මේවා ගැන නිහතමානීව සිතා බලන්න

හෙළ බොදු දරු දැරියන්ගේ ඇතැම් චර්යා ධර්මවලට අද මොකද වෙලා තියෙන්නේ

eeeගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේලාගෙනුත්, බුද්ධිමත් උගත් වැඩිහිටි, හෙළ බොදු බුද්ධිමතුන්ගේත් දෙපා නමැද අද සමාජය තුළ අපේ බොදු දරු දැරියන්ගේ ඇතැම් වැදගත් උත්සව අවස්ථාවන්හිදී අද මේ සමාජය ගමන් කරන වැරදි මාවත කෙරෙහි කිසිවකු කතා නොකරන හෙයින්ද, මේ කෙරෙහි නිසි මගට යොමු කරවීමට කිසිවකු මග නොපෙන්වන හෙයින්ද හෙළ බොදු චර්යා ධර්මවලට මා තවමත් ගරු කරනා හෙයින් අපගේ බාල පරපුරට අපගේ
සාරධර්ම පිළිබඳව වටහා දීමේ අදහසින් වැඩිහිටියකු ලෙස ගුරුවරකු ලෙස මගේ යුතුකම හා වගකීම වටහාගෙන නිහතමානීව මේ පිළිබඳව වටහා දීමට මෙවන් චර්යා ධර්ම පිළිබඳව සමාජය දැනුවත් කිරීමට ඇපකැපව සිටින මාසික පුවත්පතක් වන “ඉසිවර” පුවත්පත මගින් බාල පරපුර හා සමාජය දැනුවත් කිරීමට අදහස් කළෙමි.

හිතත් බුද්ධිමතුනි,

එදා ගමයි පන්සලයි, වැවයි දාගැබයි යන සංකල්පය තුළ අපේ ගැමි සාරධර්ම නිසි පරිදි ආරක්‍ෂා වී තිබිණි. ගමේ සමඟිය සමාදානය, නිසි ලෙස පැවති අතර ගමේ ශ්‍රමදාන පිංකම් ආදිය ද එකට එකතුවී ගමේ ගුරුමහත්ම මහත්මීන්ද ගමේ වෙද මහත්මාගේත්, ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේගේත් අවවාද අනුශාසනා පරිදි එකට එකතුවී සාකච්ඡා කරමින් ඉතාමත් ලස්සනට එදා සිදුවිය.
එදා දරුවකු බිහි වූ විට එම දෙමාපින්ගේ වැඩිහිටියන් බුලත් හුරුල්ලක් බුලත් වට්ටිනයක අතුරා එය සුදු ලේන්සුවකින් වසා ඒ මත සීනි තේ කොළ ද තබා විහාරස්ථානයට පැමිණ නායක ස්වාමින් වහන්සේ අතට පූජා කොට පසඟ පිහිටුවා නැමී වැඳ ස්වාමින් වහන්ස මේ වෙලාවට අපේ දියණිය දරුවකු බිහිකළ හෙයින් වේලාපත් සකසා ගැනීමට ආ බව පවසනවා.
ඉන්පසු ස්වාමින් වහන්සේ එම පැවසූ වේලාව අනුව තත්කාලය බලා මේ වෙලාවට සරමක් ලැබිල තියෙන්නේ යයි දන්වයි. පුතෙක් නම් සරමක් ලැබී ඇති බවයි කියන්නේ. දියණියක් නම් “කම්බායක්” ලැබී ඇති බවයි. පවසන්නේ. ඒ අනුව හඳහන් කොපිය ද සාදවා ගන්නේද එම විහාරස්ථානයෙන්මය. මේ එදා පැවති චාරිත්‍රයයි. දරුවාට අකුරු කියවීමටද දියණිවරුන්ගේ කන් විඳීම ආදී අවස්ථාවලදී එදා
විහාරස්ථානයෙන්ම හෙළ බොදු චාරිත්‍රානුකූලව සිදුකරන ලදී. මා මෙතනදී කීමට අදහස් කරන්නේ අද දුවා දරුවන්ගේ පෝරු චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධයෙන් ඇතමුන් කරගෙන යන වැරදි ක්‍රියාදාමයන් හා අපගේ හෙළ බොදු චර්යා ධර්ම අතහැර දමා මේ කරගෙන යන ක්‍රියාකාරකම් නිසා අපගේ පැරණි සාරධර්ම පිළිබඳව අපගේ දුවා දරුවනට අවබෝධයක් නොලැබෙනා හෙයින් එම සාරධර්ම ආරක්‍ෂා කරගෙන යම් සමාජය ඒ තුළින් දැනුවත් කිරීමේ අරමුණින් මෙය නිහතමානීව ලියන්නට අදහස් කළෙමි.
එදා දියණියක් සිටින දෙමාපියන් තමාගේ එම දියණිය දීගතල දෙන වයස ළං වූ විට ඒ සඳහා කතිකා කරගත් පසු දින තීරනය කර ගැනීම සඳහා බුලත් හුරුල්ලක් ද බුලත් වට්ටියක අතුරා විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වෙත ගොස් එය පූජාකොට පසඟ පිහිටුවා වැඳ මේ සඳහා සුදුසු දිනයක් ස්වාමින් වහන්සේ වෙතින්ම ලබාගැනීම එදා සිදුවිය.
ඉන්පසු එම දියණිය, ඉපදුන හැදුන වැඩුන එම නිවස ගොම මැටි ගා තිබූ ගෙයක් නම් එහි ගොම මැටි ගා මකුළු දැල් කඩා ශුද්ධ පවිත්‍ර කර අවශ්‍ය නම් පොල් අතු ද බැඳ එම දියණිය හැදුන වැඩුන එම නිවසේදීම පෝරු චාරිත්‍ර කටයුතුවලට සැරසෙයි.
උත්සවයකට දින 2 ක් තිබියදී එම විහාරස්ථානයෙන් ස්වාමින් වහන්සේලා දෙනමක් හෝ තුන්නමක් එම නිවසට පැමිණ පෝරුව ඉදිවන ස්ථානයේ සිට වරු තුනක් පිරිත් සජ්ඣායනා කරයි. තුන්වන වරුව අවසන් වන විට දියණියගේ මයිලනුවන්ගේ මැදිහත් වීමෙන් එම පෝරුව ඉදිකරන ස්ථානයෙහි කිරිගසක ලෑල්ලක් ද සම්බන්ධ කරගෙන පෝරුවෙ කලම්පය සාදා එම ස්ථානයේ තබයි එය තැබීමට ප්‍රථම ඒ යටට වානේ පිහි තලයක් හෝ ගිරයක් කලම්පය යටට තබනු ඇත. ඒ පෝරුව තනිවීම වලක්වා ගන්නටය. ඉන් පසු දෙපය හංසයාගේ
හැඩරුව සිටින ලෙස ගොක් කොළ වලින් පෝරුව සාදා ලියවැල්ද එල්ලා පෝරුවෙ ඉහලින් දකුණු පස හිරු මණ්ඩලය ද වම්පස චන්‍ද්‍ර මණ්ඩලය ද ගොක් කොළ වලින්ම සාදනු ලබයි. ඒ එදා සිරිතයි.
නැකත ළං වන විට වරු පිරිත් සජ්ඣානා කළ ස්වාමින් වහන්සේලාම එම ස්ථානයට වඩම්මා පිරිත් සජ්ඣායනා හා ආශිර්වාද කරන විට මනාලයාගේ මයිලනුවන් කෙනකු විසින් නැකතට මනාලයා පෝරු මස්ථකාරූඪ කරන අතර මනාලියගේ මයිලනුවන් විසින් මනාලිය පෝරු මස්ථකාරූඪ කරනු ලබයි. ඒ ස්වාමින් වහන්සේලාගේ
ආශිර්වාද මධ්‍යයේය. ඉන්පසු පිරිත් සජ්ඣායනා කරද්දී එක් ස්වාමින් වහන්සේ නමක් අත පැන් වක් කරන විට මනාලියගේ මයිලනුවන් විසින් අතැඟිලි බඳනු ලබයි.
දෙපාර්ශ්වයේ මයිලනුවන් වෙතින් පිරිත් සජ්ඣායනා මධ්‍යයේම මුදු මාරුව ද තැලි පැළඳ වීමද සළුපිළි පැළඳ වීමද කරනු ලබන අතර හත්මුතු පරපුර සිහිපත් කර බුලත් හුරුළු මාරුව ද සිදුකරනු ලබයි. ඉන්පසු දෙමාපිය වැඩිහිටියනට (දෙපාර්ශ්වයේ) බුලත් හුරුළු දී වැඳීම ද පෝරුවේදීම එදා කරන ලදී. එදා එවිට වැඩිහිටියන් මනාල යුවලගේ හිස පිරිමැද තුණුරුවන්ගේ ආශිර්වාදය පතන ලදී. එය සාර්ථක චර්යා ධර්මයන්ය. ඉන්පසු දැරියන් විසින් ජය මංගල ගාථා ගායනා කිරීමෙන් පසු පෝරුවෙන් බස්සවන්නේ පුතනුවගේ මයිලනුවන් විසිනි. දියණියගේ මයිලනුවන් විසින් දොරකඩ ළඟක සිට යුවල පෝරුවෙන් බසින විට පොල් ගෙඩියක් බිඳනු ලබයි. මේ එදා සිදු කළ හෙළ බොදු චාරිත්‍ර වාරිත්‍ර ක්‍රමයයි.
එහෙත් මේ සඳහා ස්වාමින් වහන්සේලාගේ මැදිහත්වීම පැවතියේ ශ්‍රීමා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාවට වඩම වන්නට පෙරය. ශ්‍රීමා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමෙන් පසු මේ සඳහා ස්වාමින් වහන්සේලාගේ මැදිහත්වීම නැවතී. එම කාර්ය බාරය ගිහියන් විසින් කරගෙන යනලදී. එයට හේතු වූයේ ශ්‍රීමහා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාවට වඩමවන විට හිංදු ස්තෝත්‍රකරුවන් රාශියක් ඒ සමඟම ලංකාවට එන ලදී. හින්දි ස්තෝත්‍ර ඒ අය විසින් කිරීම නිසා බුද්ධ ස්තෝත්‍ර හෙළ බෞදුවන් විසින් කරගෙන යන ලදී. ඒ අනුව විෂ්ණු ස්තෝත්‍ර, ගණෙෂ් ස්තෝත්‍ර, බුද්ධ ස්තෝත්‍ර ආදී ස්තෝත්‍ර රාශියන් ද පතල විය. එතැන් සිට මේ දක්වා මංගල පෝරු සඳහා ගිහියන්
සහබාගි වීම සිදුවිය.
එදා ද බොදු චාරිත්‍රානුකූලව එය පවත්වාගෙන ආ නමුත් අද මෙය ඉතා විවිධාකාරයට එකිනෙකාගේ මත අනුව ඇතමුන් පවත්වාගෙන යන බැවින්, අපගේ තිරසාර සාරධර්ම අපේ හෙළ දරු දැරියනට දැනගැනීමට ඇති ඉඩකඩ ඇහිරෙමින් පවතී. එබැවින් ඒ ගැන සිතා මා මේ පිළිබඳව පැහැදිලි කර දීමට නිහතමානීව ඉදිරිපත් විය. එදා මංගල පෝරුවෙන් මනාල යුවල බැස්සාට පසු වරු තුනකින් එම පෝරුව විනාශ කරනු ලබයි. එම පෝරුව මත තවත් යුවලක් නංවන්නේ නැත.
එහෙත් අද මඟුල් පෝරුව ද වෙළෙඳ භාණ්ඩයක් වී ඇත. මංගල පෝරුවද සකසා ගන්නේ තම තමන්ගේ අවශ්‍යතාවය පරිදි තමාට අවශ්‍ය හැඩයටය. එපමණක් ද නොව මංගල පෝරුව ඉතා උසස් වටිනා අගය කළ යුතු දෙයකි. එයද බාල්දු කරමින් පසුගිය වසරක එවන් උත්තරීතර මංගල පෝරුව මත සුනඛයන්ද උත්සවාකාරයෙන් නංවා සතුටක් වින්දනයක් ලැබූ පිරිසක් ද සිටි බවත් එය පුවත්පත්වල පවා පලවී තිබීමෙන් මා බලවත් කනගාටුවට පත්වීමි.
මේවා මෙලෙසට පත්වන විට අපේ සාරධර්ම රැකෙන්නේ කෙසේද යන්න ගැටලුවකි. මේවා කර තිබුණේ හෙල බොදුවන්ම විසිනි.
බුද්ධිමතුනි,
මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාසන ඉතිහාසයේදී කොසොල්රජතුමා දුටු සිහින දහසය ගැන පහදා දෙන විට එම සිහින දහසය අනුව අනාගතයේදී මේ ලොව සිදුවන විපර්යාසයන් පිළිබඳව මින් පෙන්නුම් කර ඇති බවත් ඉන් කොසොල් රජතුමාටත්, එම රාජයටවත් රටවැසියනටවත් මින් කිසිම කරදරයක් උවදුරක්වත් ඇති නොවන බවත් පැහැදිලි කරමින් අනාගතයේදී රට පාලනය කරන නායකයන්ගේ පිරිහී යන සාරධර්ම නිසාත් සුදුස්සන් අනවශ්‍ය ආකාරයට ධන බලයට, කාය ශක්තිය බලයෙන් රාජ්‍ය බලය තුළින් පාලනය අතට ගෙන පාලනය කරන විට රටේ සාරධර්ම පිරිහී යන යුගයක් උදාවන බවත් එම යුගයේදී දුවා දරුවන් නොහඳුනන, වැඩිහිටියන් නොහඳුණන දෙමාපියන්ට පවා නොසලකන, දරුවනට ද නොසලකන ඇතැමුන් ඒ යුගයේදී බිහිවන බවත් එවන් යුගයක මගේ ශාසනයද රටේ සාරධර්ම ද වෙනස් කරන්නට මාන බලන ඇතැම් මගේ ශ්‍රමණයන්ද හෙළ බොදුවන් ද මූලිකත්වය ගෙන මතවාද පළකරන බවත් වදාරා ඇත. ඒ අනුව බලන කල අද මේ රටේ සිදුවන සමහර දේවල් දෙස බලන විට මේ උදාවීගෙන එන්නේ එවන් යුගයක්ද යනුවෙන් සැකයක් ද මට ඇති වී ඇත බුද්ධිමතුනි අපට ඒවා ගැන හිතමින් හිත් නරක් කරගෙන ප්‍රශ්න ඇතිකර ගන්නවාට වඩා අපේ යුතුකම හා වගකීම ගැන වටහාගෙන බාල පරපුර දැනුවත් කිරීම සඳහා මම නිහතමානවම මෙම “ඉසිවර” පුවත්පත මගින් ඔබ සැම දැනුවත් කිරීමට අදහස් කළෙමි.
එදා මංගල යුවලක් පෝරුමස්ථකාරූඪ කරන එම උත්සව දිනයේදී කළ යුතු චාරිත්‍ර නිසි පරිදි පෝරු මස්ථකාරූඪව සිටියදීම දෙපාර්ශවයේ දෙමාපියන්ට ඇතුළු සැමට බුලත් හුරුළු දී වැඳීම සිදුවන අතර එම වැඩිහිටියන් විසින් මනාල යුවලගේ හිස පිරිමැද තුණුරුවන්ගේ
ආශිර්වාදය පන ලදී. ඒ එදාය.
අද ඒවා සමහර උත්සව වලදී එසේ නිසි පරිදිම සිදුවනවාද බීමත් ඇතැම් වැඩිහිටි අය මූණ ඉඹින්නට බදාගන්නට යමින් මහත් විකාර කරයි. හිස පිරිමැද පෝරුව මැද දී ලබාදෙන ආශිර්වාදය මහත්ඵල ගෙන දෙන ශක්තියකි. එය බීමතින් තොර විය යුතුය.
එදා එම පළවන මංගල දිනය මතින් තොරව පැවතුනි. එනිසා එය ටඉතා සාර්ථකව එදා පැවතුණි.
මගේ මතයද එලෙසටම පලමුවන දිනය මතින් තොරව පැවතිය යුතු බවයි.
අවශ්‍යනම්, දෙවැනි දිනය මහ ‘මඟුල’ පවත්වන දිනයේදී ඒ සඳහා යොදා ගැනීමට හේතුවක් ද ඇති හෙයින් අවශ්‍ය නම් ඒ දින යොදා ගත්තාට කම් නැත.
හොඳ චරිතවත් දුවක් ගමට ගෙන ඒම නව පරපුරක් හොඳ පවුලක් මේ ගමට සම්බන්ධ වූවා. හොඳ පුතෙක් අපට ලැබුණා. හොඳ පවුල් දෙකක් එකට එකතු වීමේ සතුට ප්‍රීතිය විඳීමට එදින මත්පැන් යොදා ගැනීමට හේතුවක් ඇතිහෙයින්, එය යොදාගන්තාට කම් නැත. ඒත් එය සීමාවකට විය යුතුය. ඒත් මගේ මනස නම් එදිනටත්, මතින් තොරව පැවතියෙනම් ඉතාමත් අගේ කළ හැකි බවයි. එය මගේ පෞද්ගලික අදහසය.
අද ඉතින් මේ ආකාරයෙන් මෙම මංගල කටයුතු සිදුවනවාද යන්න ගැටලුවකි. එබැවින් අපගේ බාල පරපුරට අපගේ පැරණි සාරධර්ම වටහා දීමට මේ රටේ වැඩිහිටියන් වශයෙන් මේ පිරිහී යන අපගේ
පැරණි බොදු චාරිත්‍ර ධර්මයන් රැකගැනීම සඳහා ‘ඉසිවර’ මාසික පුවත්පත සමඟ අප සැම එකට එක්වී  කටයුතු කිරීමට එක්වන ලෙස ඔබ සැමගෙන් ඉතාමත් කරුණාවෙන් සිරසනමා ඉල්ලා සිටින අතර මේ සම්බන්ධව යම් යම් කරුණු ප්‍රකාශකර පලකරමින් කාහට යම් සිත් රිදීමක් ඇති වූවා නම් ඒ ගැන මා ඉතාමත් කාරුණිකව සමාව අයැද සිටින අතර මා ප්‍රකාශ කළ කරුණු සනාථ කිරීම සඳහා එවන් සිද්ධීන් සනිටුහන් කරන්නට සිදුවූ බවද දන්වමින් අදට මින් තිත තබමි. මීළඟට ගිහි පිරිත් සජ්ඣායනාව හා පිරිත් මණ්ඩපය ගැන සාකච්ඡා කිරීමට අදහස් කරමි.

පී. මානගේ
මුළු දිවයිනටම සාමවිනිසුරු
ශාසනාභිසම්මානලාභී
ධර්මාචාර්ය, විශ්‍රාමික රාජ්‍ය කළමනාකාර