ඇසූ සැණින් බියගෙන දෙන කිල්ල

nnපුරාණයේ සිට සිංහලයා අතර පැවත එන සිරිත් විරිත් ආකල්ප ප්‍රතිපත්ති, මත වැනි කරුණු කීපයක් ඇත. ඒ අතර කිල්ල සහ ඇස්වහ කටවහ ද විශේෂ තැනක් ගනියි. මේවා එදා සමාජයේ ඇති වූයේ ආවාට ගියාට හෝ හිතුන පළියට හෝ කටට ආ පළියට නොවේ. හුදෙක් සෞරග්‍රහ මණ්ඩලය මුල්කර ගෙනය. ඒ ඒ ග්‍රහයන්ගේ ගති ස්වභාවය පෘථිවියට පාෂාණ, ජලය සහ වාතය යන පංච මහා වස්තූන්ට බලපාන අයුරුත් විමර්ශනයට ලක් කරමිනි. මේ සඳහා උපයෝගී කරගත් මූලධර්ම වූයේ නක්ෂාත්‍රය (ජ්‍යොතිෂය) විද්‍යාව සහ ගණිතය කරුණු තුන බවයි මගේ හැඟීම (තවත් කෙනෙකුට මෙය වෙනත් ආකාරයකින් අර්ථකථනය කළ හැක.)


මෙම බලපෑම් නිසා ලෝකයේ උද්ගත වන තත්ත්වයන් හොඳ හා නරක වශයෙන් ප්‍රභේද කළ හැක. එසේම ‘විෂ හා නිර් විෂ’ වශයෙන් ද තවත් ක්‍රමයකින් දැක් විය හැක. විෂ හා නිර් විෂ තත්ත්වය ඉහතින් සඳහන් සත්ව, ශාක, පාෂාණ, ජලය සහ වාතය යන කරුණු කෙරෙහි හෝ අපෝ තේජෝ වායෝ පඨවි ආකාශ යන පංච මහා භූතයන් කෙරෙහි බලපානු ඇත. ඒ තුළ ක්‍රියාත්මක වෙයි. මා අද මාතෘකා කරගන්නා කිල්ල අදාළ වන්නේ ඉහත කී විෂ අවස්ථාවටය.
ලෝකයේ ඇති ලොකුම කිල්ල නොසැලකිල්ල ලෙස අද සමාජයේ සාමාන්‍ය මතයක් පවතියි. එය නොසලකා බැහැර කළ හැකි කියමනක් නොවේ. අද සමස්ත ලෝක සමාජයම විෂ වී ඇත්තේ ඔවුනොවුන් අතර ඇති නොසැලකිල්ල නිසා බව ගැඹුරින් සිතන්නකුට අවබෝධ කර ගත හැක. අද අප සමාජය තුළ කිලි වශයෙන් පිළිගන්නා විශේෂ අවස්ථා තුනක් ඇත. එනම් වැදූගේ (ප්‍රසූත) කිල්ල, මල්වර කිල්ල සහ මළ (මරණ) කිල්ල . මේ සෑම අවස්ථාවකදීම පිටවන්නේ විෂකි. ඒ මා මුලින් සඳහන් කරන ලද ග්‍රහයන්ගේ ගති ස්වභාවයන් මිනිස් සිරුරට බලපෑමේ ප්‍රතිඵලයයි.
දරුවකු මවු කුසින් බිහිවීමේදී දරුවා දරාගෙන සිටි කෝෂය විවර වී එහි තිබූ දියරය යෝනි මාර්ගය තුළින් පිටට ගලා එයි. දරුවා බිහි වීමත් සමඟම දරුවා රැඳී සිටි කෝෂය ද වැදෑ මහ (වැදූ සම වැදෑ සම, වැදෑ මස, වැදෑ මහ) වශයෙන් මවු කුසින් වෙන් වී පිටට එයි. ඍතු රුධිරය ද ගලා එයි. මේ සියලුම දේ කිළිටිය. (කිලිටි අපිරිසිදු විෂ සහිත කිලි විෂ) ප්‍රසූතියෙන් පසු කිලිටි දියරය හා ඍතු රුධිරය දින කීපයක් යන තුරු ප්‍රසූතිකාවගේ යෝනි මාර්ගයෙන් නික්මෙයි. ප්‍රසූතියෙන් පසු පස්වැනි දවසේ කොහොඹ, පාවට්ටා, නික වැනි කොළ වර්ග තැම්බූ දියෙන් ප්‍රසූතිකාව නෑවීම පැරණි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමයයි. මෙයින්ද සිදුවන්නේ ඇගේ සිරුරේ ඇති සියලු විෂ හෙවත් කිලි නැසීමය. ස්ත්‍රියක් සම්බන්ධයෙන් ඇති කිලි දෙකෙන් තදබල කිල්ල වැදූගේ කිල්ලයි. එය තුන් මාසයක් පවතියි. ඒ නිසා පැරණි මවුවරුන් දරුවකු ලැබුණ පසු තුන් මසක් ගත වන තුරු කුඩා යතුරක් හෝ අඟලක් පමණ දිග කුඩා ගිරයක් නූලක ගැටගසා පපු පෙදෙසෙහි ගෑවෙන පරිදි කරෙහි එල්ලා ගත්තේ තම දරුවාට දෙන කිරි ප්‍රසූත කිල්ල නිසා කිළිටි වෙයි යන අදහසින් එම කිරි සුරක්ෂිත කිරීමටය. එනිසයි එදා මවුවරුන් සහ දරුවන් ඉතා නිරෝගී වුණේ.
ඊළඟ කිල්ල වන්නේ මල්වර කිල්ලය. ගෑනු ළමයෙක් වැඩි වියට පත් වන්නේ මේ මල්වරය නිසාය. මල්වරයේදී යෝනි මාර්ගයෙන් ඍතු ලෙස පිටවීම අමුතුවෙන් කිවයුතු නැත. මෙම රුධිරය ඉතා විෂ සහිතය. සුදුසු නැකතකින් දිය නාවන තුරු එම දැරිය කිසිවකුට දැකීමට හෝ ඇසුරට ඉඩ නොදෙන එක් හේතුවක් වන්නේ සෙසු අයට එම විෂ හෙවත් කිලි (කිලිටි) වැදීමට ඉඩ ඇතිවීමය. මල්වර වූ දැරිය නෑවීමට ගන්නේ මුරුවා මුල්, වෙනිවැල්, සුවඳ කොට්ටං, අගිල්, ඊතණ, රත් හඳුන්, පිච්ච මල්, වද කහ, අමු කහ, ගල්සෙවෙල් යන ඖෂධ තම්බා ගත් ජලයයි. මේ සියලුම ඖෂධ විෂ නාෂක මෙන්ම සෙත ලබා දෙන දේවල්ය. මල්වර වූ දැරිය දිය නෑවාට පසු මල්වර කිලි අවසන් වෙයි.
ඊළඟ කිල්ල වන්නේ මරණ (මළ) කිල්ලය. මෙය ඉතා විෂ සහිතය. ශරීරයේ සියලුම කොටස් කුණු වී එයින් නික්මෙන විෂ අවට පරිසරය පුරා විසිරෙයි. වර්තමානයේ මෙන් ‘එම්බාම් වැනි ක්‍රම නොයෙදුවොත් දවසකට වඩා මිනිය විෂ නොවී, දුගද නොහමා තබාගත නොහැකිය. මිනිය අවසන් කටයුතු සඳහා ගෙන යන තුරු මිනිය තබා ඇති ස්ථානයේ ඉහාතෙන් සහ පයාතෙන් පොල් තෙල් පහන් දෙකක් දල්වන්නේ එම මිනියෙන් නික්මෙන විෂ හෙවත් කිලි ගැසීමටය. චාරිත්‍රයක් ලෙස යන්තම් දැල්ල ඇති පහන් නොව හොඳින් නික්මෙන ගිනි සිළු ඇති පහන් දැල්විය යුතුය. අද ඇතැමුන් තමන්ගේ මහන්තත්ත්වය පෙන්වීමට දල්වන්නේ පහන්සිළු නොව විදුලි බුබුලුය.
කිලිවලදී ප්‍රවේශම් විය යුත්තේ වණ, තුවාල සහ යන්ත්‍ර මන්ත්‍ර වෙනුවෙනි. ඉහත සඳහන් පරිදි කිලි අවස්ථාවලදී නික්මෙන විෂ, වණ තුවාල, කුෂ්ට ආදියට සහ යන්ත්‍ර තහඩුවලටත් ජප නූල්වලටත් වැද්ද ගනියි. ඒ නිසා එවැනි රෝග සහ යන්ත්‍ර මන්ත්‍ර දරන්නන් එවැනි තැන්වල ගැවසීම නොකළ යුතුයි. යන්ත්‍ර අඳින තහඩු සහ ජප කරන නූල් කහ දියෙන් තෙමන්නේද දුම්මල වැනි වර්ග දැවූ දුම් අල්ලන්නේද එම කිලි නැසීමටය. තුවාල ඇති අය එම තුවාලය ඩෙටොල් වැනි විෂ නාෂක බෙහෙත් මිශ්‍ර ජලයෙන් සෝදා පිරිසිදු රෙදිකඩකින් වසා ගැනීමෙන් කිලි වැදීම සිදු නොවේ. ශරීරය පුරාම කුෂ්ට රෝග ඇති විට කිලිවලට හසු වූයේ නම් අත්තනකොළ හෝ කීකිරිඳිය තැම්බූ ජලයෙන් නෑමෙන් කිලි විෂ නැසෙයි. යන්ත්‍ර සහ නූල් ජප කිරීමේදී ඒවාට කිලි නොවැදීමට මතුරන කිලිහර මන්ත්‍රද ඇත. තවද තුවාල ඇති විට එතැන නූලක දැවටූ යකඩ කෑල්ලක් එල්ලා ගැනීමෙන් ද කිලි විෂ නැසෙයි. ඉහතින් සඳහන් පරිදි කිරි මව්වරුන් යකඩ උපකරණයක් පියයුරු පෙදෙස ගැටෙන පරිදි එල්ලා ගන්නේද එම කිලි හරණයක් වශයෙන් බව නැවතත් මතක් කරමි. වණ, තුවාල, යන්ත්‍ර මන්ත්‍ර නැති අය හෝ මේවා කිලි ස්ථානයකට ගියොත් තම නිවසට ඇතුල් වීමට පෙර දෙහි ඇඹුල් මිශ්‍ර ජලයෙන් අඩු වශයෙන් අත් පා හිස මුහුණ සෝදා ගැනීමත් කළ යුතුය. අහල පහල කිල්ලක් ඇති වුවොත් තම නිවස ඉදිරිපිට දෙහි කෑල්ලක් සමඟ වතුර භාජනයක් තබා ඒ ළඟ සටහනක් ප්‍රදර්ශනය කරන්නේ නම් මැනවි.
ඌරු මස්, වගුරු මාලු සහ මුගුණු වැන්නද කිලි සහිත ආහාර වර්ගයන්ය. කිලි යනු පුළුල් ලෙස විග්‍රහ කළ යුතු මාතෘකාවකි.

රා.මු.ක. බණ්ඩාර
සාමවිනිසුරු ආයුර්වේද විශාරද පණ්ඩිත ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥ ජානක ඖෂධාලය, වේගොල්ල, මාස්පොත