සෙත් කවියක් හිතුමතේට ලියන්න එපා

4ගුප්ත ප්‍රතිකාර ක්‍රමයක් වන සෙත් කවි කලාව පුද්ගලයන්ගේ ජීවිතවලට සිදුවන කරදර, ප්‍රශ්න, දුක් පීඩා, ලෙඩ දුක්, ග්‍රහ අපල ආදියෙන් මිදීමට පුරාණයේ සිට මිනිසා යොදා ගත්හ. සෙත් කවියේ බලවත් භාවය කෙතෙක්ද කිවහොත් හැතැක්ම ගව් ගණනක් ඈත සිටින රෝගියකු හට ද සෙත් කවිය මගින් සෙතක්, ශාන්තියක් උදාකළ හැක.


ගුප්ත ශාස්ත්‍රය පුද්ගලයන්ට සෙතක්, යහපතක් කිරීමට යොදා ගත හැකි මෙන්ම අයහපතක් විනයක් කිරීමටද යොදාගත හැක. ගුප්ත ක්‍රමයක් වන සෙත් කවියද හොඳට මෙන්ම නරකටද යොදා ගත හැක. හොඳට යොදා ගත් විට සෙත් වෙන අතර නරකට යොදා ගත් විට වස් වදිනු ඇත. මෙය සෙත් කවිය හා වස් කවිය ලෙස අර්ථ දක්වනු ලබයි. මෙහිදී සුභ ගන යොදා, සුභ නැකැත්වල අක්‍ෂර භාවිතයට ගෙන සෙත් කවි හදනවා මෙන්ම අශුභ ගන යොදා ජන්මියාට අශූභ නැකැත් වලින් වස් කවි සාදනු ලබයි. නමුත් ජ්‍යොතිෂ්‍ය වන් උතුම් ශාස්ත්‍රයක වෘත්තීය වශයෙන් යෙදෙන සෑම දෙනාම පුද්ගලයාට සෙත් පැතීම විනා වස් පැතීම නොකළ යුතුයි. කෙටියෙන් කිවහොත් සෙත් කවි මිසක කිසිවිටක වස් කවි නොසෑදිය යුතුයි.
සෙත් කවියක් සාමාන්‍ය කවියක් ලෙස ලිවිය නොහැක. සෙත් කවියක් ලිවීමේදී කරුණු ගණනාවක් සැලකීමට භාජනය කළ යුතුය. මුලින්ම සෙත් කවිය ලියන කාව්‍ය නායකයාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර ඔහුගේ හෝ ඇයගේ ජන්ම නැකත, පාදය, උදා ලග්නය මෙන්ම නම හා සෙත් කවිය අවශ්‍ය කාරණය දැනගත යුතුයි. තවද ජන්ම පත්‍රය ගැඹුරින් පරීක්‍ෂා කර ජන්මියාට දුක්, කරදර, රෝග පීඩා ගෙන දෙන අපලය හඳුනා ගත යුතුයි. එම අපල තර ග්‍රහයාට අදාළ දෙවි දේවතාවාද හඳුනාගත යුතුයි. ඊට අමතරව කේන්දරයේ ප්‍රභලම ග්‍රහයන් හඳුනාගත යුතු අතර මේ සියල්ලම ඒකරාශි කර ගනිමින් සෙත් කවිය ලිවිය යුතුයි.
සෙත් කවියක් ලිවීමේදී චන්ද්‍රයාගේ බලය, බලය ලෙසම ගත යුතුයි. ඒ අනුව කිසිවිටකත් අවපාර්ශවයේදී සෙත් කවි නොලියයි. සෑම විටම පුර බලයෙන් යුත් දිනක් විය යුතුයි. එම පුර බලයෙන් යුත් දිනයේ රාහු කාලය අත්හැර ගත යුතුයි. පුර පාර්ශවයේ වුවද ජලවක, නවවක, තුදුස්වක, අමාවක යන තිති පවතින දිනයන් හි සෙත් කවි ආරම්භය නොකළ යුතුයි. එමෙන්ම පුර පාර්ශවයේ පෑලවිය, තියවක, විසේනිය, දසවක, එකළොස්වක හා තෙලෙස්වක තිති සෙත් කවි රචනය සඳහා සුදුසු බව පුරාණ පොත පතේ සඳහන් වේ. තවද නිවසේ කිලි සහිත නම් ද සෙත් කවි රචනාව සිදු නොකළ යුතුයි. එමෙන්ම සූර්ය සංක්‍රාන්ති දිනවලද එනම් සූර්ය සංක්‍රාන්ති දිනය, ඊට පෙර දිනය හා පසු දිනයද සුදුසු නොවේ. ඉහත කිලි ලෙස සඳහන් වූයේ මරණ කිල්ල, ප්‍රසූත කිල්ල, මල්වර කිල්ල හා ආර්ථව කිල්ලයි. මෙම කිලි ඇති වූ විට එම එක් එක් කිල්ල පවතින කාලසීමාවන් පවතී. එම කාලසීමාවන් මගහැර සෙත් කවි රචනයේ යෙදිය යුතුයි. එනම් මරණ කිල්ල දින 90 ක් ද ප්‍රසූත කිල්ල දින 7 හෝ 10 හෝ 15 ක් ද, මල්වර කිල්ල දින 12 ක් ද, ආර්ථව කිල්ල දින 3 හෝ 4 ක් ද ලෙසය. මීට අමතරව සූර්ය ග්‍රහන, චන්ද්‍ර ග්‍රහන පවතින දින හා ඊට පෙර හා පසු දිනය යන දින දෙක ද යොදා නොගත යුතුයි. සුභ දිනක වුවද සවස් වරුවේ සුදුසු නොවේ. උදේ කාලයේ පමණක් සෙත් කවි රනා කළ යුතුයි. මහා වැසි සහිත කාලගුණයක් පවතින විට හා තද අකුණු පවතින විට ද සෙත් කවි නොසෑදිය යුතුය. තවද සෙත් කවි රචකයාට සිත්තැවුල් ඇත්නම්, රචකයා කුමන හෝ කල කෝලහලයකට මැදිව ඇත් නම් හා අශුභ සිදුවීම් ඇති වී ඇත්නම් ද සෙත් කවි රචනා නොකළ යුතුයි.
නැකැත් චක්‍රයේ නැකැත් 27 න් සෙත් කවි රචනය සඳහාම සුභ යැයි සම්මත නැකැත් ගණනාවක් පවතී. ඒවා නම් අස්විද, රෙහෙන, මුවසිරස, පුෂ, උත්‍රපල්, උත්‍රසල, අනුර, හත, සුවන, උත්‍රපුටුප, රේවතී යන නැකැත්ය. කැති බෙරන, අද, දෙට, අස්ලිස, විසා, පුවපල්, සියාවස යන නැකැත් සෙත් කවි රචනයට අශුභ නැකැත් ලෙසත් ඉතිරි නැකැත් සෙත් කවි රචනයට මධ්‍යස්ථ නැකැත් ලෙසත් පුරාන පොත පතේ සඳහන්ය.
නමුත් සෙත් කවි රනයට සුභ ලෙස නම් කර ඇති නැකතක් වුවද අදාළ ජන්මියාට හෝ සෙත් කවි රචකයාට අශූභ නම් එම නැකත යොදා නොගත යුතුයි.
සෙත් කවි රචනා කිරීමට යොදා ගන්නා දිනයේ නැකත අදාළ ජන්මියාට එනම් කාව්‍ය නායකයාට සම්පත්, මෛත්‍රි, පරම මෛත්‍රි, ක්ෂේම හෝ සාධක නැකතක් විය යුතුමය. කිසිවිට විපත්, වද පත්්‍යාරී හෝ ජන්ම නැකතකින් නොසෑදිය යුතුයි. කාව්‍ය නායකයාට පමණක් නොව කාව්‍ය රචකයාටද එම නැකත සම්පත්, මෛත්‍රි, පරම මෛත්‍රි, ක්ෂේම, හෝ සාධක විය යුතුය. කෙසේවත් සෙත් කවි රචකයාට අදාළ නැකත අශූභ වී, සෙත් කවි නායකයාට ඉතා සුභ වුවද සෙත් කවිය රචනා නොකළ යුතු බවද තරයේ සිත තබා ගත යුතුයි. මක්නිසාදයත් රචකයා තමන්ගේ ආරක්‍ෂාව පළමු කොට සිතිය යුතු බැවිනි.
සෙත් කවියක් ලිවීමේදී දිව්‍ය අක්‍ෂර හා මනුෂ්‍ය අක්‍ෂර පමණක් භාවිතා කිරීමට උත්සාහ කළ යුතුයි. කෙසේ හෝ ලියනා එක කවි පදයක අකුරු ගැන්න විට දිව්‍ය අක්‍ෂර ගණන මුළු පද පේළියේ අක්‍ෂර ගණනින් 75% ක් වත් තිබිය යුතුය. එවිට ඵලදායී කවියක් බිහිවේ. එක පදයක සේම පද හතරේම මුළු අක්‍ෂර ගණනින් දිව්‍ය අක්‍ෂර ගණන 75% ට වැඩි විය යුතුයි. සෙත් කවිය ලියා නිම වූ පසු එහි ඇති මුළු අක්‍ෂර ගණනින් දිව්‍ය අක්‍ෂර 70% ක් වත් තිබිය යුතුය.
උ, ප, බ, ග, හ මනුෂ්‍ය අක්‍ෂර වන අතර ඉ, ඔ, ඩ, ද, ල, ව, ස දිව්‍ය අක්‍ෂර වේ. අපාය අක්‍ෂර ලෙස එ, ක, ය, ම, ර, ජ, අ, ණ, ළ, අං ගත හැක. සෙත් කවියක ආරම්භය දිව්‍ය අක්‍ෂරයකින්ම විය යුතුය.
මීට අමතරව ගත කුරු හා ස්වර ගැලපීම, පද හා වෙනත් පද එකට ඈදීම, යොත් ගැලපීම, අකුරු හා නැකැත් ආදිය ගැලපීම හෙවත් ගත ගැලපීම, කවියේ පද සතර එකිනෙක ගැලපීම, පදයක මුලකුරු අනෙක් පදවල මුලකුරු හා ගැලපීම, ඕනෑම පදයක අග අකුරු හා ඊළඟ පදයේ මුල අකුරු ගැලපීම මේ සඳහා වේද ස්වර පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුයි. වේද ස්වර මෙසේය.
අ – උ වේද වේ.
ආ – ඌ වේද වේ.
ඉ – එ, ඒ වේද වේ
ඊ – ඔ, ඕ වේද වේ
මෙම වේද ස්වර සෙත් කවි ලිවීමේදී යොදා නොගනී. ඊට අමතරව කවි පදයේ අරුත් බරව මෙන්ම සමබරව තබා ගැනීම, සෙත් කවි ලියන්නාට මෙන්ම රචකයාටද ගැලපෙන ලෙස කවියෙහි ස්වර, ගතකුරු, පද, ගන, යොන් ආදිය තැබීම කවියක පද එකිනෙක ගැලපෙන ලෙස අග සහ මුල සැකසීම සෙත් කවියේ බලය ඉස්මතු කරන තැන් සුදුසු ලෙස සැකසීම කවිය ලියන කතුවරයාගේ මෙන්ම කවියේ නායකයාගේ ද ආරක්‍ෂාව තර කිරීම මෙන්ම කවියක් කිව යුතු වාර ගණන නියම කිරීම උක්ත අංග සියල්ල එක් අරමුණක් උදෙසා එක් වීමෙන් බලගතු සෙත් කවියක් නිර්මාණය වේ.
සෙත් කවියක් ගන පිහිටුවා සෑදිය යුතුය. එම ගන ආකාර දෙකකි. එනම් සුභ ගන හා අශුභ ගන ලෙසය. සෙත් කවියක් සඳහා සුභ ගන පමණක් භාවිතා කරයි. සුභ ගන 4 කි.
ම හෙවත් භූමි ගනය, න හෙවත් දේව ගනය, බ හෙවත් චන්ද්‍ර ගනය, ය හෙවත් ජල ගනයයි. මෙහිදී භූමි ගනයට ගුරුම :ඹඹඹ* තුනක් භාවිතා වන අතර දේව ගනයට ලඝුම (—) තුනක් භාවිතා වේ. චන්ද්‍ර ගනයට මුල ගුරු 1 ක් හා ලඝු 2 ක් :ඹ–* ද ජල ගනයට මුල ලඝු 1 ක් හා ගුරු 2 ක් ද :-ඹඹ* භාවිතාවේ.
සුභ ගන 4 මෙන්ම අශුභ ගන 4 ක් ද ඇත. අශූභ ගන වස් කවි නිර්මාණයට භාවිතා කරයි. අශුභ ගන යොදා වස් කවි කිසිවිටක නිර්මාණය නොකළ යුතු වුවද අශුභ ගන මොනවා දැයි දැනගැනීම ඉතා වටී. අශුභ ගන 4 මෙසේය.
එ හෙවත් සූර්ය ගනය, ර හෙවත් අග්නි ගනය, ස හෙවත් වායු ගනය, ත හෙවත් ආකාශ ගනයයි. සෙත් කවි නිර්මාණයේදී සෙත් කවි රචකයාගේ හා සෙත් කවි නායකයාගේ ජන්ම නැකත බලවත් වනවා සේම ඔවුන්ගේ පක්‍ෂියා රජ වන වේලාවක් හෝ පක්‍ෂියා භෝජනයේ යෙදෙන වේලාවක් විය යුතුයි. එපමණක් ද නොව එදින එම සුභ හෝරාවට, පංචම කාල හෝරාවට පවතින තත්කාලයද බලවත් විය යුතුයි. එම තත්කාලයේ 12 වැන්නේ කිසිදු පාප ග්‍රහයෙක් නොසිටිය යුතුයි. සෙත් කවි ලිවීමට සුභ දින ලෙස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරුදා යොදා ගත යුතුය. කිසි විටකත් ඉරිදා, අඟහරුවාදා හෝ සෙනසුරාදා දිනයක් ඒ සඳහා යොදා නොගත යුතුයි. මේ සියල්ල සරිලන ලෙස සකසා ගත් පසු එදින මරු සිටින දිශාවට පිටුපා සුභ දිශාව බලා සෙත් කවිය ලිවීම ආරම්භ කළ යුතුයි. සුභ දිශාවට මුහුන දිය නොහැකි නම් දකුණු අත යොමු කළ යුතුය.
ඒත් ලිපියකින් ලියා නිම කළ නොහැකි තරම් කරුණු සිද්ධාන්ත සෙත් කවිය තුළ පවතී. දේව බලය, ප්‍රජා බලය, නැකැත් බලය, යෝනි බලය, පං පක්‍ෂි බලය, ගන බලය, අක්‍ෂර බලය යන මේ සියලුම බලයන් කැටි වූ සෙත් කවිය අදාළ ජන්මියාට යහපත, සතුට, සෞභාග්‍ය සෙත නිරතුරු උදා කරවයි.

ජ්‍යොතිෂවේදී, දේශබන්ධු,
   මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර. 0774126023