මල් පානය බොහෝ විට කිතුල් හකුරු කෑල්ලක් හෝ සීනි දමා පානය කිරීමට බොහෝ අය පුරුදු වී තිබේ.
බෙලි මල් පානය අතීසාරය නිසා ඇති වන ශාරීරික විජලනය පිපාසය සන්සිඳු වීමට ද සමත් වේ.
උෂ්ණ ප්‍රදේශ වල ජීවත් වන අයට උෂ්ණය සමනය කර ඇඟ සිසිල් කර ගැනීමට බෙලි මල් පානය දිව්‍ය ඖෂධයක් වේ.
බෙලි මුල්
මෙය බොහෝ විට භාවිතා වන්නේ වෛද්‍ය කර්මයේදීය. කෂාය සඳහා බෙහෙවින් යොදා ගැනීම පෙන්වයි. විශේෂයෙන් දශ මුල් කෂාය ප්‍රධාන වේ. ඒරණ්ඩ සප්තක කෂාය, බ්ල්වෝ රාෂ්ණා කෂාය ආදී තවත් රෝග ගණනාවකට බෙලි මුල් යොදා ගැනීම පෙන්වයි.
විශේෂයෙන් වාත නාශක ගුණයෙන් යුක්ත වේ. එබැවින්  වාත රෝගයනට ගුණ දෙන්නක් වේ.
තවද බෙලි මුලේ පොතුද කෂාය සඳහා යොදා ගනී.
අමු බෙලි ගෙඩි
බඩගිනි වඩන්නට එසේම මළ අධිකව යාම නතර කරන (මළ කැටි කරන්නට) ඉවහල් වේ. උෂ්ණ ගුණයෙන් යුක්ත වේ. ආහාරයට ගැනීමේදී ඇඹුල් රසද හෘදයට හිතකරද වේ. දිරවීමට පහසු වේ. සෙමද වාතයද නාශනය කරයි.
ඉදුනු බෙලි ගෙඩි
මෙය දිනපතා වුවද භාවිතා කළ හැකි පලතුරක් ලෙසත් ගත හැකි වේ. මළ බද්ධය දුරු කරන්නට හේතු වේ. ශාරීරික බලය ශක්තිය වැඩි කරයි. විශේෂයෙන් අර්ශස් රෝගීන් බහුලව ආහාරයට ගන්නා පලතුරකි. මෙම බෙලි මද දියකර පානයක් ලෙසින් ගැනීම ද ගුණදායක වේ.
ඉදුනු බෙලි මද පොල්කිරි, සීනි, ලුණු ස්වල්පයක් දමා සාදාගත් පානය ආහාර ගැනීමෙන් පසුව ගන්නේ නම් ආහාර හොඳින් දිරවා රස මාංශ මේදස් ආදී සප්තධාතු වර්ධනය කරන්නට සමත් වේ. පැසුනු බෙලි මද මී පැණි සමග සේවනය කිරීමෙන් අතීසාරයද ලේ අර්ශස් රෝගීන්ටද බඩඑලිය යාමටද ගුණදායක වේ.
බෙලි ගෙඩියේ කටුව (බෙලි කට්ට)
බෙලි මදය ආහාරයට ගෙන එම කටුව තම්බා බීම පැරැණ්නන් විසින් අනුගමනය කර තිබෙන අතර වර්තමානයේද එය සිදු කරනු ලබයි. මෙය ඉතා ප්‍රණීත රසවත් ගුණවත් ඖෂධීය පානයක් වේ. ඇඟ සිසිල් කරන්නට සමත් පානයක්ද වේ.
බෙලි කොළ
බෙලි කොළයේ හොඳ සුවඳක් තිබේ. විශේෂයෙන් බෙලි කොළ රෝග ගණනාවකට හිතකර වේ. කොළ යුෂ ගම්මිරිස් සමග ආහාරයට ගැනීමෙන් කාමලා මෙන්ම දියවැඩියාවටද ගුණදායක වේ.
තවද නේත්‍රාභිෂ්‍යන්ද රෝගයේදී පිරිසිඳු බෙලි කොළ යුෂ ඇසට වක් කිරීම සිදු කරයි.
එසේම බෙලි කොළ යුෂ පානය කිරීම සෙම් රෝග ස්වාස නසන ගතියද ඇත.
ශාරීරික අධික දුගඳක් ගෙනෙන දහඩිය අධිකව ඇති අයට බෙලි කොළ කොටා ඇගේ ගා පැය 1/2 න් පසුව නෑමෙන් ශාරීරික දුර්ගයන්ධය ඉවත් කළ හැකි වේ.
බෙලි කොළ යුෂ අක්මාව උත්තේජනය කර පිත ඇති කිරීමට හේතු වන බැවින් සෙංගමාල රෝගයේදී ප්‍රයෝජනයට ගැනේ. මෙහිදී පිත් අවරෝධය ඉවත් කර ගැනීමට බෙලි කොළ යුෂ පිටිවහලක් වනු ඇත.
බෙලි කොළ පවනේ වියලා කුඩු කර තබා ගෙන තේ මෙන් වක්කර බීමෙන් අම්ල පිත්ත රෝගයට ගුණදායක වේ. එහිදී දාහ අඩු කර ඇඟ සිසිල් කරයි.
තවද වේදනා නාශනයට ඉදිමීම සමනයටද බෙලි කොළ උපකාර වේ.
හිසරදය අවස්ථාවලදී බෙලි කොළ, කොත්තමල්ලි දෙහි කොළ තම්බා ගත් වතුරේ හුමාලය අල්ලන්නට දීම සිදුකරයි. (ස්වේද දීම) මළ මාර්ගයේ අධික වේදනා ඇති අර්ශස් රෝගයේදී බෙලිමුල් කෂාය සකසා මද රස්නය තිබියදී එයට (කෂාය වතුර බේසමකට දමා) බැස සිටීම ගුණයි. (අවගාහනය කිරීම)
බෙලි ගෙඩියේ මදයෙහි තෛල ගතිය නිසා මහ ස්‍රෝතස් මාර්ගයේ ධාරණ ශක්තිය ඇති කරයි. තවද මුල් හා ගසේ තිබෙන කුරුට්ට තුවාල ශෝධන සහ ව්‍රණ රෝපණ ගුණයෙන් ද යුක්තයි.
කුඩා දරුවන්ගේ බාලගිරි දෝෂවලට බෙලි ගසේ කටුවලින් මාලයක් සාදා බැදීම සිදු කරන බවද ග්‍රන්ථවල සඳහන් වේ.
ඉහත කරුණු ගෙනහැර දැක්වීමේදී බෙලි ගසේ ඇති ඖෂධීය මෙන්ම ආහාරමය ද පලතුරක් ද මෙන් ඇති වටිනාකම ඔබට වැටහෙනවා ඇත.
පංචාංගයම මිනිස් සිරුරට හිතකර බැවින් සියලු දෙනාම තමන්ගේ ගෙවත්තේ ඉඩ කඩ ඇති තැනක බෙලි ගසක් පැලකර ගන්නේ නම් එය ගත සිත ප්‍රබෝධමත් කරන්නට හේතු වේ. නිවසේ යසස කීර්තිය මෙන්ම ශාරීරික සෞඛ්‍යය ප්‍රභාමත් කර ගැනීමටද එය ඉවහල් වනු ඇත.
එසේම සෞඛ්‍යය සම්පන්න නිරෝගීමත් ජීවිතයක් ඔබට උදාකර ගැනීමට ද එවිට හැකි වේ.

ආශ්‍රිත ග්‍රන්ථ :- ඔසුතුරු විසිතුරු
ඖෂධ සංග්‍රහය
සරස්වතී නිගන්ඩුව
වෛද්‍යාචාරිණී අග්‍රා සුභාෂිණී ජයකොඩි
ගම්පහ බෙහෙත් ශාලාව
කොස්සින්න හන්දිය-ගණේමුල්ල