සිරුරෙන් ලේ ගලන රක්ත පිත්ත රෝගය

444රක්ත පිත්ත රෝගය ශරීරයේ ඌර්ධවගතව (උඩු කොටස) හෝ අධෝගතව (යටි කොටස) බාහිරව විවෘතව පවතින ඉන්ද්‍රියන්ගෙන් රුධිරය වහනය වීමක් සිදු වන රෝගයකි. එනම් ඇස, කන, නාසය, මුඛය (ඌර්ධව) හෝ මුත්‍ර මාර්ගය, යෝනි මාර්ගය (අධෝගත) යන ස්ථානවලින් සිදුවන රුධිර බැහැර වීමයි. නාසයෙන් ලේ ගැලීම, ගුදයෙන් ලේ ගැලීම ආදිය බහුලව පවතින අතර අනෙකුත් ඉන්ද්‍රියන් ගෙන් හා සමෙන් පවා රුධිරය වහනය වන අවස්ථා පවතී. මෙසේ රුධිරය බැහැර වන තවත් රෝගාබාධ බොහොමයක් පවතින අතර නිවැරැදි රෝග නිර්ණය මෙහිදී ඉතා වැදගත් වේ.

රක්තාශයේ රක්ත ප්‍රදර, ඩෙංගු රක්තපාත පිළිකා ආදිය ද බාහිර හේතූන් වන නාසයට හිසට පහර වැදීම් ආදියේදී ද රුධිරය බැහැර වන බැවින් රෝග ලක්ෂණ හා හේතු කාරණා සොයා බැලිය යුතුවේ. රක්ත පිත්තයේ මුල් අවස්ථාව දූෂිත රුධිරයයි.
පමණ ඉක්මවා අව්වේ සිටීම, අධික ව්‍යායාම, වෙහෙසීම, බෙහෙවින් ශෝක වීම, පයින් දුර ගමන් යාම, තීක්ෂණ උෂ්ණ ලුණු ඇඹුල් අධිකව ගැනීම, අධික කුළුරස දේ වැඩිපුර ගැනීම යන හේතූන් මගින් පිත දූෂණය වී ලෙය දවාලයි. මෙම ලෙය උඩුකුරුව හෝ යටිකුරුව ගොස් යම් ඉන්ද්‍රියක් ඔස්සේ රුධිරය බැහැර වීම මූලික ලක්ෂණය වේ. සියලු රත් පිත් පිත ප්‍රධානව පවතින අතර කඵ (සෙම) හා වාත දෝෂ ද මෙයට හේතු වේ. සාරාර්ථ සංග්‍රහයේ පස්වැදෑරුම් රක්ත පිත්තයන් දක්වා ඇත. සෙම ලුහු බඳිනා රත්පිත ඌර්ධගතවද වාතය ලුහු බඳිනා රත්පිත අධෝගතවද සෙම් වා දෙකෙන් නැගුනු රත්පිත උඩු හා යටිකුරුවද (ද්වි මාර්ගිකව) බලපෑම සිදු වේ. මින් තුන්වන අවස්ථාව ආසාධ්‍ය ලෙස සැලකේ.
චිකිත්සාවේදී රෝග ලක්ෂණ පවතින්නේ උඩුකුරුවද යටිකුරුවද සම ආශ්‍රිතවද යන්න සලකා බැලිය යුතු වේ. මුල් අවස්ථාවේ බැහැර වන ලෙය දූෂිත බැවින් යම් ප්‍රමාණයක් බැහැර වීමට පෙර ප්‍රතිකාර යොදා නැවැත්වීම නුසුදුසු වේ. එකවර ලෙය නතර කිරීම හේතුවෙන් හෘදයාබාධ, කුෂ්ඨ අර්ශස්, විසර්ප, භගන්දර වැනි රෝග ඇතිවීම, ශරීරයේ පැහැය වෙනස් වීම, බුද්ධිය වෙනස් වීමද සිදුවිය හැකි බවට මත පවතී. චිකිත්සා වශයෙන් දේශීය වෛද්‍ය විද්‍යාවේ දක්වා ඇත්තේ ස්තම්භන, ශෝධන, ශමන යන පිළිවෙලයි. ශරීර තත්ත්වයද සලකා බලා ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසු වේ.
පත්‍ය:- හැටදා සහල්, අමු ඇට, ඌරු හාල්, තණ හාල්, වල් මුං, තෝර පරිප්පු, රතු පරිප්පු, මුං ඇට, කඩල, පතෝල, වේ කරටි, කූරු තම්පලා, ඉඳුණු අට්ටික්කා ගෙඩි, බෙලි, ඉඳුණු දිවුල්, රටඉඳි, නෙල්ලි, ඇද්දෙමට ගෙඩි, කළු උක්, ගිතෙල් මිශ්‍ර ආහාර ආදිය ආහාර සඳහා ඉතාමත් යෝග්‍ය වේ.
අපත්‍ය:- උෂ්ණාධික මස්, මාළු, එළවළු, පලතුරු ආදිය අපත්‍ය වේ.

ආයුර්වේද වෛද්‍ය,
සමිතා ප්‍රභාෂිනී එදිරිවීර
011 2762521