නොදැන කරන වැරදි නිසා ඇතිවන කරදර බාධක

99නිවසකට සිරිකත හෙවත් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ලබාගැනීමට මෙන්ම මූ දේවිය පලවා හැරීමට නිවසක් ගෙවත්තත් ඉතාම පිරිසිදුව දර්ශනීයව පවත්වා ගැනීම ඉතාම අවශ්‍යය. එකී කරුණ සාක්ෂාත් කරගැනීමේ වගකීම පවුලේ සියලුදෙනා සතුය.
අප විසින් නිවසේ මෙන්ම ගෙවත්තේ දැන හෝ නොදැන සිදු කරණු ලබන යම් යම් වැරදි ක්‍රියාවන් හේතුවෙන් නිරපරාදේ නිවසටත් ගෙවත්තටත් අපටත් අපේ පවුලේ සෙසු සාමාජිකයන්ටත් කරගන්නා වින ගණනාවකි. මෙම වින කරණ කොට නිවසේ සේම ගෙවත්තේ සශ්‍රීකත්වය, ශ්‍රියාව නැතිවී යනවා සේම නිවැසියන්ගේ සතුට, සමගිය, සමාදානය, අභිවෘද්ධිය, දියුණුව බිඳ වැටේ.

මේවා දැන හෝ නොදැන අප විසින් අපටම කරගන්නා වින මිස අන් කෙනෙක් ද්වේෂ සහගතව උපක්‍රමශීලීව සිදු කරනු ලබන ඒවා ලෙස වරදවා වටහා නොගත යුතුය. අවශ්‍ය වන්නේ ඒවා කවරේද යන වග නිවැරදිව දැන හැකි උපරිමයෙන් එම දෝෂ ඇති වීම වළකාගැනීමය. එම වින දෝෂ හෙවත් අයහපත් ක්‍රියා ඉතාම සැකවින් මෙසේය.
* නිවසේ වහලයේ, සිවිලිමේ මෙන්ම ගෘහ භාණ්ඩ වල, ගෘහ විදුලි උපකරණ වල මකුණු දැල් බැඳී තිබීම මෙන්ම විශේෂයෙන් ගෘහ විදුලි උපකරණ මත හා පොළවේ දූවිලි පැවතීම. * නිවසේ දොර ජනෙල් සියල්ල විවෘත නොකිරීම නිසා නිවස තුළට හිරු එළිය, වාතාශ්‍රය ලැබීම වැලැක්වීම. * ගෙවත්තේ සෑම තැනකටම හොඳින් හිරු එළියක් වාතාශ්‍රයක් නොලැබීම. * ගෘහ භාණ්ඩ මෙන්ම විදුලි උපකරණ රෙදි වලින් වසා තැබීම හා ඒවා නිසි ස්ථානගත නොකිරීම. * ගෙවත්ත මල් වවා දර්ශනීයව පිරිසිදුව නොපවත්වා ගැනීම. * කටු සහිත කිරි සහිත ගස්, වැල්, පදුරු නිවස ඉදිරිපිට ආසන්නව පැවතීම. * නිවස තුළ තැන තැන කුණු ගොඩවල්, කිලිටි රෙදි වීම. * නිවස තුළ හා ඉදිරිපිට රෙදි වියලීමට වැල් බැදීම. * සුරතල් සතුන්ගේ කූඩු නිවාස ඉදිරිපිට වීම. * දිවා මෙන්ම රාත්‍රී නිවස තුළ අඳුරු වීම. * ගෙවත්ත ගස් කොළන් වලින් ගහනව අඳුරු ස්වභාවයක් ගැනීම. * නිවස ඉදිරිපිට සෝදාපාලුවට ලක්වීම. * ගෙමිදුලේ මඩ ගොඩවල්, වතුර රැඳෙන තැන්, ගල්, වැලි, උලු, ලී ගොඩවල්, යකඩ කම්බි, දැල්, වලවල්, කානු, කුණු ගොඩවල් ආදිය පැවතීම.

* නිවස තුළ හෝ ගෙවත්තේ කැඩුණු බිඳුණු අබිලි ද්‍රව්‍ය මෙන්ම දිරාපත්වන ද්‍රව්‍ය පැවතීම. * ගෙවත්ත පුරා සුරතල් සතුන්ගේ මල අපද්‍රව්‍ය දුගඳ හමමින් පැවතීම. * නිවසින්, ලිදෙන් බැහැර කරන අප ජලය ගෙවත්ත පුරා ගලායෑම. * නිවසින් බැහැර කරන අපද්‍රව්‍ය තැන තැන දුගඳ හමමින් පැවතීම. ඒවා වැළලීම හෝ පිලිස්සීම නොකිරීම. * පාවහන්, කොසු, ඉදල් ඍජුව ඇස ගැටෙන සේ තැබීම. * නිවස ඉදිරිපිට හෝ ප්‍රධාන දොර අසල පාවහන් රදවන තැබීම හා පාවහන් ගලවා තැබීම. * නිවසේ බුදුන් වදින ස්ථානය අපිරිසිදු වීම හා නිතර පෑගීම. * නිදන කාමරයේ ඇදන් එකට යා කරතැබීම. * ලිං පඩියට කාරා කෙළ ගසා අපිරිසිදුව තබාගැනීම. * නිවස ඉදිරිපිට මුත්‍රා කිරීම.

* නිවසේ ප්‍රධාන දොරෙන් ජනෙල් වලින් පිටතට කෙළ ගැසීම. * ගෙවත්ත වල්වැදී කැලෑ වීම. * සරම කැහැපට ගසා ප්‍රධාන දොරෙන් නිවසට ඇතුල්වීම. * තොප්පි, කුඩ වැනි දෑ නිවස තුළ භාවිතය. * නිවස ප්‍රසන්නව, පිරිසිදුව, සුවදවත්ව දර්ශනීයව පවත්වා නොගැනීම. * කණ්ණාඩි මේසයේ කණ්ණාඩිය ආවරණය කරතැබීම. * නිවසේ සවිකර ඇති බුද්ධ රූප දේව රූපවලට ඉහළින් සත්ත්ව රූප හෝ වෙනත් ඡායා රූප වීම. * නපුරු සතුන්ගේ ඡායා රූප, අං තට්ටු, සම් වැනි සතුන්ගේ සිරුරේ යම් යම් කොටස් නිවසේ බිත්තිවල එල්ලා තැබීම. * නිවස අතුගා එකතුවන කුණු රොඩු නිවසේ ප්‍රධාන දොරින් ඉවතට දැමීම. * මල හිරු යාමයේ ගෙමිදුල, නිවස අතුගෑම. * සතුන් හෑරූ පස් ගොඩවල්, ගුල් වලවල් ආදිය ගෙවත්ත පුරා වීම. * නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට ගසක්, කනුවක් වැනි බාදකයක් වීම. * තෙත රෙදි වැල් යටින් රිංගා එහාමෙහා යෑම * නිවසේ ගෘහනිය මෙන්ම අනෙක් තරුණ මහලු ස්ත්‍රීන් රාත්‍රී ඇඳුම පිටින්ම දිවා කාලය ගත කිරීම. * කිළිටි මඩ තැවරුණු පාද හෝ පාවහන් සහිතව නිවසට ඇතුළු වීම.

* ප්‍රධාන දොරකඩ සිට ආහාර අනුභවය. * නිවසේ ප්‍රධාන උලුවස්සෙන් එනම් ප්‍රධාන දොරෙන් මස්, මාලු, අවි ආයුධ, දිරාගිය ද්‍රව්‍ය, හිස් භාජන, දර, අපවිත්‍ර කිළිටි දුගඳ හමන රෙදි කඩමාලු, මත්ද්‍රව්‍ය, කෘමිනාශක, වල් නාශක, පෙට්රල්, භූමිතෙල්, ස්ප්‍රීතු වර්ග නිවස තුළට ගැනීම. * මුලුතැන්ගෙය තුළ වැල් බැඳීම. * මුලුතැන්ගෙය අපිරිසිදු වීම. * පොල්ගෙඩියේ මුඞ්ඩ කඩා මුලුතැන්ගෙට ගැනීම. * එළිපත්ත උඩ පොල් බිඳීම. * නිවස තුළ පරුෂ අසභ්‍ය වචන කථා කිරීම. * ඉඳල හා කොස්ස එකම තැන තැබීම * තැඹිලි වලු නිවසට ගැනීමේදී නැටි නොකැපීම. * මිරිස් ගල නිකං ඇඹරීම. * කුල්ල නිකං පෙලීම. * නිවසේ හරි මැද විවෘතව නිදහස්ව නොතැබීම. * බාල්ක කුරුපා හරි කෙළින් යට ගෘහ භාණ්ඩ තැන්පත් කිරීම. * දිය පිරවූ කලය මුලුතැන්ගෙයි නොතබා තැනින් තැනට මාරු කිරීම. * ලුණු පොල්කටුව හිස්වීම, නියමිත ස්ථානයේ නොතැබීම, ලුණු දමා ශබ්ද නගා කලවම් කිරීම, ලුණු රැගෙන අන් අයට දීම. * නිවසේ ගේට්ටුව, දොරවල්, ගෘහ භාණ්ඩ වල දොරවල් කෙදිරිලි හඬින් ඇරීම, වැසීම. * ගේට්ටු පියන්, දොර පියන්, ජනෙල් පියන් ඉබේ ඇරීම වැසීම. * ජල කරාම වලින් ජලය කාන්දු වීම.

* වැසි ජලය ඊසාන හෝ උතුරු දිශාවට ගලා නොයෑම. * දවස අවසානයේ ගෘහනිය හැලි වළං පිරිසිදු නොකිරීම. * ලිප අලු වලින් පිරී තිබීම. * ලිප් ගල් මත කුප්පි ලාම්පු තැබීම. * වෛරී සිතින් උදෑසන ලිප ගිනි මෙලවීම. * මුහුණ බලන කණ්ණාඩි මුලුතැන්ගෙයි සවි කිරීම. * බීමට ජලය ගන්නා කලය ලුණු පොල්කටුවෙන් වැසීම. * උළුවසු යටට වී ආහාර ගැනීම, හිස පීරීම, උකුණන් ඇදීම. * ලිපට පිටුපා මිරිස් ඇඹරීම. * ලිප මත බතක් හෝ ව්‍යාංජනයක් රොස් වන විට අනුනට දොස් පරොස් කීම. * හිරමණය උඩ වාඩි වී ආහාර ගැනීම. * අඩක් ගාන ලද පොල් බෑ අඩල හිරමනයේ ගසා තැබීම. * පොල් ගෑ පසු හිරමනය බිත්තියට හේත්තු නොකිරීම. * පොල් ගාන විට හෝ පොල් ගෑ පසුව හිරමණ තලේ පොල් කෑම. * නිවසින් පිටත ඇති බුදු මැඳුරේ පහනේ ආලෝකය ප්‍රධාන දොරෙන් නිවස තුළට වැටීම හා බුදු මැදුර ප්‍රධාන දොර කෙළින් වීම. * මිදුල පුරා කෙළ ගැසීම. * වංගෙඩිය උඩ වාඩි වී සිටීම.

* වංගෙඩිය උඩ සිට ආහාර අනුභවය. * වංගෙඩිය මත පිහියා, හැදි, ලුණු පොල්කටු ආදිය තැබීම. * කිසිත් නොමැතිව වංගෙඩියට මෝල් ගසෙන් කෙටීම. * තරහින් අනුන්ට දොස් පරොස් කියමින් මිරිස් ඇඹරීම. * රතු තම්පලා ගෙවත්තේ වවාගැනීම. * බෙහෙත් එරඩු වැටමායිමේ වැවීම. * අගහරුවාදා, සිකුරාදා දිනවල නිවසේ මකුණු දැල් කැඩීම, නිවස සේදීම. * රාත්‍රී කාලයේ ඇඳුම් එළියේ වැනීම. * අපල සඳහා ගෙවත්තෙන් මල් නිවසින් නොයෙකුත් ද්‍රව්‍ය ලබාදීම. * උළුවස්සට හේත්තු වී එක කකුලක් උළුවසු කදට තබා අනෙක් කකුලෙන් සිටගෙන සිටීම. * බීමට වතුර ගන්නා කලය උසකින් නොතැබීම, දිය අඩුවෙන් හෝ හිස්ව තැබීම. * කෑම කෑ පිඟානට වතුර වත්කර අත සේදීම, එම වතුර පානය කිරීම. * නිවස තුළ නිහැඩියාව රජ කිරීම, සංගීත හඬ වැනි දෑ නොඇසීම.
ඉහත සඳහන් කරුණු කාරණා දැන හෝ නොදැන සිදු කිරීම තුළ පවුලේ අසමගිය, අනපේක්ෂිත කරදර, මූල්‍ය හානි, රෝගා බාධ, අපහාස, නින්දා, අනිසි කෝපවීම්, දක්ෂතා බිඳ වැටීම්, සතුරු කරදර, යක්ෂ භූත දෝෂ, දියුණුව ඇනහිටීම, හදිසි අනතුරු, දුර්ගන්ධ හැමීම් වැනි දෑට මුහුණ පෑමට සිදුවේ. එනමුත් නිවසේ ප්‍රධාන දොර අසල පිරිසිදු ජල බඳුනක සුදු මල් කිහිපයක් දමා තැබීම සිරිකත නිවසට වැඩීමට කරණා ඇරයුමක් වැනිය. එහෙත් යම් යම් සෞඛ්‍යය ගැටලු ඇතිවිය හැකි බැවින් මෙම ජලයත් මලුත් දිනපතාම මාරු කළ යුතුමය.
ඔබත් ඉහත සඳහන් කරුණු කාරණා හොඳින් අධ්‍යයනය කර ඔබ විසින් දැන හෝ නොදැන ඔබටත් ඔබ නිවසටත්, ඉඩමටත්, පවුලටත් කර ගන්නා වින නැති කර දුර්වල පහත් අමනුෂ්‍ය බලවේග දූර්ය භූත කර ශ්‍රියා කාන්තාව නිවසට වඩමවා ඔබ නිවසේ සතුට, සාමය, සෞභාග්‍යය, දියුණුව උදා කරගන්න.

ජ්‍යොතිෂවේදී, දේශබන්ධු,
මහේන්ද්‍ර පල්ලෙබැද්ද