ලෙඩ ගොඩකට සුවය දෙන ඇඹුල් ඇඹිලිය හොද්ද

අප ගන්නා ආහාර ව්‍යාංජන පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගතහොත් එය ආහාර දිරවීමේ (පරිපච) ක්‍රියාවලියට බොහෝ සෙයින් උපකාරි වන බව සිතන්න. එම නිසා අප ගන්නා ආහාර අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වේලාවට නිවැරදිව ගත යුතුය.
ආයුර්වේදයේ සඳහන් වන පරිදි ආහාර යනු මධුර, අම්ල, ලවණ, කටුක තික්ක, කෂාය යන මේ රස හයෙන්ම සමන්විත වූ සාත්ම්‍යය ආහාරයයි. ආහාර සාත්ම්‍යය යනු තමාගේ සිරුරට හිතකර දේ යන්නයි.


එම නිසා අප ගන්නා ආහාර පාන පිළිබඳව ගුණතාවය සහ හිතකරතාවය හඳුනා ගැනීමත් වැදගත් වේ.
එහෙයින් ආයුර්වේදයේ මුඛ්‍ය අරමුණ වන්නේ “ස්වස්ථ්‍ය සංරක්ෂණය” හෙවත් නිරෝගිකම ආරක්‍ෂා කර ගැනීමයි.
ඒ සඳහා දේශීය ආයුර්වේදයට වඩාත් ගැලපෙන ඖෂධ ගුණයෙන් හෙබි ශාක ආහාර ව්‍යාංජන වශයෙන් එකතු කර ගැනීමෙන් නිරෝග චිර ජීවනයක් ලබා ගැනීමට හැකියාවක් ඇත. එම අරමුණ පෙරදැරිව ඉසිවර පාඨක ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන රසගුණ ඇති ඖෂධ ශාක ව්‍යංජනයක රස බලන්න. ඔබටත් අවස්ථාව ලැබෙන ලිපි එකතුවක පළමු දිග හැරීම මෙම ලිපියෙන් ආරම්භ වේ.
අජීර්ණ රෝගයට ගුණදෙන රසැති ඇඹුල් ඇඹිලිය ව්‍යංජණය
ඖෂධ ගුණයෙන් ඉහළ ඇඹුල් ඇඹිලිය ආහාර ව්‍යංජණයක් වශයෙන් පිළියෙළ කර ගන්නා අයුරු.
අවශ්‍ය දෑ
නෙලා පිරිසිදුව සෝදාගත් ඇඹුල් ඇඹිලිය කොළ – පොල් මිටිකිරි උම්බලකඩ (නිර්මාංශ නම් නොගන්න)
රතුළුෑනු ගෙඩි 12 ක්
අවුමිරිස් කරල් 03 ක්
කරපිංචා ඉති 02 ක්
රම්පා
උළුහාල්
කහ කුඩු
මිරිස් අමු කුඩු
තුනපහ කුඩු
ලුනු
සාදන පිළිවෙළ – පළමුව සෝදා කපා ගත් රතු ළුෑනු ද කරපිංචාද, අවු මිරිස්, රම්පා උළුහාල් උම්බලකඩ දමා එයට කහ කුඩු, අමු මිරිස් කුඩු, තුනපහ කුඩු ද අවශ්‍ය ප්‍රමාණයට ගෙන භාජනයට දමා එයට මිටිකිරි ද ලුණු ද ස්වල්පයක් එකතු කර හැඳි ගා ලිප තබන්න. කිරි හොඳින් නටා ගෙන එන විට (තැම්බෙන විට) හැන්දෙන් හොඳින් හැඳිගා එයට නෙළා සෝදාගත් ඇඹුල් ඇඹිලිය කොළ එකතු කර ගන්න ඉන් පසු විනාඩි 05 ලිප තබා ලිපෙන් බා ගන්න. අනෙකුත් ආහාර සමග ඇඹුල් ඇඹිලිය ව්‍යාංජනය ඔබත් රසවිඳින්න.

ඇඹුල් ඇඹිලිය ශාකයේ ප්‍රභේද
මහා ඇඹුල් ඇඹිලිය
හීන් ඇඹුල් ඇඹිලිය
නමින් ප්‍රභේද 2 ක් සඳහන්වේ
මහ ඇඹුල් ඇඹිලිය කොළ හීන් ඇඹුල් ඇඹිලිය කොළවලට වඩා තරමක් ලොකුය. මෙයින් ඖෂධ සඳහා ගන්නේ හීන් ඇඹුල් ඇඹිලියයි.
රසායනික උපදාන – කොළවල Potassiam Oxalate අන්තර්ගතය මෙය ඖෂධීය මෙන් ආහාර ගුණයෙන් උසස්ය.
ආහාරමය වටිනාකම – ඇඹුල් ඇඹිලිය ශක්තිය වඩන ආමදෝෂ හා අජීර්ණ රෝග නසන ශාකයකි.

ඖෂධ ගුණකර්ම
රසයෙන් – අම්ල සහ කාසය
ගුණයෙන් – ලඝු හා රුක්‍ෂ වේ
වීර්යයෙන් – උෂ්ණ
විපාකයෙන් – අම්ලය

දෝෂ අනුව ගුණකර්ම
මෙම පැලෑටිය උෂ්ණ වීර්යය නිසා වා පිත් හා රක්ත වඩයි වා, සෙම් රෝගයනට ප්‍රයෝග කළ හැක.
ආහාර පරිපචන ක්‍රියාවලියෙදි
මෙය උත්තේජන ගුණයෙන් යුක්තයි කෑම අරුචි බඩගිනි අඩුකමට ගුණ දෙයි.
වාත, සෙම්, නසන කෑම රුචිය වඩන ඇඹුල් ඇඹිලිය ඖෂධීය සම්බෝලය

අවශ්‍ය දෑ –

සොදාගත් ඇඹුල් ඇඹිලිය කොළ
ගා ගත් පොල්
රතු ළුෑනු බික් 06 ක්
සුදු ළුෑනු බික් 02 ක්
අවු මිරිස් කරල් 02 ක්
කරපිංචා දළු ඉති 04 හෝ 05 ක්
උම්බලකඩ
ලුනු අවශ්‍ය පරිදි ස්වල්පයක්
සාදන පිළිවෙළ – ඇඹුල් ඇඹිලිය කොළ ගා ගත් පොල් කපා ගත් රතු ළුෑනු, සුදු ළුෑනු, අවු මිරිස් කරපිංචා දළු, උම්බලකඩ, එකතු කර මිරිස් ගලේ අඹරා ගන්න – නැතහොත් වංගෙඩියේ කොටා ගන්න අවශ්‍ය පරිදි ලුනු ද එක් කොට ආහාරයට ගන්න. මෙ රසවත් ගුණ මුසු සම්බෝලයකි. ඔබත් රසවිඳින්න.

ඉසිවර අරණ ඔසු ගුණ මන    පුබුදින
මතුකර මිහිර ගෙන ඔසු රස    පවසන
පුවතකි සැමට ඉසිවර මත     සපුරන
හෙළයට එකයි වෙද සතරම     සරසන

දේශීය පාරම්පරික වෛද්‍ය
අනුර කමල්සිරි පීරිස්
ඉසිවර අරණ මොරවින්න – පානදුර
0773549416