මංගල උත්සව අවමංගල කරන්නේ ඇයි

මංගල උත්සව අවමංගල කරන්නේ ඇයි

  • ආගමික වශයෙනුත්
  • ජාතික වශයෙනුත්
  • සංස්කෘතික වශයෙනුත්

weddවිවිධ වැදගත් අවස්ථාවන් සැමරීම සඳහා විවිධාකාර උත්සව පවත්වන ශ්‍රී ලංකාව තරම් රටක් ලොව වෙන නැති තරම්ය. මෙම උත්සව අතර සංස්කෘතික වශයෙන් සිංහලයා අතර පැවැත්වෙන උත්සව කීපයකි. එනම් උපන් දින උත්සව, ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීමේ උත්සවය, විවාහ මංගල උත්සව හා ගෙවැදීමේ උත්සව ආදියයි.

මෙම උත්සව පැවැත්වීමේ පුරුද්ද සිංහලයා තුළ අනාදිමත් කාලයක සිට පැවත එයි. මෙවැනි අවස්ථා මුල්කරගෙන උත්සව පැවැත්වීමට හෙළයා හුරු වූයේ ඇයි? එදා එයින් බලාපොරොත්තු වූයේ එකී කාරණයට අදාළ තැනැත්තාගේ හෝ එම ස්ථානයේ ඇති හෝ ඉදිරියේදී ඇති විය හැකි අපල උපද්‍රව දුරු කිරීම සඳහා ආශිර්වාද සෙත් ශාන්ති ආදිය ලබා දීමට හා එකී පුද්ගලයාට අවශ්‍ය යහපත් උපදෙස් ලබා දීමටත්ය. එදා සමාජයේ සිල්වත්, උගත්, ගුණවත් වැඩිහිටියන් සිටි අතර ඔවුන්ගේ අවවාද, උපදෙස් ලබා ගැනීමට හා ඒ අනුව තම ජීවිත හැඩගසා ගැනීමට සමාජය කැමැති විය.
ඉහත සඳහන් උත්සව පෙර දවස පැවැතියේ බොහෝ දුරට නිහඬව හා සංවරව මිස රටට පෙනෙන්නට උජාරුවට නොවේ. දරුවාගේ උපන් දිනය සැමරුවේ පවුලේ උදවියත්, අසල්වැසියනුත්, හිතවතුනුත් සහභාගි කරවා ගෙන වැඩි කල එළියකින් තොරවය. පැමිණෙන උදවියට සංග්‍රහ කරන ලද්දේ අළුවා කෑල්ලක්, කිරිබත් කෑල්ලක්, තේ කහට ටිකක් හෝ කෝපි කෝප්පයකිනි. දරුවා බැලීමට පැමිණියේ දරුවාට සබන් කෑල්ලක්, අලුත් ඇඳුමක්, පවුඩර් ටින් එකක් අතැතිවය. සමහර විට යම්කිසි මුදලක් දරුවාගේ අතේ විටමෙලැවූ අය ද සිටියහ. සමහරු දරුවා වඩාගෙන හරතල් කළහ. හිස් අතගාමින් ආශිර්වාද කළහ. කුළුදුල් දරුවකු නම් දරුවාගේ
මවට දරුවා නාවන, කවන, පොවන, නිදිකරවන, දරුවාගේ ඇඳුම් සෝදන ආකාරය සහ ඇඳුම් සේදූ ජලය ඉවත දමන ආකාරය ගැන පවා පළපුරුදු මව්වරු උපදෙස් දුන්හ.

  • විවාහ මංගල්‍යයක් නම් මනාල යුවල කැඳවාගෙන ආවේ ඉතා ආදරයෙනි. විවාහය සිදුකිරීමේදී සුබ නැකතින් මනාල යුවල පෝරුව මත නැංවීම, නූල් පොටකින් දෙදෙනාගේ ඇඟිලි බැඳීම, තැලි, පළි පැළඳවීම, අෂ්ටක හා ජයමංගල ගාථා ගායනා කිරීම කිළිකඩ පිළිගැන්වීම, නව යුවළ පිටත් කිරීමට පෙර ඥාතීන්ට වැදුම් පිදුම් කිරීම ශුභ මොහොතින් පිටත් කිරීම ළඟ පාත නම් පයින් හෝ දුර බැහැර නම් වාහනයකින් හෝ කැඳවාගෙන යෑම, මනාලයාගේ නිවසේදී ජයමංගල ගායනා කර නව යුවල සහ පැමිණි පිරිස ආචාර සමාචාර සහිතව පිළිගැනීම දෙපසේ නෑදෑයන්ට සංග්‍රහ කිරීම ඉන්පසු මනාල යුවල අසුන්ගන්වා දෙපසේ නෑදෑයන් රැස්ව නව යුවලට අවශ්‍ය උපදෙස් දී ආශිර්වාද කිරීම ආදී කටයුතු කිරීම ඉතා සංවරව, ගුණගරුකව සිදුකෙරිණි. ඥාතීන් හා හිතවතුන් විසින් තෑගි බෝග වශයෙන් මුදලක් හෝ භාණ්ඩයක් පරිත්‍යාග කෙරිණි. මනාල යුවල නෑදෑ හිතවතුන්ට වැදුම් පිදුම් කළේය.
  • ගැහැනු දරුවකුගේ මල්වර මඟුලක් නම් ජ්‍යොතිෂය අනුව මල්වර වීමේ ශුභා ශුභ විමසා බලා එම දැරිය රැකවරණ සහිතව තනි නොකර නිවසේ කාමරයක රඳවා තැබීම, ශුභ නැකතකින් නෑවීම, සළු පැළඳවීම, ආහාර අනුභව කිරීම, ආරක්‍ෂා නූල් බැඳීම පිරිස ඉදිරියට කැඳවාගෙන ඒම, පැමිණ සිටින පිරිසට එම දැරිය වැදුම් පිදුම් කිරීම නෑදෑ හිතවතුන් විසින් එම දැරියට තෑගි බෝග දීම වැනි දේ නිසි පරිදි සිදු කෙරිණි. මෙහිදී ද ඉහත සඳහන් කළ පරිදි විවාහ මඟුලකදී මෙන්ම එම දැරියට වැඩිහිටියෝ උගත්හු ආශිර්වාද කළහ. සමහරු සෙත් පිරිතක්, ගාථාත් කියා හිස අතගා ආශිර්වාද කළහ. ඉදිරි ජීවිතය ගැන අවශ්‍ය උපදෙස් දුන්හ.

අලුතින් ඉදිකරගත් නිවසකට පිවිසීම ද ඉහතින් කී පරිදි ජ්‍යොතිෂය ක්‍රමය අනුව ශුභ නැකත් අනුව සිදුකෙරිණි. ශුභ නැකතකින් ගෙවැදීම, කිරි ඉතිරීම, ගිනි මෙලවීම, බුද්ධ වන්දනාව, ඥාතීන්ට සංග්‍රහ කිරීම, සිදු විය. නෑදෑ හිතවතුන්ගෙන් තෑගි බෝග වශයෙන් ගෘහ භාණ්ඩ හෝ මුදල් පරිත්‍යාග කෙරිණි. කරුණු කාරණා දන්නා උදවිය එම ගෘහය ගැන විමසා බලා අඩුපාඩු ඇත්නම් පෙන්වා දුන්හ. නිවස තුළ පිළියෙළ කර ගත යුතු ආකාරය ගැන උපදෙස් දුන්හ. පැමිණි සැම කෙනෙක්ම ගෘහයේ අභිවෘද්ධියට ආශිර්වාද කළහ.
මේ ආදී වශයෙන් උපත, මල්වරය, විවාහය, ගෘහ ප්‍රවිෂ්ඨය වැනි කරුණු පෙර දවස සිදු කරන ලද්දේ ඉතා සංවර ලෙසය. උපතකදී නම් දරුවා ද මල්වරයකදී නම් නව යොවුන් දැරිය ද විවාහයකදී නම් නව යුවල ද ගෘහ ප්‍රවිෂ්ඨයකදී නම් ගෘහය ද මූලික විය. සැමගේ අවධානය යොමු වූ කේන්ද්‍රය විය. එවැනි අවස්ථා ශුභ අවස්ථා නිසා ආශිර්වාදාත්මක අවස්ථා නිසා මත්පැන් මාස් මාළු වැනි දේ යොදා ගත්තේ නැත. මෙවැනි අවස්ථා යොදා ගත්තේ අලුත උපන් දරුවාට, මල්වර වූ දැරියට, විවාහ වූ දුවට, පුතාට ඉදිකර ගත් අලුත් නිවසට දියුණුව සඳහා ශුභ පැතීමටය.
මෙවැනි අවස්ථාවලදී අද සිදුවන්නේ මොනවාද? ඕනෑම උත්සවයකට නිවස ඉදිරිපිට තැනින් තැන පාට පාට කුඩ අටවා මේසයක් තබා ඒ මත තබන්නේ අරක්කු, බදින ලද මස්, මාළු ආදියයි. ප්‍රථම සංග්‍රහ තමා ඒ. ඉන් පසු කෑම මේසය ඇත. එහි විවිධ කෑම වර්ග අතර මස්, මාළු අනිවාර්යයෙන් ඇත. අලුත උපන් දරුවාට මල්වර වූ ආදරණීය දැරියට නව විවාහ යුවලට නව ගෘහයට ආශිර්වාද කරන්නේ සතුන් කීදෙනෙක් මරලාද? බෙලි කපලාද? විෂ, මත් පැන් පොවලාද, මේ මොන අසමජ්ජාති වැඩක්ද? ඒ සතුන් මැරීමේ මත්පැන් පානය කිරීමේ විපාකය වන්නේ බිළිදා රෝගී වීම හා අකල් මරණයට පත්වීම විවාහ ජීවිතය කාලකණ්ණි වීම මල්වර වූ දැරිය විවිධ රෝගාබාධවලට ලක්වීම අලුතෙන් ඉදිකරගත් නිවස යක්‍ෂ පුරයක් වීම, භූත බලවේග ඇති වීම වැනි අසුබ පල විපාකයන්ය.
මෑතක් වන තුරු මෙකී උත්සව අවස්ථා සඳහා කෑම බීම පිළියෙළ කෙරුනේ නෑදෑ හිතවතුන් විසිනි. රස කතා විහිලු කතා උපදේශ කතා ආදිය කියමින් සිනහවෙමින් එම කටයුතු කෙරිණි. ආහාර පාන පිළියෙළ කිරීම ගැන දන්නා අයගෙන් නොදන්නා අයට ගුරුහරුකම් ලැබිණි. නොදන්නා උදවිය දැනුවත් වූහ. ඒ කාර්යය සඳහා කුලියක් ගෙව්වේ නැත. එහිදී අන්‍යොන්‍ය සුහදත්වය ඇති විය. මුදල් ඉතිරි විය. ගෘහ විද්‍යාව ක්‍රියාත්මක විය.
ඒ වෙනුවට දැන් කෙරෙන්නේ “කේටරින් සර්විස්” නමැති ක්‍රමයට අනුන් විසින් ආහාර සපයා දීමෙනි. ආහාර පිඟානක් රු. 1000, 2000 තරම් වෙයි. ගෙදරින් ගිය සංඛ්‍යාව අනුව කෑම පිඟන් ගණනට මුදල් ගෙවිය යුතුය. එය හරියට උත්සවයට ගිය වියදම් ලබා ගැනීමට යොදා ගන්නා මාර්ගයක් මෙනි. “මඟුලට යන්ඩත් ඕනෑ දෙන්ඩ සල්ලිත් නෑ යන උභතෝකෝටික ප්‍රශ්නයකට නැති බැරි මිනිසා මුහුණපායි.
ඒ අතරම අපේ සමහරු තිබෙන තරම් මස් මාළු බෙදාගනිති. අවසානයේදී ටිකක් කාලා හුඟක් විසිකරති. කන්නේ අත උඩ තියාගෙනය. කන ගමන් වතුර ගන්ඩ දුවන්ඩත් ඕනෑ. කෑමට යන්නේ සමහරුන් ඇති තරම් සූර්වෙලාය. කකා සිටිගමන් මත් වී පෙරලෙන අවස්ථා ද ඇත. එම අයට කෑමෙන් පසු ගුටි කෑමට ද සිදුවූ අවස්ථා ඇත. සමහර විට වාහනයක් ගෙන්වා ඔහු ඊට පටවා ගෙදර යැවීමට උත්සවය හිමියාට සිදුවෙයි. කෑමත් කාලා අරක්කුත් බී අනුන්ගේ වියදමින් වාහනයකින් ගෙදර යන්නේ කෑමට බීමට සතයක් හෝ නොදීය.
උත්සවය ආරම්භ වූ අවස්ථාවේ සිට ඒ අසල විශේෂ මණ්ඩපයක් සාදා පටන්ගන්නේ “මියුසික් බෑන්ඞ්” එකේ වාදන හා ගායන හඬය. ප්‍රදේශයම දෙදරවමින් හඬ පැතිරෙයි. සමහරු නටති සමහරු වැටෙති. සමහර විට ඔහු වැනැ වැනී ගෙදර යන්නේ කෑම නොකා, උත්සවය වෙනුවෙන් කිසිවක් නොදීය. මේ ගායන වාදන දෝංකාරය නිසා එහි පැමිණි පිරිසට ඔවුනොවුන් අතර කතාබහට ද අවකාශ නැත. මෙවැනි මඟුල් අවස්ථාවකදී සමහරුන්ට කාරණයට අදාළ බිළිඳා දැරිය, මංගල යුවල නිවසේ විසිතුරු දකින්නවත් ඉඩක් නැත. පැතූ ආශිර්වාදයකුත් නැත. ලියුම් කවරයකට මුදලක් දමා කවුරුන් අතට හෝ දී යයි. එම ලියුම් කවරය එය ලබා ගත්
අයගේම සාක්කුවට දැමීමටත් ඉඩ ඇත. එක්තරා මල්වර මඟුල් අවස්ථාවක, කටයුතු අවසන් වී බලන විට මල්වර වූ දැරිය නැත. මේ කෑම බීම නැටුම්, වැයුම්, ගැයුම් අස්සේ ඇය තරුණයකු සමග පැන ගොස් ඇත. මාස කීපයකට පසු ආරංචි වූයේ ඇය දුර ප්‍රදේශයක සැමියෙක් සමඟ අඹුවක් ලෙස ජීවත් වන බවය. කමක් නෑ මල්වර උත්සවයත්, මංගල උත්සවයත් එකෙන්ම පිරිමැසුණා.
විවාහ මංගල්‍යයකට මනාල ජෝඩුව සමහර විට ඇඳුම් සපයා ගන්නේ කුලියටය. අලුත් සම්ප්‍රදාය අනුව මනාල පක්‍ෂයේ සමහරු මනාල යුවල අතරමගදී වාහනයෙන් බස්වාගෙන එහෙන් මෙහෙන් කොළ අතු පටලවා ගත් ට්‍රැක්ටරයක හෝ ලෑන්ඞ්මාස්ටරයක මනාල යුවල නංවාගෙන මනාලයාගේ නිවස කරා කැඳවා යන ක්‍රමයක් ද වර්තමානයේ ඇතැමුන් කරන විහිලුවකි. මෙසේ කැඳවාගෙන ගිය මනාලියගේ මංගල ඇඳුම ඉරී යෑමෙන් ඇය ලැජ්ජාවට පත්වීමත් ඇඳුමට වන්දි ගෙවීමටත් සිදුවූ අවස්ථාවක් මම දනිමි. මේ මොන කෝලම්ද? වැදගත් බලාපොරොත්තු සහිතව මංගල ගමනේ යෙදුන නව යුවලට අත්වන ඉරණම මොකක්ද?
දැන් මඟුල අවසන්ය. මංගල්‍යය පැවැත්වූ තැනැත්තා ආදායම ගණන් බලයි. උත්සවය සඳහා ලබාගත් ණය මුදල ගෙවීමට ආදායම නොසෑහෙයි. කේටරින් ස්ර්විස් එකට සහ මියුසික් බෑන්ඞ් එකට ගෙවීමට තරම් මුදල් නැත. ඒ සඳහා ඉඩම් විකිණීමට සිදුවෙයි. මේවා මඟුල් ද, ඇයි මේ බොරු ආටෝප මෙවැනි මඟුල් නිසා පව් රැස්කර ගන්නවා විනා ණයකාරයෙක් වෙනවා විනා හදවත වේදනා වෙනවා විනා සිදුවන යහපත කුමක්ද? මඟුල අවමඟුලක් කරගන්නේ ඇයි? මේ ගැන සිතන්න.
රා. මු. ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත,
වේගොල්ල, මාස්පොත
0723920873

(ඉසිවර පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිනි)