ඩෙංගු මට්ටු කරන හෙළ ඔසු මෙන්න

මේ දිනවල ඉතාමත්ම සීග්‍රයෙන් වර්ධනය වන ජ්වර (උණ) රෝග ගණයට වැටෙන මාරාන්තික ඩෙංගු රෝගයට දේශීය වෛද්‍ය ක්‍රමය තුළ නොවරදින ප්‍රත්‍යක්‍ෂ ඖෂධ සහ වත් පිළිවෙත් ඇත. ඩෙංගු රෝගයට ලක්වන පුද්ගලයාට ඉන් හානි පැමිණෙන්නේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසාය. ඒ අනුව ආයුර්වේදයේ ප්‍රතිශක්තිය වර්ධනය වන ක්‍රමෝපායන් දක්වා තිබේ. වර්තමානයේ ආහාර රටාව, දින චර්යාව, ආතතිය වැනි කරුණු නිසා මිනිසුන් සිටින්නේ යහපත් කායික මානසික යෝග්‍යතාවයකින් නොවන නිසා කුඩා ඩෙංගු මදුරුවාට ජය ගැනීමට හැකිවී තිබේ. ඒ නිසා ඩෙංගුවලින් මිදීමට බලාපොරොත්තු වන ඔබ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක තබාගැනීමට ආයුර්වේදය දෙන උපදෙස් පිළිපැදීම අවශ්‍යය.


කෙසේ වෙතත් ඩෙංගු වැළඳුනු රෝගියකු සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ නොවරදින අත්දුටු ප්‍රතිකාර ක්‍රමවේදයක් පවතී. ඒ අනුව ඉතා කුඩා කොස් ගැට (පනා පතුරු) තම්බා එම ජලය පානය කිරීම මෙන්ම කොස් ගැට ආහාරයට දීම ද කළ හැකිය. මෙයින් සිදුවන්නේ ඇඟපත වේදනා නැති වී රෝගියා ශක්තිමත් මානසික මට්ටමක් අත්පත් කර ගැනීමයි. වර්තමානයේ බොහෝ දෙනා කොස් පොලොස් ආහාරයට එක්කර ගැනීමට මැලිකමක් දක්වයි.
තවත් බහුල වශයෙන් භාවිතයට ගත හැකි ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ගස්ලබු දලු ඉස්ම පෙවීමයි. මෙහිදී ගස්ලබු ගසේ ඉතාම ළපටි හෝ මෝරපු කොළයක් නොව තුන්වන දල්ල කොටා ඉතා පිරිසිදු ලෙස ඉස්ම වෙන් කරගෙන උදේ සවස මේස හැඳි දෙක බැගින් පෙවීමෙන් ඉතාමත් විශ්මිත ලෙස රුධිර මට්ටම ඉහළ යන බව කිව යුතුමය.
ඊට අමතරව මා විසින් ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරගෙන ඇති දිව්‍ය ඔසුවක් වන්නේ බෝ පොතු කැඳයි. බෝ පොතුවලින් සෑදූ කැඳ හීනටි හාලේ දමා බොන්නට දීමෙන් ඩෙංගු රෝගයට දිව ඔසුවක් බඳු ප්‍රතිඵල ලැබේ.
එමෙන්ම දේශීය වෙදකම තුළ ලෙඩ සුවකරන විශේෂිත කෙම් ක්‍රමද පවතී. ඉසිවර පාඨකයාට දැනගැනීම පිණිස එබඳු නොවරදින කෙම් ක්‍රම පහත පරිදි දක්වමි. මෙය ඩෙංගු රෝගයට ප්‍රත්‍යක්‍ෂ කෙම් ක්‍රමයක් බව සිහිතබා ගන්න.
පළමු කෙම – මොණරකුඩුම්බිය මුලක් කතා නොකර ගලවාගෙන එය කතා නොකරම රෝගියාගේ හිසේ බැඳීම
දෙවන කෙම – බේත් එඬරු කොළ බිම අතුරා රෝගියා ඒ මත බිම සැතැප්පවීම මෙය ද කතා නොකර කළ යුතුය.
ඉපැරණි කෙම් ක්‍රම තුළින්ද විශ්මිත ප්‍රතිඵල අත්කර ගැනීමට විශ්වාසයෙන් යුතුව මේවා කළ යුතුය. එමෙන්ම විවෘත මනසකින් මෙය කළ යුතුය.
ඩෙංගු රෝගය සුවකර ගැනීමට යෝග්‍යය කෂාය කිහිපයක් ද ඔබ සැමගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමි.

■    පළමු කෂාය
දියමිත්ත, රසකිඳ, පැපිලිය, වම්මුතු, ඉඟුරු, බිං කොහොඹ කලං 2 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ කෙලිඳ හාල් දමා බොන්න.
■    දෙවන කෂාය
තිප්පිලි, රසකිඳ, ඉඟුරු, ගම්මිරිස්, වෙනිවැල්ගැට, කලං 2 යි මංචාඩි 8 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ බොන්න.
■    තුන්වන කෂාය
නුගමුල්, කළු උක් දඬු කලං හය බැගින් ගෙන වතුර පත අට එකට සිඳ තිප්පිලි කුඩු අනුපාන ලෙස දමා බොන්න.

මේ සියල්ලටම අමතරව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැතිකර ගැනීම, එමෙන්ම මදුරු දෂ්ටය වළක්වා ගැනීම ද කළ හැකිය. මදුරුතලා, කොහොඹ වැනි ඖෂධීය ශාක ගෙවත්තේ වැවීම ද කජු ලෙලි පිළිස්සීම, දුම් ගැසීම ආදිය සිදුකරමින් මනා පරිසරයක් පවත්වා ගැනීමද කළ හැකි දෙයකි. දේශීය වෛද්‍ය ක්‍රමයම පරිසර හිතකාමී එකකි. මේ සියලු උපදෙස් පිළිපැදීමෙන් පුංචි මදුරුවකුට ඔබේ ජීවිතය රැගෙන යෑමට නොදී දිවි රැකගත හැකිය.

 

සාමවිනිසුරු, ආයුර්වේද වෛද්‍යාචාර්ය
හෙළ වෙද ඍෂි, රාවනා සම්මානලාභී
පී. චන්ද්‍රසිරි
සාකච්ඡා කොට සකස් කළේ –
සුගත් ප්‍රේමතිලක