කල් ගියොත් දරුණු ඵලදෙන වාත රක්තය

sciaticaවාත රක්තාභ්‍යාං ජනිතෝ ව්‍යාධීඃ වාත රක්තං” දූෂිත වූ වාත, රක්ත දෙකින් හට ගත් රෝගය වාත රක්ත නමි. දූෂිත වූ රක්තයෙන් වායුහුගේ ගමන් මග අවුරා, වාතයත් දූෂිත කොට, එම දූෂිත වාත, දූෂිත රක්ත දෙදෙනා විසින් සන්ධිස්ථාන සහ සම ආක්‍රමණය කොට සන්ධි වාත සහ කුෂ්ඨ ලක්‍ෂණ සහිතව ඇතිකරන රෝගය වාත රක්තය නමි. වාත රක්ත දෙදෙනාගේම දූෂිත බව ඇතත් නිදොසුන් අතුරෙන් වාතයම ප්‍රබල සහ ප්‍රධාන නිසා මෙයට රක්ත වාතය යැයි නොකියා වාත රක්තය යයි කිව යුතු බව ආයුර්වේද ග්‍රන්ථවල පෙන්වා දෙයි.


වාත රක්ත රෝගය ගැන කතා කිරීමේදී ඒ රෝගයෙන් පෙළෙන්නාවූ රෝගීහු තම රෝගය පිළිබඳව රෝග ලක්‍ෂණ මෙසේ විදහාපාති.
1. දණින් පහළ හමේ පුපුරු ගැසිල්ලත්, වේදනාවත් ඇතිව හම නළියන්ට කසන්නට පටන්ගෙන දින කීපයකට පසුව ඒ පීඩිත පෙදෙසෙහි එක් තැනක බිබිලි කිහිපයක් නැඟ ඒවා ක්‍රමයෙන් වැඩි වී සැරව පිරෙන බිබිලි බවට පත් වන බව කියති.
2. හමේ දිලිසෙන ගතියත් දැවිල්ලත්, වේදනාවත් ක්‍රමයෙන් වැඩි වී හම පුපුරා තුවාල වී දියර ගලන්නට පත්වූ බව පවසති.
3. වළලු කරට උඩින් අඟල් හතරක පමණ පෙදෙසක හම කළුවන් බවට පත්ව පිටි පතුල ඉදිමී ඒ පීඩිත පාදයේ ඇඟිලි අනික් පාදයේ ඇඟිලිවලට වඩා බොහෝ ඉදිමී හමත් මසත් තුවාලව මස් වැදලි වැනි ව්‍රණ ඇති වන අයුරු දක්වති.
4. තවත් සමහරු කලක සිට පුපුර පුපුරා ඇති යටි පතුල පෙන්වා යටි පතුල මැද හදිසියේ බිබිලි නැඟ වේදනාවෙන් පැසවන තුවාල පෙන්වති. එසේම ක්‍රමයෙන් අත්වල අල්ලේ මැද පෙදෙසෙහිද යටි පතුලේ මෙන්ම පැසවන බිබිලි ඇතිවෙතැයි කියති.
පා ඇඟිලි, පිටි පතුල් කෙණ්ඩා වල මෙන් අතැඟිලි පිටි අල්ල අත් ද වරින් වර මේ රෝග ලක්‍ෂණ පහළ වීමෙන් බත්පිඩ අනා කෑමට පවා නොහැකි බව පවසන රෝගීන් ඇත. සමහර විටක රෝගියා පැමිණ හිටගත් කල පාදයේ පීඩිත පෙදෙසින් දුඟදවත් දියර ස්‍රාවය වේ.
අවුරුදු 3 – 12 ත් අතර වූ ළමයින්ට ද, තරුණ අයටත් මැදි විය ඉක්මවන සමහර අයටත් මේ රෝගය වයස් සීමාවේ වෙනසක් නැතිව ඇති වේ. මුං ඇට තරමට සිහින්ව පැතිරී යන බිබිලි මූණත සැරව පිරී පැසවා සුව වී තව තවත් නැගෙමින් පැසවීමට පත්වන නමුත් එවැනි බිබිලි වලින් බොහෝ විට දියර නොගලයි. යටි පතුල සිතියම් කළාක් මෙන් විචිත්‍ර ලෙස පැළී හරහට තීරු තීරු මෙන් තිබී ඒවා කලකදී සුව වන විට යටි පතුල උඩු පතුල ඉදිමී හමේ වර්ණය වෙනස්ව රෝග ලක්‍ෂණ දැකිය හැක.
නැතහොත් දණින් පහළ ඉදිමී හම බුරුල්ව දිලිසෙන ගතියෙන් යුතුව තුවාල නැතිව දියර නොගලමින් පවතී. ඒ ඉදිමුන පාද පෙදෙස ක්‍රමයෙන් කළු පාටට හැරී ඇඟිල්ලෙන් එබූ කල නොඑබෙන තත්ත්වයකට පත්ව ගලක් මෙන් තද බවට ද පත් වේ.
මෙසේ රෝග ස්වභාවය අනුව දණහිස තෙක් හා වැලමිට තෙක් වැඩි වශයෙන් ඇතිවන මේ රෝග ලක්‍ෂණ රෝගයට විරුද්ධ ප්‍රතිකාර හෝ අහිතකර ආහාර පාන ආදිය හදිසියේ යෙදුන හොත් ලේ විෂ වීමෙන් මෙන් මුළු ඇඟ පුරාම එක විටම ඉහත කී රෝග ලක්‍ෂණ පහළ විය හැක. තොල් කළු වීම, මුහුණෙහි හම වර්ණවත්ව ඉදිමී ස්වරූපය විරූපී බවට පත් වේ. සමහර විට කන් පෙතිවලින්, මුහුණින් පවා දියර ගලන්නට පටන්ගනී. වහා කිපෙන ගතිය, උණ, හිසරදය, ඉහත සඳහන් රෝග ලක්‍ෂණත් සමග සමහරුන්ට ඇති වේ. මුත්‍ර අඩු වීම හා තද පාටින් යුතු බවද කියති. රාත්‍රි කාලයට වේදනාව දරුණු වේ. ඉදිමුම හා වේදනාව ක්‍රමයෙන් අඩු වන කල පීඩිත පෙදෙසෙහි හම තට්ටු තට්ටු වශයෙන් ගැලවි ගැලවී යන්නට පටන්ගනී. සමහර විට පීඩිත සමේ කාල වර්ණ ස්වභාවයකින් යුත් ගැට ගැට කොටස් මතුවේ.
වාත රක්ත රෝගීන් පරීක්‍ෂා කිරීමේදී දක්නට හා අසන්නට ලැබෙන රෝග ලක්‍ෂණාදිය මෙසේ සටහන් කර තැබීමෙන් ඔබට වාත රක්ත රෝගය පිළිබඳව දැනුවත් වීම සඳහා ප්‍රයෝජනවත් විය හැක.
බොහෝ සෙයින් සියුමැලි ශරීර ඇත්තන් හට පහසුවෙන් වාත රක්තය කෝප වෙයි. නුසුදුසු ආහාර සහ නුසුදුසු කාය වාග් මනෝව්‍යාපාර ඇති අයට ද, ගමන් නොකර වැඩි වශයෙන් වාඩි වී කාලය ගත කරන අයට ද බෙහෙවින් ම වාත රක්තය කෝප වෙයි. අභිඝාත (තැලීම්) හේතුවෙන් හෝ වමන විරේචන ආදී ශරීරය ශෝධනය කළ යුතු අය ශෝධන ක්‍රියා නොකිරීමෙන් ද, ලවණ, අම්ල, කටුක, ක්‍ෂාර, ස්නිද්ධ, ඌෂ්ණ නොපැසුණු හෝ දිරවීමට අපහසු භෝජන, කුණු වූ හෝ වියළි දියමස් (කුණු කරෝල) රාබු, කොල්ලු, උඳු, මෑ ඇට, කොළ, එළවළු, මස්, උක් ගස්, දී කිරි, කාඩි, සුරා වර්ග එකිනෙකට විරුද්ධ ආහාර, ගත් ආහාර දිරවීමට පෙර නැවත ආහාර ගැනීම, ක්‍රෝධ කිරීම, දහවල් නිදීම, රාත්‍රි නිදි වැරීම යන මේ රක්තය දූෂිත කාරණාවලින් රක්ත ධාතුව දූෂිතව ඇති කල්හි, කසට, කටුක තිත්ත රස දේ බහුල වශයෙන් වැළඳීම, ඇත් අස් ආදී සතුන් පිට හෝ මෝටර් රිය, දුම්රිය ආදී වාහනවල බොහෝ වේලාවක් පාද පහතට එල්ලාගෙන ගමන් කිරීමෙන් ද, දියකෙළි පිහිනීම්, තද උෂ්ණයෙහි අධික වශයෙන් ගමන් යාම, මළ මුත්‍ර ආදී වේග වැළැක්වීම ආදී වාතය දූෂිත කාරණාවලින් වාතය දූෂිතව කෝපව වැඩුණු විට ඉහතින් කී රක්ත දූෂිත කාරණාවලින් දූෂිත රක්තය වායුහුගේ ගමන් මග අවුරා සමස්ත දේහයෙහිම රක්තය වඩාත් දූෂිතව වාතරක්තය උපදවයි. ස්ථූල ශරීර ඇති අය වාතරක්තයට පහසුවෙන්ම ගොදුරු වෙති.
සම්ප්‍රාප්ති:
රක්තය දූෂණය සහ වාත දූෂණය යන කාරණාවලින් කුපිත වූ ලේ සහ වාතය පතුල් දෙකෙහි, සමහර විට අතුල් දෙකෙහි එක්රැස්ව සිරා මගින් සිරුරේ පැතිරෙයි. ඒ කුපිත වාත, රක්ත දෙදෙනා කූර්වාස්ථි, සන්ධි, ඇස්වට (වළලුකර) දණිස්, කලව, උකුල, කටී ආදී සන්ධි ඇඟිලි ආදී තැන් ආශ්‍රය කළ විට සන්ධි ගත වාත ලක්‍ෂණ ද සම සහ මස ආශ්‍රය කළ විට කුෂ්ඨ රෝග ලක්‍ෂණ ද පහළ කරයි.
වාත රක්තයෙහි රෝග ලක්‍ෂණ ප්‍රකාශ වීමට පෙර, පතුල් දෙක ලිහිල් වේ. දහඩිය අධික වේ. ශීතල වේ. එසේ නැතිනම් ඊට සම්පූර්ණයෙන් විරුද්ධ ලක්‍ෂණ වූ පතුල් දෙක තද (කඨින) වීම, දහඩිය නැති වීම සහ උෂ්ණවත් වෙයි. ඒ හැර පතුල් දෙකෙහි විවර්ණ බව (තැනින් තැන කලු පාට) ඉඳි කටු අනින්නාක් බඳු වේදනාව, ස්පර්ශය නොදැනීම, පතුල් වල බර ගතිය, සන්ධිස්ථාන ලිහිල් වීම, අලස ගතිය, පීඩකා මතු වීම, දණිස්, කලවා, උකුල්, කඨි, අත් පා සන්ධිස්ථාන සියල්ලගේ ඉඳිකටු අනින්නාක් බඳු වේදනාව, පුපුරුගසන්නාක් වැනි වේදනාව, ශරීර අවයවයන්හි බර ගතිය, හිරිය ආදී ලක්‍ෂණ පහළ වේ.
වාත රක්ත ප්‍රභේද:
වාත රක්ත ප්‍රභේද 2 කි. එනම්,
1. උත්තාන වාත රක්ත
2. ගම්භීර වාත රක්ත ලෙස වේ.
1. උත්තාන වාත රක්ත (බාහ්‍ය වාත රක්තය)
සම, මස් ඇසුරු කොට ඇති වන බාහ්‍ය හෙවත් උත්තාන වාත රක්තයේදී,
● මතුපිට සම කැසීම
● පුපුරු ගැසීම, ඇදුම් දීම, සමේ පිපිරීම
● දුඹුරු, කළු, රතු, තඹවන් පාට ඇතිකරමින් ස්‍රාවය ගැලීම.
● දරුණු තද දැවිල්ල
● වේදනාව
වැනි ලක්‍ෂණ ඇති වේ.
2. ගම්භීර වාත රක්ත (අභ්‍යන්තර වාත රක්තය) මෙහිදී,
● වේදනාව බහුලය.
● අපිරිසිදු ලෙස පීඩිත පෙදෙසේ වැඩි වැඩියෙන් එක් රැස්වන කල ඉක්මනින් බැස නොයන ශිරා ගැට ගැසුණු තද ඉදිමුමක් ඇතිවේ.
● මේ අවස්ථාව වන විට ඇට හා ඇට මිදුළු පොඩිකර දමන්නාක් වැනි වේදනාවක් ඇති වේ.
● සන්ධි ඇට විකෘති කොට කුදු ගැහීම සහ කොරවීම ඇති කරයි.
● කොදු නාරටියේ ඇට ආශ්‍රය කිරීම නිසා කුදු ගැහෙයි.
වාත රක්ත උපද්‍රව:
වාත රක්තයේදී ධමනි ගාත්‍ර සංකෝචනය (හැකිලීම) සිරා පළල් වීම සිදුවේ. ධමනි සංකෝචනය නිසා රුධිර පීඩනය අධික වීමත්, හෘද රෝග හටගැනීමත් වාත රක්ත උපද්‍රව වශයෙන් දැක්විය හැක.
මීට අමතරව,
● සිහි කල්පනා අඩුවී මූර්ඡා වීම
● ආහාර අරුචිය
● ඇදුම
● මස කුණුවීම
● හිසේ වේදනාව
● පිපාස
● උණ, ඇඟ වෙව්ලීම, හික්කාව, කරකැවිල්ල
● නින්ද නොයාම
● ගෙඩි සෑදීම
● ඇඟිලි ඇදවීම, දැවිල්ල
කලක් වාත රක්ත රෝගය සුව නොවී පැවතීමෙන් අතපය කොර බවට පත් වීම, ගමන් බිමන් යාමට අපහසු වීම සිදුවේ. අතැඟිලි හෝ පා ඇඟිලි ක්‍රියාකිරීම අපහසු වේ. ඇඟිලි පුරුක් ගලවා වැටීම, හෘද් මර්‍මය (හදවත) වරින් වර පීඩා කරමින් දරුණු වේදනා (හෘද රෝග) ඇති කිරීම, අග්නිදග්ධ (ගින්නෙන් දැවුණු) හම මතුපිට මතුවන ලොකු බිබිලි වැනි දියපට්ට නැගීම වාත රක්ත රෝගයේදී වරින් වර සමහර විට පහළ වේ.
උන්මාදය ඇති ශරීරාවයව හැකිළෙන ඉන්ද්‍රිය ශක්තිය හානියට පත්වූ වාත රක්තය අසාධ්‍යය. පාමුලින් පටන්ගෙන දණිස් දක්වා හම පුපුරා හම ගැලවී තෙත දියර ගලන, ලේ සැරව ගලන, කාය ශක්තිය පිරිහුණ සිරුර දිරාපත් වූ රෝගීන් සුවපත් කිරීම අතිශයින්ම දුෂ්කරය. උපද්‍රව එකක් දෙකක් ඇති රෝගීන් ඉතා අමාරුවෙන් සුවපත් කළ හැක. උපද්‍රව නොමැතිව කල්ගත නොවූ (වර්ෂයක් නොඉක්මවූ) වාත රක්තය සාධ්‍ය වේ. (සුව කළ හැක)
වාත රක්ත චිකිත්සා ලෙස
පත්තු ගෑම, තෙල් ගෑම, බෙහෙත් කොළ තම්බා සේදීම හෝ නෑම, ශරීරය තුළට ඖෂධ දීම උත්තාන වාත රක්තයේදී සිදුකරයි. විශේෂයෙන් වරින් වර විරේක කිරීම, වස්ති කිරීම, විරේක වශයෙන් තෙල් බොන්නට දීම, ඍත වර්ග යෙදීම, ශරීරය තුළට ඖෂධ යෙදීම (කෂාය වර්ග, ගුලි පාන වර්ග) ආදිය වෛද්‍ය උපදෙස් පරිදි සිදු කළ යුතුය.

ආයුර්වේද වෛද්‍ය,
එච්. ඖෂධී රාජපක්‍ෂ
ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව
නො. 726, නුවර පාර, තොරණහංදිය, කැලණිය.