බේද නැතිව කාටත් වැලඳෙන බෙල්ලේ ඇමැට්ටිය

neckබෙල්ලේ ඇමැට්ටිය යනුවෙන් ජනවහරෙහි පවතින මෙම රෝගී තත්වය දේශීය වෛද්‍ය විද්‍යාවේදී මන්‍යාස්ථම්භය යනුවෙන් හැදින්වේ. ගෙල ඇසුරු කරමින් ඇතිවන ඉතාමත් වේදනාකාරී රෝග අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක.

ගෙල හරවා යම් දෙයක් දෙස බැලීමට පවා මෙහිදී අපහසු වේ. මන්‍යාව නමින් හඳුන්වන බෙල්ල දෙපස පිටුපස කොටස මෙහිදී පීඩාවට ලක් වීම සිදු වේ. මෙම කොටසෙහි උත්තාන ගම්භීර පේශීන් හා ඒ අතර විසිරී යන නාඩීන්ගේ අක්‍රාන්තිය ප්‍රකෝප වූ වාතය හේතුවෙන් සිදුවන අතර මන්‍යා ප්‍රදේශය ගල් ගැසුනාක් බඳු තද ගතියකට පත් වීමද සිදු වේ. තවද හිසරදය, අත්වල වේදනාව, කන අභ්‍යන්තරයේ ඇතිවන ශබ්ද, ඔක්කාරය හා ක්ලාන්තය, ඇස් පෙනීම දුර්වල වීම ආදී රෝග ලක්ෂණද ඇති විය හැක.

දිවා කාලයේදී අධික නින්ද, වල ගොඩැලි සහිත අසම ස්ථානවල නිදා ගැනීම, බොහෝ වේලාවක් හිස ඉහළට යොමා ඇස් උඩුකුරු කොට බලා සිටීම, තෙත සහ ගොඩැලි සහිත කොට්ට වල හිස තබා නිදා ගැනීම ආදිය මෙම මන්‍යාස්ථම්භ රෝගයට හේතු වන බව දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ. වෙනත් රෝගයක උපද්‍රවයක් වශයෙන් මෙම තත්වය ඇතිවන අවස්ථාද පවතී. විශේෂයෙන් මොලයේ ඉදිමීම (මස්තිස්කාවරණ කලා ප්‍රදාහය) (meningitie) වැනි රෝග හේතුවෙන්  ඇතිවිය හැක. ආමවාත, රක්තදූෂිත තත්ත්වද මේ සඳහා බලපානු ඇත. පරිගණක ආශ්‍රිත රැකියාවල නිරත වන අයට මෙය බහුලව ඇති වීමක් වර්තමානයේ දක්නට ලැබේ. මෙවැනි රෝගීන් කොලරයක් පැලද තම කාර්යයන්හි නිරතවීම සුලභ දසුනකි.
දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මේ සඳහා ඉතාමත් සාර්ථක චිකිත්සාවන් පවතින අතර ඇති වීමට හේතු කාරණා සොයා බලා රෝගය හොඳින් හඳුනා ගැනීම වැදගත්වේ. නින්දේ ස්වභාවය අනුව සිදුවී ඇති නම් ඒ සඳහා නින්දට සුදුසු පරිදි කොට්ටය සහ ඇඳ සකස් කර ගැනීම වැදගත් වේ. දහඩියෙන් තෙත් වූ කොට්ටයක් භාවිතා කර ඇති නම් එය අව්වේ හොඳින් වේලා භාවිතා කළ යුතු වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම රෝගී තත්ත්වය ඇතිවන අතර මැදි වියෙහි පසුවන අයට බහුලව ඇති වීමක් දක්නට ලැබේ. ඖෂධීය තෙල් ගෑම, තැවීම, නස්‍ය කිරීම ආදිය සුදුසු පරිදි සිදුකළ යුතු අතර අභ්‍යන්තර වශයෙන් කෂාය, ගුලි, කල්ක ආදියද යෙදීම වැදගත් වේ.
අපථ්‍ය  ආහාර:-
වට්ටක්කා, කරවිල, බල මාළු, ඉස්සො, තක්කාලි, සැමන්, ටින් මාළු, අන්නාසි හා අච්චාරු
අත් බෙහෙත්:-
* මී තෙල් ගා බත් පොට්ටනියකින් තැවීම.
* බිත්තර සුදු මද 3 සහිඳ ලුනු කුඩු තේ හැඳි 3 පරණ ගිතෙල් මේස හැඳි 3
ඉහත ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර මදක් රත් කර රෙදි කඩක ගා පැලැස්තරය බෙල්ලට එලීම.

දේශීය ආයුර්වේද වෛද්‍ය,
වෛද්‍යාභිමානී,
වෛද්‍ය විශාරද පණ්ඩිත, සාම විනිසුරු ( මු.දි )
සමිතා ප්‍රභාෂිනී එදිරිවීර
සෙත්පිරි වෙද ගෙදර පෝරේ, අතුරුගිරිය011 2762521