සුබ නිමිති සහ අසුබ නිමිති

jakසිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීමෙන් සිය ජීවිතය ලෝකාග්‍ර තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමට තරම් බුද්ධිමත් වූ ශ්‍රේෂ්ඨයෙකි. එතරම් නුවණක් අපට නැතත් එදිනෙදා ජීවිතයේදී අපේ නෙතට ගැටෙන නිමිති අපට යමක් පිළිබඳ
බොහෝ පාඩම් කියා දෙයි.
නිමිති දැකීම හා ඒ නිමිති පිළිබඳව පූර්ව නිගමනයකට එළඹීම ජ්‍යොතිෂයට අනුවද වලංගු වන සත්‍යයකි.
මේ ලිපියෙන් අද කරුණු කාරණා විස්තර කරනු ලබන්නේ ජ්‍යොතිෂයට අනුව ඉපැරණි ජ්‍යෙතිෂවේදීන් ඒ ඒ නිමිති වර්ගීකරණය කොට ඇති ආකාරය පිළිබව ඔබට යමක් කීමටය.

ඉපැරැණි ඇදුරන් නිමිති ආකාර හයකට විස්තර කොට තිබේ. ආගත නිමිත්ත, ගත (ගති) නිමිත්ත, දර්ශන නිමිත්ත, භාෂණ නිමිත්ත, ශ්‍රවණ නිමිත්ත, හා චිත්තාරම්භන නිමිත්ත වශයෙන් අපට එම වර්ගීකරණය ඉදිරිපත් කළ හැකිය. දැන් අපි විමසා බැලිය යුතු වන්නේ ඒ ඒ වර්ගීකරණයන්ට හසු කරන ලද්දේ කවර කවර අවස්ථාවල නිමිති ද යන කරුණුයි.
ආගත නිමිත්ත මෙන්ම අනෙක් නිමිතිද සුබ හා අසුබ වශයෙන් කොටස් දෙකකට වෙන් වෙයි. ගමනක් බිමනක් යන අවස්ථාවේදී මග තොටේදී හමුවන පුද්ගලයන්, වස්තු, සත්ත්වයන් වැටෙන්නේ මේ ආගත නිමිත්තටය. සුබ දෙයක් මුලිච්චි වන්නේ නම් එය සුබ ආගත නිමිත්තක් වෙයි. අසුබ දෙයක් වේ නම් එය අසුබ ආගත නිමිත්තකි.
දර්ශන නිමිත්ත වශයෙන් සලකන්නේ කිසියම් දෙයක් කිරීමට අපි සැරසෙන විටම අපිට දකින්නට ලැබෙන දෙයයි. මෙහිද සුබ අසුබ වශයෙන් ආකාර දෙකකි. මනාල යුවලක් නිවසින් බැහැර වන විට සුබ දර්ශන නිමිත්තක් දැකීමේ අරමුණින් දිය පිරුණු කලයක් උකුලේ තබාගත් සුරූපී කාන්තාවක් ඉදිරියට පැමිණෙන්නේ මේ නිසාය. අද හෝටල්වල සිදුකෙරෙන විවාහ කටයුතු වලදී ලස්සනට ඇඳගත් තරුණියක් වතුර වීදුරුවකට දමාගෙන පැමිණෙන්නේ සුදු මල් අහුරකි. මෙය විහිලුවකි. එමෙන්ම සුදු මල් අප වැඩි වශයෙන් භාවිත කරන්නේ මළ ගෙවල්වලදී බවද මතක තබාගත යුතුය. සුදු මල් පොකුරු ගෙනයන්නේ සොහොන්වලටය. “සුදු මල් පොකුරක් අතින් දරාගෙන ඔබේ සොහොන මත” යන ගීතය ද ඊට නිදසුනකි. මේ නිසා මවාපාන දර්ශන නිමිතිවලදී අපි වඩාත් පරෙස්සම් විය යුතුය.
මීට වසර දෙකකට ඉහතදී මගේ මව රෝගී වී රෝහල්ගත කළ බවට ලැබුණු දුරකථන ඇමතුමක් මත මම රෝහලට යෑමට මෝටර් රථය පාරට දමනවාත් සමඟම මට දක්නට ලැබුණේ තරුණයන් පිරිසක් මළ ගෙදරකට සුදු කොඩි එල්ලමින් සිටින දසුනකුයි. මගේ මවට එවැනි විපතක් සිදු නොවනු ඇතැයි මම තරයේම අධිෂ්ඨාන කරගෙන ගමන පිටත් වුවත් මට ලැබුණු දර්ශන නිමිත්තේ ප්‍රතිඵලය ද එයම විය.
දර්ශන නිමිත්තේදී ගෙඩි පිරුණු කොස් ගසක්, අඹ ගසක් වැනි දේ දැකීම ඉතාම යහපත් වනවා මෙන්ම දර්ශන නිමිත්තේදී අප දකින සිහිනද මේ නිමිත්තටම අයත් වන බව අපි මතක තබාගත යුතුය. සිදුහත් කුමරු දුටුවා සේ මුලින්ම මළ මිණි, මළ ගෙවල් වැනි අසුබ දර්ශන දැකීම අසුබ දර්ශන නිමිත්තක්ම වෙයි.
භාෂණය යනු කතා කිරීමයි. යමක් කිරීමට හෝ යමක් කිරීමට යන බව ප්‍රකාශ කිරීමත් සමගම අන් අයගෙන් ප්‍රකාශ වන දේ භාෂණ නිමිත්තයි. ජය වේවා.. සැප වේවා… යහපතක්ම වේවා යනුවෙන් ඇසීම සුබ භාෂණ නිමිත්තයි. විහිලු කාටූනයක “චව් චව්” කියන්නේම “ඕක නම් හරියන් නෑ ලොක්කා” යනුවෙනි. එය අසුබ භාෂණ නිමිත්තයි. කෙලවෙලාම පලයන්. තොලොන්චි වෙලාම පලයන්… ඕකාට නම් හොඳක් වෙන්නෙම නෑ යනුවෙන් අසන්නට ලැබෙන්නේ ද අසුබ භාෂණ නිමිතිය. මේ නිසා ඔබේ හැකර කට අන් අය ඉදිරියේ පාවිච්චි කිරීමේදී ඉතාම ප්‍රවේශම් විය යුතුය.
ශ්‍රවණ යනු ඇසීමයි. යම් කාර්යයක් කිරීමට සූදානම් වන විට “චුක් චුක්” ගාන හූණාගේ හඬ අසුබ ශ්‍රවණ නිමිත්තකි. බල්ලන් උඩු බිරීම, බස්සන් බකමූණන් කෑගැසීම, හූ හඬ ඇසීම අසුබ ශ්‍රවණ නිමිති වෙයි. කුකුලන් හැඬලීම, බෙර හඬ, සක් හඬ සෙත් පිරිත්, මඟුල් බෙර හඬ ඇසීම සුබ ශ්‍රවණ නිමිති වෙයි. හොඳ යමක් කිරීමේදී පටිගත කළ හෝ සෙත් පිරිත් අසන්නට සලස්වන්නේ ශ්‍රවණ නිමිත්ත ඉතාම සුබ ශ්‍රවණ නිමිත්තක් කර ගැනීමටයි.
මවුපියන් ගුරුවරුන් වැඳ නමස්කාර කරන විට වැඳුම් ලබන්නා අඩුම තරමින් “තෙරුවන් සරණයි” කියා හෝ කිවයුතුය. නමුත් බොහෝ අය කියන්නේ තෙරුවන් සරණයි කියා නොව “ගියාට කමක් නෑ නටන්නේ දගලන්නේ නැතුව ඉක්මනින් එන්න” යනුවෙනි. මේ නිසා කොච්චර වැඳ ආශිර්වාද ලබා ගැනීමට ගියත් ආශිර්වාදයක් වෙනුවට ලැබෙන්නේ වෙනත් දෙයකි.
චිත්තාරම්භන නිමිත්ත වශයෙන් හඳුන්වන්නේ අපි ගමනක් යන විට හෝ යමක් කරන විට අපේ සිත් තුළ හටගන්නා චිත්ත ස්වරූපයයි. “බෑ… බෑ” කියලා පටන්ගන්න වැඩ හරියන්නේ ඉතාම කලාතුරකින්. ඕක හරියන්නෙ නෑ කියලා හිතුවොත් ඒක හරියන්නෙම නෑ තමයි. මේ නිසා චිත්තාරම්භන නිමිත්ත ඉතාම ධනාත්මක විය යුතුයි. අද මනෝවිද්‍යාඥයන් ද මේ මතය සත්‍යයක් කියලා පිළිගන්නවා. මේ නිසා ඕනෑම කාර්යකදී චිත්තාරම්භන නිමිත්ත ඉතාම සුබවාදීව සිතන සිතුවිල්ලක් විය යුතුය.
ලිපිය අවසන් කිරීමට පෙර දර්ශන නිමිත්තට අසුවන තවත් යමක් ලියන්නට සිතුණා. බස්රථවල විශේෂයෙන්ම ත්‍රිරෝද රථවල ඉදිරිපස පිටුපස බොහෝ දේ ලියා තිබෙනවා. “පැතුවේ ලස්සන දවක් ඒත් හැමදාම මහ මඟ”, “සල්ලිත් නෑ ජීවිතෙත් නෑ.” මෙවැනි දර්ශන නිමිති ඒ තරම්ම සුබ ඒවා නොවෙයි. ඒක නිසා මිනිස්සු ගොඩක් කියවන දේවල් ලියන කොටත් ඉතාම පරෙස්සමෙන් ඒ වැකි ලියන්න ඕනේ.
එහෙම වුණාම ඒ දර්ශන නිමිති ලියපු කෙනාටත් කියවන කෙනාටත් වාසනාවම උදාකරනවා. උදේ පාන්දර පාරට බහින්නේ දහසක් බලාපොරොත්තු ඇතිවයි. හැමෝම එහෙම නිසා තමන් තමන්ගෙ යහපතට කරුණු දේ අනුන්ගෙ යහපතටත් යමක් වෙන්න ඉඩ ලැබෙන විදිහට කරනව නම් ගොඩක් හොඳයි. මේ නිසා සෑම පෙරනිමිත්තක්ම ඉතා හොඳ පෙර නිමිත්තක් කරගන්න හැම කෙනෙක්ම මහන්සි ගන්න මතක තබාගන්න.

ජ්‍යොතිෂවේදී
  දිනසේන රතුගමගේ