දරු ඵල නැද්ද මෙන්න නිවැරදිම පිළියම්

බෞද්ධයන් වන අපට බුදුදහම අනුව ඇති ලොකුම සැපත නිවන් සැපතය. එහෙත් ජාති කුල ආගම් ආදී භේදවලින් තොරව මනුෂ්‍යත්වය අනුව සිතුවොත් මිනිසාට ඇති ලොකුම සම්පත දරු සම්පතයි. මිනිසාට පමණක් නොව සියලුම සත්ව වර්ගයාට දරු සම්පත උතුම් බව එළදෙන පැටවා බිහිකළ වහාම පැටවාගේ සිරුරේ තැවරී ඇති අපිරිසිදු දේ තම දිවෙන් ලෙවකා ශුද්ධ කිරීමෙනුත් පැටවා හඬන විට මුත්‍ර පහ කරමින් බුරුල්ල දෙසට ශක්තිය යොදවා බුරුල්ලට කිරි එරවා දීමෙනුත්, මිනිසෙක් හෝ බල්ලෙක් වැනි සතෙක් ඒ දෙසට එන බව දුටු විට ඔරවමින් ගොරවමින් ඒ සතාට හෝ මිනිසාට රෞද්‍ර ඉරියව් පෙන්වන්නේත් තම දරු පැටවා රැකගැනීමට ඌට ඇති ආදරය නිසාය.


එසේම පක්‍ෂීන් බිත්තර දැමීමේ කාලය ළංවන විට යුහුසුළුව කූඩු සාදන්නේත් ඒ තුළ බිත්තර දමා ඒ මත නිදාගෙන තටුවලින් වසාගෙන උණුසුම් කරන්නේත් දරු පැටවා ලබාගැනීමට ඇති ආදරය නිසාය. එසේම පැටවා බිහිවූ පසු එහෙ මෙහෙ පියාඹා ගොස් තම හොටෙන් කෑම ගෙනැවිත් පැටවාට කවන්නේත් සර්පයෙක් හෝ කටුස්සෙක් හෝ ඒ අසළ සිටියොත් ඌට කොට කොටා පළවාහරින්නේත් තම එකම සම්පත වූ දරු සම්පත රැකගැනීමටය. එහෙත් අද මිනිස් සමාජයේ සමහර දෙනෙක් විවාහ වෙන්නේ තම ඉඳුරන් පිනවා ගැනීමට පමණක් සීමා වූ දුෂ්ට චේතනාවෙන් බව ඇතැම් කාන්තාවන් වඳ සැත්කම් කර ගැනීම හා දරු ගැබ විනාශ කිරීමට ඖෂධ වර්ග ගිල දැමීම වැනි ක්‍රියාවන්ගෙන් මොනවට පැහැදිලි වෙයි. ඒ අතරම දරු සම්පත ලබාගැනීම මූලික අවශ්‍යතාවයක් සේ සලකා විවාහ වන නියම මිනිසුන්ද අප අතර ඇත. එය විය යුතුමය.
දරුවකු පිළිසිඳ ගැනීමට, ධම්ම නියාම, කම්ම නියාම, බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම යන නියාම පහ බලපායි. දරුවා ලස්සන වන්නේත් නිරෝගි වන්නේත් බුද්ධිමත් වන්නේත් ගුණවත් වන්නේත් මේ නියාම පහේ බලපෑම අනුවය. පැරැන්නන් තම දුවට, පුතාට, විවාහයක් කර දීමේදී මුලින්ම කරන්නේ තරුණයාගේ සහ තරුණියගේ කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමය. කේන්ද්‍ර දෙකේ විශේෂයෙන්ම නාඩි පොරොන්දම වක්‍ෂ පොරොන්දම හා මහෙන්ද්‍ර පොරොන්දම ශුභ නම් දරුඵල සඳහා සුදුසු බව නිගමනය කෙරේ. මීට අමතරව තවත් පොරොන්දම් ඇතත් මෙම පොරොන්දම් තුන ශුභ විය යුතුය.
එම පොරොන්දම් ශුභ වුවත් දරුඵල නැති අවස්ථා ඇත. එසේ වූ විට කේන්ද්‍රයේ 5 වැන්නත් ගුරු ග්‍රහයාගේ තත්ත්වයත් පරීක්‍ෂා කර බැලිය යුතුය. එවැනි දුර්වලකමක් නැතත් දරුඵල නැති විට දෙදෙනාගේ හස්ථරේඛා පරීක්‍ෂා කිරීමෙන් දරුඵල ඇති නැති බව වටහා ගත හැක. මේ සඳහා පුරුෂයාගේ දකුණු අතේත් ස්ත්‍රියගේ වම් අතේත් (අත්ලෙහි) සුළැඟිල්ල පැත්තේ කුජ මණ්ඩලය සහ චන්‍ද්‍ර මණ්ඩලය මත ඇති රේඛා පරීක්‍ෂා කර බැලිය යුතුය. මෙහිදී දේශීය වෛද්‍යවරයාට හස්ථ රේඛා පිළිබඳ දැනීමක් ඇත්නම් ඉතාමත් හොඳය. එක් අතක දරු ලකුණ ඇතත් අනික් අතේ දරු ලකුණ නැත්නම් එය ගැටලුවකි. එහිදී වෛද්‍යවරයා බුද්ධිමත් විය යුතුය.
පොරොන්දම් සහ හස්ථ රේඛා ශුභ තත්ත්වයෙන් තිබියදීත් දරුඵල නැත්නම් යෝනි පොරොන්දම් පරීක්‍ෂා කළ යුතුය. එසේම ශාරීරික යෝග්‍යතාවය ගැන සිතිය යුතුය. එහිදී ද වෛද්‍යවරයා බුද්ධිමත් විය යුතුය. ශාරීරික යෝග්‍යතාවයත් ගැලපේ නම් ඊළඟට අවධානය යොමු විය යුත්තේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ගැනය. ශාරීරික උෂ්ණත්වයේ අඩු වැඩිකම ද ස්ත්‍රී ශ්වේත ප්‍රදරය, රක්ත ප්‍රදරය, පුරුෂයාගේ ධාතු ශක්තිය, ස්ත්‍රියගේ මාස් ශුද්ධිය පිළිබඳව ද සැලකිය යුතුය.
ඒ සියලුම කරුණු නිදොස්ව තිබියදීත් දරුඵල නැතිනම් ඊළඟට සිත යොමු විය යුත්තේ භූත විද්‍යාත්මක පැත්තටය. ස්ත්‍රිය මල්වර වූ පසු හිසදිය නා ගැනීමෙන් පසු ආරක්‍ෂා නූලක් බැඳිය යුතුය. එසේ නොවුණොත් කළුකුමාර බැල්ම නමැති භූත දෝෂය ඇති වී දරුඵල නැති වෙයි. එසේම සමහර පවුල්වල කඩවර දෝෂය නමැති භූත දෝෂය ඇත. පෙර දවස (වන්නි ප්‍රදේශවල තවමත්) කඩවර වැදීම නමැති භූතකාරිය වාර්ෂිකව සිදුවිය. එහෙත් වර්තමානයේ ඒවා “කෝපි කාලේ වැඩ” යයි සිතා බැහැර කර ඇත. ඒ නිසා දරුඵල පිහිටන්නේ නැත. තවත් භූත බලවේගයක් වන්නේ දරුවකු පිළිසිඳ ගත් පසු එම ස්ත්‍රිය හීනෙන් දිවීමය. සමහර විට යම් කෙනෙක් හීනෙන් ගැබිනියගේ බඩ තෙරපන අවස්ථා ඇත. මේ දෙකෙන්ම සිදුවන්නේ ගබ්සා වීමය. ගැබ දියවී යයි. නොඑසේ නම් මළ දරු උපතක් ඇති වෙයි. ඒ නිසා ඊට පිළියම් වශයෙන් අදාළ කාර්ය ඉටුකළ යුතුය.
සමහර විට ග්‍රහ දෝෂවලට ද දරුඵල නොපිහිටයි. එවැනි අවස්ථාවක අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර පැලඳ ගැනීමෙන්, දැරීමෙන් දරුඵල ඇති කළ හැක. මේ සියලුම ක්‍රම යෙදුවත් දරුඵල නොලැබීමට ඉඩ ඇත. ඒක “කරුමේ” යයි සිතා කර්මයට භාරදීම වටියි.
දරුඵල නැති උදවියට දරුඵල ලබා දීමට යොදන දේශීය ඖෂධ වර්ග අතර කෙප්පශුල තෛලය, කෙප්පරාජ චූර්ණය, දිව්‍යංගනාදි තෛලය, ගර්භ ශාන්ති ගුලිය වැනි ඖෂධ යෙදීම සුදුසුය. මේ තත්ත්වය අනුව දේශීය වෛද්‍යවරයා ඉහත සඳහන් සියලුම කරුණු පිළිබඳ දැනීමක් ඇති අයකුවීම වැදගත්ය.

ආයුර්වේද විශාරද පණ්ඩිත
රා.මු.ක. බණ්ඩාර
වේගොල්ල, මාස්පොත.   0723920873