සූර්යාවර්තය හෙවත් ඉරුවාරදය

hypnotherapy-for-headachesමිනිසාගේ ප්‍රධාන මර්මස්ථාන තුනෙන් එකක් වන හිස පීඩාවට පත් කරන රෝගයක් ලෙස (ඉරුවාරදය) සූර්යාවර්තය හැඳින්විය හැක. හිරු උදාවත්ම සෑදෙන මෙම රෝගය හිරුගේ රශ්මිය වැඩිවනවාත් සමග ප්‍රබල වේ. හිරු බැස යත්ම සංසිඳී යෑම සූර්යාවර්තය යන නමින් හැඳින්වීමට හේතු පාදක වී ඇත.
ආයුර්වේදයේ පදනම වන වා, පිත්, සෙම (කඵජ) යන්නෙහි වාතය වායු ශක්තියෙන් ද, පිත අග්නි බලයෙන්ද, සෙම (කඵජ) ජල ගුණයෙන් ද පවතී. අග්නි බලය නියෝජනය වන්නේ හිරුගෙනි. හිරුගේ උදාවේදී ශරීරාග්නිය ප්‍රබල වීමෙන් ඇති වන ලෙය සහ පිතේ කෝපය හිසේ මස්තිෂ්කයට ඇති කරන බලපෑම මෙහිදී ප්‍රධාන වේ
මෙම රෝගය ඇති වීමට හේතු වශයෙන් මල, මුත්‍ර, වේග දැරීම අජීර්ණ හේතු දූෂිත ලෙස හා වේගවත් සුලං වැදීම, ආදිය දක්වා ඇත. මානසික ආතතිය, නිදිවැරීම්, දුම් පානය, මත් පැන් පානය, කෘත්‍රිම සුවඳ නිතර නාසයට දැනීම වැනි හේතූන් ද මෙම රෝගය බලවත් වීමට හේතු වේ.
අපත්‍ය ආහාර:- උෂ්ණාධික ආහාර, කෘත්‍රිම ආහාර, ආම්ලික ආහාර, මධ්‍යසාර, ලුණු අධික ආහාර, ශීත කළ ආහාර අපත්‍ය වේ.
ඉතාමත් පීඩාකාරී මෙම රෝගයේදී හිසරදය, හිසේ බර බව, ක්ලාන්තය, නිදිබර ගතිය ද රෝග ලක්ෂණ වශයෙන් පහළ වේ. දිවා කාලය තුළ මෙම රෝගීන්ගේ රුධිර පීඩනයද වැඩි බවක් පෙන්නුම් කෙරේ.
අපගේ දේශීය ආයුර්වේද ක්‍රමය තුළ මේ සඳහා සාර්ථක චිකිත්සා ක්‍රමයන් පවතී. ප්‍රතිකාර කිරීම අතර තුර රුධිර පීඩනය අඩු වීම මැන බලාගත හැකිවීම මෙහිදී ඇති විශේෂත්වයක් වේ. පිත ප්‍රධානව පවතින බැවින් මෙම රෝගයේදී පිත් සමනය හා ලේ කෝප නිවාලන ඔසු භාවිත වේ. ශිරෝ විරේක (නස්‍ය ක්‍රම) සහ උදර විරේකද මෙහිදී සිදු කෙරේ. රෝගියාගේ ශරීර තත්ත්වයද සලකා බැලීම විශේෂ වේ, ඉසකුලිත්ති ලීම (හිස ගැල්ලුම්) තෙල් වර්ග හිස ගැල්වීම (සූර්ය තාපයෙන් කකාරා ගත් තෙල් වර්ගද මෙහිදී භාවිත වේ) නලලට පැලැස්තර යෙදීම (සූර්යාවර්තී ශාකයක් වන සූරියකාන්ත මල්, ඇට ආදිය අඹරා ගත් පැලැස්තරද භාවිත වේ). මෙහිදී යොදා ගන්නා කෂාය බොහොමයක් (ක්ෂීර කෂාය) කිරි මිශ්‍ර ඒවා වීමද විශේෂත්වයකි. ගිතෙල් ද මෙම ප්‍රතිකාර අතර ප්‍රධාන වේ. පරණ ගිතෙල් යොදා සාදා ගත් ගිරිත ආදිය යෙදේ. පරණ ගිතෙල් මිශ්‍ර හීනටි සහල් අනුභවය මෙම ප්‍රතිකාර යොදන කාලය තුළ ආහාරයට වඩාත් සුදුසු වේ. දේශීය චිකිත්සාවේදී ඉරුවාරදයට ප්‍රතිකාර සඳහන් කවියක් සිංහල යෝගරත්නාකාරයේ සඳහන් වේ.

“සැබෝමුලුත් මහනෙල් අල වැල්                           මීද
උපුල් කොලත් මඩුමුල් එක්ව මන                          නද
ගල්වා සිරස තබමින් සිත්ලෙසින්                           බැඳ
කවා ගිතෙල් වෙල්හැල් බත් ද එම                         සඳ”

“මෙලෙසින් දවස් ගණනක් කෙලෙද තතු            ලෙද
හිරුවා සමග අවඛේදය කියන                                ලද
රෝ දෙක නියතයෙන් සන්සිඳුවමින්                   සෙද
නිසිලෙස ඔහුගෙ සිත සැපවේය පෙර                 ලෙද,

ආයුර්වේද වෛද්‍ය,
සමිතා ප්‍රභාෂි, එදිරිවීර,
පෝරේ, අතුරුගිරිය,
011-2762521