“ඩෙංගු” මර්දන ක්‍රමයේ අනිටු විපාක

Mosquito-guyලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අද මෙන් එදාත් බෝ වන හා බෝ නොවන රෝග පැවැති අතර ඇතැම් රෝග වසංගත තත්ත්වයෙන් පැවැතුණි. එයින් විශේෂ රෝග දෙකක් වශයෙන් මැලේරියාව හා කොකු පණු රෝගය හැඳින්විය හැක.

කොකු පණු අමාරුවට වර්ෂයකට වරක් රජයේ වෛද්‍යවරු පාසැල් වලට ගොස් සෑම ළමයෙකුටම කොකු පණු බෙහෙත් බොන්නට දී රජයේ වියදමින් ම කෝකියෙකු යොදවා ලුණු කැඳ උයා ඔවුන්ට බොන්නට දුනි. දෙතුන් වරක් විරේක වූ පසු අවශ්‍ය උපදෙස් දී ළමුන් නිවෙස් කරා යැවීය. මේ අයුරින් එදා කොකු පණු රෝගය තුරන් විය.
ජනගහනය අඩු නිසා ඉඩම් ප්‍රමාණය වැඩි නිසා මඳුරුවන් බෝවීම ශීඝ්‍රයෙන් සිදු විය. ඒ නිසා නිවෙස් අවට ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කළ අතර මඳුරු නාශක බෙහෙත් වර්ග නිවෙස් වලට සහ ඒ අවට ඇති පැල්පත්වලට ඉසීමෙන් මැලේරියාව සම්පූර්ණයෙන්ම නැති විය. “ක්විතීන්” නමැති බෙහෙත් පෙති සහ දියරය බීමට දෙන ලදී. එසේම එදා ආහාරයට ගන්නා ලද්දේ නිවැරදි ධාන්‍ය වර්ග, රෝග නාශක හා රෝග වළක්වන කොළ, ගෙඩි, කරල් හා අල වර්ගයන් ය. නිවෙස් අවට කොහොඹ වැනි විෂබීජ නාශක ගස් වර්ග වගා කෙරිණි.
වර්තමානයේ වසංගතයක් මෙන් පැතිරී යන “ඩෙංගු” උණ රෝගය නැති කිරීමට හා වැළැක්වීමට රජය යෝජනා කරන ඇතැම් ක්‍රම එතරම් සතුටුදායක නැත. අද නගරාසන්නයේ මීටර් 50 – 60 උසට පොලිතින් පොහොර උර ප්ලාස්ටික් බෝතල් වැනි වර්ග ගොඩගැසී ඇත. මේවා වසර 20 – 30 තරම් කාලයක් තිස්සේ ගොඩගැසීම පමණි කෙරුණේ. අක්කර 10 – 15 ප්‍රමාණයේ වපසරියක් යටවෙන තුරු ගොඩගැසිනි. එවැනි තැන්වල නේද ඩෙංගු මඳුරුවන් බෝ වන්නේ. එසේම මැලේරියා මර්දනය කළාමෙන් ඩෙංගු මඳුරු නාශක බෙහෙතක් ඉසීම සුදුසුය. බෙහෙතක් බීමට හෝ එන්නත් කිරීමට ඉඩ තිබුණි. එය සුදුසුය.
එවැනි ක්‍රම නොයොදා නිවෙස් අවට සුද්ධ කිරීමම ප්‍රමාණවත් නැත. ගස්වලින් වැටෙන කොළ වල පවා ජලය රැඳීමෙන් මඳුරුවන් බිත්තර දැමීමට ඉඩ ඇති නිසා ඒවා පුළුස්සන ලෙස රජයෙන් උපදෙස් ලැබෙයි. එය කළ නොහැකි දෙයකි. එසේම නොකළ යුතු දෙයකි. අගෝස්තු, සැප්තැම්බර් වැනි වියළි කාල වල ගස්වල කොළ බහුලව හැලෙයි. ඒ ඉබේ සිදුවන ක්‍රියාවක් නොව, ගස්වැල් විසින් සිතාමතාම කරන දෙයකි. ඇතැම් අවස්ථාවල මිනිසාට වඩා ගස් – වැල් වලට බුද්ධිය ඇත. ගසක් වැඩෙන්නේ පොළව මත පතිත වන කොළ රොඩු දිරා යෑමෙන් සෑදෙන පොහොර උරා ගැනීමෙනි. පොළවේ ජලය හිඟවන විට ගස් වැල් තම කොළ බිමට හලන්නේ පොළව වේලීමේ තත්ත්වය අඩු කිරීමටත්, ගසේ කොළ රිකිලි වැඩි වූ විට ඒවා වැඩීමට උරාගන්නා ජලය අඩු කිරීමටත් ය. ගස මුලට හළා දමන කොළ නිසා පොළව වැසී හිරු රැස්වලින් ඇතිවන වියළි ගතිය අඩු වීමෙන් ගස නොමැරී පවතියි. වර්ෂාව ලැබෙත්ම බිම වැටී ඇති කොළ දිරාපත් වී පොහොර බවට පත් වී යළි ගස් වලට උරා ගනියි. මේ ආකාරයෙන් ශාකවල පැවැත්ම පවතී. ශාක නැති විට රෝග වළක්වන හා රෝග නාශක කොළ, ගෙඩි, කරල් ආදිය ආහාරයට ගන්නේ කෙසේද?
ගස්වල කොළ වැටෙන කාලයට දවසට දෙතුන් වරක් අතු ගෑවත්, කොළ ඉවත් කළ නොහැක. ගොඩ ගැසුවත්, පිළිස්සීම අපහසුය. කජු කොළ බිම වැටුණොත් ඒවා ඉදලෙන් අතුගා කෙසේවත් ඉවත් කළ නොහැක. එසේ නම් උලකින් ඇනීමෙන් හෝ අතින් ඇහිදීමෙන් ඉවත් කළ හැක. කජු ගසක කොළ ඇහිදීමට පැයක් දෙකක් ගතවෙයි. එවිට ඒ තැනැත්තාට කොළ ඇහිදීමටත් අතුගෑමටත් වඩා වෙන දෙයකට කාලය මදිය. මේ අතරතුර සෞඛ්‍ය පරීක්ෂකරුවන් පැමිණියොත්, යථාර්ථය නොසලකා දඩ නියම කිරීමට ඉඩ ඇත.
ඉඩම් සුද්ධ කළ විට කීකිරිදිය, මුගුණුවැන්න, කුප්පමේණිය, අස්වැන්න විෂ්ණුක්‍රාන්තිය වැනි ඖෂධ පැළෑටි විනාශ වෙයි. එසේ වූ විට සිංහල බෙහෙත් සෑදිය නොහැක. මන්දාග්නියට සුදු පිටවක්කා මුලුත්, කෙස් සහ ඇස් රෝගවලට කීකිරිදිය සහ මුගුණුවැන්නත් මහා අනර්ඝ ඖෂධයන් ය. එවැනි කුඩා පැළෑටි කපා දැමීම නිසා දේශීය වෙදකම විනාශ වෙයි. පසු ගිය කාලයක ඉඩම් සුද්ධ කිරීමට රජය දුන් උපදෙස් නිසා මගේ ඉඩමේ ශාක විශාල ප්‍රමාණයක් විනාශ විය. ඒ පොළව ඉක්මණින් වේලෙන නිසාය.
තවද කැලෑ සුද්ධ කිරීම නිසා ගවයින්ට ආහාර නැත. ගවයින් නැති තැන ගොම පොහොර නැත. කිරි ලබාගත නොහැක. අගල් නොකැපුවොත් වර්ෂා කාලයේ සම්පූර්ණයෙන් ම පොළව සෝදා ගෙන යයි. එවිට ගස් වැල් මැරෙයි. ළිං වල පවා ජලය සිඳී යයි. අගල් කැපුවොත් ජලය රැස්වී ඩෙංගු මඳුරුවන් බෝවෙන බවට රජය චෝදනා කරයි. සමහරවිට පරීක්ෂකවරුන් පැමිණ එය වරදකැයි පෙන්වාදී දමා ගසයි. අසරණයා කබලෙන් ලිපට වැටෙයි. ඒ නිසා ඩෙංගු මර්දනය සඳහා නිවෙස් අවට පිරිසිදුව තබාගත යුතු අතර ඩෙංගු මඳුරුවන් නසන බෙහෙත් වර්ග ඉසීම කළ යුතුය යනු මගේ අදහසයි. ඩෙංගු මඳුරු මර්දනයට දුම් ගසන බව පසුගිය දිනක රූපවාහිනියෙන් දුටිමි. මඳුරු කීටයන් සිටින්නේ බිමය. දුම යන්නේ උඩට ය. එය රඳාපවතින්නේ නැත. එය වාතයට මුසු වී මිනිසාට සහ වෙනත් සතුන්ට ආග්‍රහනය වීමෙන් වෙනත් ආබාධ ඇති විය හැක. ඒ නිසා පරිසරයේ පැළෑටි විනාශ නොවී වෙනත් ජීවිත වලට හානි නොවන පොළොව ආරක්ෂා වන පරිදි තිරසර විසඳුමක් රජයෙන් සහ විද්‍යාඥයින්ගෙන් ද, බුද්ධිමතුන්ගෙන් ද අපේක්ෂා කරමි.
ආයුර්වේද විශාරද පණ්ඩිත
රා. මු. ක. බණ්ඩාර
වේගොල්ල, මාස්පොත
0723920873