උගුර බැරැන්ඩිය නිවැරැදිව හඳුනා ගන්න

Created for the National Cancer Institute, http://www.cancer.gov

උගුරේ බැරැන්ඩිය නමින් ජන වහරෙහි පවතින මෙම රෝගී තත්ත්වය දේශීය වෛද්‍ය විද්‍යාවේ ස්වර භේදය  ලෙස හැඳින්වේ. සියුම් වූ ස්වරයන්ගේ උච්චාරනේ ඉසිරැවීමෙහිලා විකෘතිභාවයක් ඇතිවීම ස්වර භේදය ලෙස සැලකේ. බුද්ධිය හා එක් වූ ආත්මය යමක් කීමට අවශ්‍ය වූ විට එයට මනස පොළඹවා ගනී. එයට  හේතුව මනසට කෙලින්ම ඉන්ද්‍රියයන් හා එක්ව කතා කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට හැකි වීමයි. මනස කායග්නියද කායග්නිය වාතයද මෙහෙයවයි. ස්වර තන්ත්‍ර හරහා ගමන් ගන්නා වාතය ඇති කරන චලනය හේතුවෙන් ශබ්දය ඇති වේ. මේ සඳහා උරස, උගුර, සිරස, දිව මුල, දත්, නාසය, තොල්, තල්ල යන අට ස්ථානයන්ගේ දායකත්වය ලබා ගනිමින් මිහිරි වදන් පිට කෙරේ. මෙම ක්‍රියාවලිය වෙනස් වීම ස්වර භේදයට හේතු වේ.


ඉතා උස් හඬින් කතා පැවැත්වීම, විෂ සේවනය කිරීම, උස් හඬින් ගායනා කිරීම, ගෙල පෙදෙසට පහර වැදී තැලීම් සිදුවීම, වාතාදිය කුපිත වන සෙසු කරුණු ද හේතුවෙන් ස්වර භේදය ඇති වන අතර වා, පිත්, සෙම් ප්‍රධානවද, සියලු දොස් එක්වද  (ත්‍රිදෝෂජ), මේදසින්, ඩාතු ක්ෂය වීමෙන් යන ෂඞ් ආකාරයෙන් ද  ඇති වන බව බොහෝ හෙළ වෙද පොත් පත්හි දක්වා ඇත. ත්‍රිදෝෂජ (සන්නිපාතජ), මේදෝජ හා ක්ෂයජ යන ඒවා සුව කිරීමට ඉතා අපහසු වන අතර වා, පිත්, සෙම් මූලික ස්වර භේද  පහසුවෙන් සුව කළ හැක.
වාතික ස්වර භේදයේදී කළු පැහැ නෙත් මුව, මළ, මුත්‍ර යන මේවා ඇතිවේ. කොටළුවෙකු මෙන් රළුවද කඩින් කඩ ද කතා කරයි. පිත් ප්‍රධාන ස්වර භේදයේදී කහ පාට නෙත්  මුව, මළ, මුත්‍ර යන ඒවා ඇතිවන අතර දැවිල්ලෙන් යුත් උගුරෙන් කතා කරයි. සෙම් ප්‍රධාන ස්වර භේදයේදී නිතර සෙම සහිත උගුරෙන් යුතුව සෙමෙන් කතා කරයි. දහවල හොඳින් කතා කරයි. ත්‍රිදෝෂජ ස්වර භේදයේ වා, පිත්, සෙම් සියලු ලක්ෂණ පවතී. මේදෝජ ස්වර භේදයේදී (මෙදෙසින් සෝතස් ඇවිරීමෙන් ) පිපාසයෙන් පීඩිතව සැඟවුනු හඬ ඇතිවේ. වචනය කලාතුරකින් පිට වේ. මෙහි වරද ගෙලෙහි නොව ඉන් උඩු කොටසෙහි වේ. ක්ෂයජ ස්වර භේදයේදී ස්වරය දුම් සහිතව නික්මෙන්නාක් මෙන් (වේදනාවක්) දැනේ. මෙහිදී වචන කීමට අපහසු වේ. වෙනත් රෝගයක උපද්‍රවයක් වශයෙන් ස්වර භේදය ඇති විය හැක. සෙම්ප්‍රතිශ්‍යාව, සෙම්ගෙඩි, ගලගණ්ඩය, ක්ෂය රෝගය, නාසයේ මස් දලු මුඛයේ උගුරේ හෝ දිවේ පිළිකා ඇති වීම වැනි අවස්ථා වලදී ද ඇති විය හැක. මෙවැනි අවස්ථා වල රෝගයනට නිසි පිළියම් යොදන තුරු සුව නොවේ. වයසට යාම, ශරීරය බලයෙන් පිරිහීම (දුබල වීම) වැනි  හේතු මත ඇති වන ස්වර භේදය අසාධ්‍ය ලෙස සැලකේ. සහජයෙන්ම යම් දෝෂ හේතුවෙන්ද මෙය ඇති විය හැක. ස්වර භේදය සඳහා ඉතා සාර්ථක දේශීය  චිකිත්සාවන් පවතින අතර ඇති වීමට හේතු කාරණා සොයා බලා රෝගය හොඳින් හඳුනා ගැනීම වැදගත් වේ.
ස්වර භේදයේදී අත් බෙහෙත්
වැල්මී සප්සද මුල් සමව ගෙන කොටා කුඩා පොට්ටනියක් බැඳ පොල් කිරෙන් තම්බා ගෙන නිවුනු පසු  කටේ තබාගෙන වරින් වර යුෂ ගිලින්න.
අරළු, තිප්පිලි කුඩු සමව ගෙන අබ තෙලින් අනා දිවේ ගාන්න.

දේශීය ආයුර්වේද වෛද්‍ය,
  සමිතා ප්‍රභාෂිනී එදිරිවීර
සෙත්පිරි වෙද ගෙදර
පෝරේ, අතුරුගිරිය. 011 2762521