නිවැසියන්ට වින කරන මිදුලේ දෝෂ

lassana-midula-garden-service-lassana-midula-garden-service-26846349නිවසක මිදුල ලෙස විග්‍රහ කළ හැක්කේ නිවසේ ඉදිරිපස ප්‍රධාන දොර හා නිවසේ ඉදිරි මුහුණත අවට ප්‍රදේශය යි. නිවසක මිදුල ඉතාම ක්‍රමවත්ව අතුපතු ගා සිත් ගන්නා ලෙස සකස් කර ගැනීම ඉතාම සුබය.  විශේෂයෙන්ම ගෙමිදුලටත් ගෙවත්තටත් හොඳින් සූර්යාලෝකය පතිත විය යුතුය.

එවිට ගෙවත්තේ විෂබීජ රැඳීම අවම වේ. එසේම ගෙවත්තේ ඇති සෙසු වටිනා ශාකත් විශේෂයෙන්ම මල් ගසුත් හොඳින් සූර්යාලෝකය ලැබීම මත නිසි ආකාරව වර්ධනය වේ.
නිවසක ගෘහාංගනය චිත්තාකර්ෂණීය ලෙස නිර්මාණය කර ගැනීමේදී ගෙමිදුලේ තැන තැන කුණු ගොඩවල්, දිරාපත්වන කොළ ගොඩවල්, ගල් ගොඩවල්, පස් ගොඩවල්, වැලි ගොඩවල්, ලී දඬු ගොඩවල් මෙන්ම කැට කැබිලිති ආදිය නොවිය යුතුය. එවැනි දෑ නිවස ඉදිරිපිට වීම අසුබ සේ සැලකේ. එසේම මිදුල මඩවීම මෙන්ම මිදුලේ වැසි ජලය රඳා පැවතීමත් උල්දිය ගැලීම් වැනි ස්වභාවික තත්ත්ව පැවතීමත් නිතර සෝදාපාලුවට ලක්වීමත් ඉතාම අසුබය. විශේෂයෙන් ම ඉඩමේ උතුරු දිශාවට හෝ සුබ දිශාවකට වැසි ජලය ගලා යන සේ මිදුලේ ආතතිය සකසා ගත යුතුය. කිසිදු විටක මිදුලේ මැද පහත් වීමත්, කෙළවරවල් උස්ව පැවතීමත් ගෙමිදුල වල ගොඩැලි සහිත රැලි ආකාර වීමත් අසුබ සේ සැලකේ. කිසිදු විටක ගෙමිදුල අක්‍රමවත් හැඩ නොවිය යුතුය. චතුරස්‍රාකාර වීම ඉතාම යහපත් ය. යම් ලෙසකට මිදුලේ හැඩය අක්‍රමවත් නම් එම අක්‍රමවත් මිදුලේ කොන් සතරවත් 900 ක කෝණයක් ලැබෙන සේ ආසන්නව සකසා ගත යුතුය. ඉහතදී සඳහන් වූ ලෙසට යම් ලෙසකින් මිදුලක මැද පහත් වීම දුවා දරුවන්ට මාරක අපල ගෙන දෙන බවත් ඇතැම් විට ඔවුන් නැසෙන බවත් වාස්තු විද්‍යාවේ සඳහන් ය.
තවද මිදුලට මුහුණ ලා දැවයෙන් හෝ සිමෙන්තියෙන් කළ කණු පෙළක් වේ නම් ඒවා අධික උස වීම හෝ අධික මිටි වීම නොවිය යුතුය. එනම් මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්ත විය යුතුය. එපමණක් නොව මිදුලට කෙල ගැසීම, විශේෂයෙන්ම බුලත් කෙල ගැසීම මළ මුත්‍රා බැහැර කිරීම මෙන්ම ජනෙල් පියන් ග්‍රිල් වැනි දෑ අතරින් හෝ ප්‍රධාන දොරෙන් කෙල ගැසීම සෙම් සොටු බැහැර කිරීම ඉතාම අසුබය. එවැනි පහත් ක්‍රියා දුටුවන් සිත පිළිකුල ජනිත කරවයි. තවද දර, හනසු ආදී ද්‍රව්‍ය ගබඩා කර තබන මඩු, වාහන ගාල් කර තබන ගරාජ, බලු කූඩු පරෙයි කූඩු, ගව ගාල්, කුකුල් කූඩු ආදී සතුන් ඇති කරන ස්ථාන නිවසේ ගෙමිදුලේ නොවිය යුතුය. එවැන්නක අවශ්‍යතාවයක් වේ නම් ඒවා නිර්මාණය කරගත යුත්තේ නිවසේ පසෙකිනි. නමුත් කුඩා දර්ශනීය මසුන් සහිත පොකුණු, දිය ඇළි, වතුර මල් ආදිය නිවස ඉදිරිපිට වීම වාස්තු විද්‍යාව අනුමත කරයි.
නිවසක ගෙමිදුල සේම නිවසට පිවිසෙන මාර්ගයද කුණු කසලවලින් පිරී වල් බිහිවූ මාර්ගයක් නොවිය යුතුය. එය ඉතාම පවිත්‍රව දැකුම්කළුව පවත්වාගැනීම ඉතාම යහපත්ය. තාප්ප, වැටවල් ආදිය වුවද ක්‍රමවත්ව තිබීම ඉතාම අගනේය. එනම් පැල ඉනි වැටවල් ආදිය කප්පාදු කර නිසිලෙස පවත්වා ගත යුතුය. වතුර බට මෙන්ම වැසිකිළි නළ වැනි අප ජලය රැගෙන යන බට ආදිය ගෙමිදුල හරහා නොවිය යුතුය. ගෙමිදුලේ කුණු රොඩු පිළිස්සීමද නොකල යුත්තකි. යම් ලෙසකින් ගෙමිදුලේ ලිඳක් වේ නම් එය නිවස හා වේද නොවස සේ නිසි ආකාරව විය යුතුය. එපමණක් නොව ගෙමිදුල මෙන්ම ගෙවත්ත කුඩා පැළෑටි වැවී වල් බිහි වී තිබීමද ඉතාම අසුබය. මෙවැනි අපිරිසිදු තත්ත්ව පැවතීම අනවශ්‍ය සෞඛ්‍ය ගැටලුවලට අත වැනීමකි. ගෙමිදුලේ දිරූ ගස් මැරුණු මල් පැළ ආදිය වේ නම් ඒවා වහා ඉවත් කළ යුතුය. යම් ලෙසකින් හිස් මල් පෝච්චි ආදිය වේ නම් ඒවා නිවස පසෙකින් මුනින් අතට හරවා තැබිය යුතුය.
තවද ගෘහාංගනයක් උපරිම සුබ ඵල ගෙන දෙන ලෙස නිර්මාණය කරගන්නා ක්‍රමවේදය වාස්තු විද්‍යාවේ සඳහන් වේ. ඒ මෙසේය. පළමුව ගෙහිමියාගේ දකුණු අතේ සාමාන්‍ය රියනින් අවශ්‍ය පරිදි මිදුලේ දිග හා පළල මැනගන්න. මෙහිදී සඳහන් කළ රියන වාස්තු විද්‍යාවේ සඳහන් වන සම්මත වඩු රියන නොවන බව සිහියේ තබා ගන්න. දැන් ඉහත ආකාරයට ගෙහිමියාගේ දකුණු අත රියනින් ලබාගත් මිදුලේ දිග හා පළල අගයන් දෙක එකට එකතු කර ලැබෙන පිළිතුර 8 න් ගුණ කර 9 න් බෙදීමෙන් ඉතිරිවන ශේෂයනට අනුව මිදුලේ සුබ අසුබ තීරණය කළ හැහ. එලෙස ලැබෙන ශේෂයනට අනුව මිදුලේ සුබාසුබ මෙසේය.
ශේෂය    සුබ අසුබ තත්ත්වය
1    අසුබ
2    ඉතා සුබ
3     අසුබ
4    අසුබ
5    ඉතා සුබ
6    අසුබ
7    ඉතා සුබ
8    අසුබ
9    අසුබ
මේ ආකාරයට ඉහත සඳහන් ගණිත කර්මය ආධාරයෙන් ගෙමිදුල සඳහා සුදුසු සුබ දිග හා පළල සාමාන්‍ය රියන්වලින් සොයාගත හැක. මෙලෙස ගෘහාංගන නිර්මාණයේදී ගෙමිදුලේ වැඩි ඉඩක් උතුරු හා නැගෙනහිර දිශාවට තැබිය යුතුය. මෙලෙස නිර්මාණය කරගන්නා ගෙමිදුල සුබ මල් වර්ග අලංකාර පඳුරු වර්ණවත් කුඩා ගස් ආදියෙන් පොහොසත් විය යුතුය. එපමණක් නොව අවශ්‍ය නම් නිසි ප්‍රමිතියෙන් යුතු මූර්ති, සත්වරූප ආදියෙන් ගෙමිදුල අලංකාර කරගත හැක. මෙහිදී වැදගත් වන්නේ එම මූර්ති හෝ සත්ත්ව රූප ආදිය නිවස හා වේධ නොවන ලෙස මිදුලේ නිවැරදිව ස්ථාන ගත කිරීමය.
එසේම ගෙමිදුල රාත්‍රී කාලයේ පවා හොඳින් ආලෝකමත්ව පැවතීම ඉතා වැදගත්ය. ඒ සඳහා ගේට්ටු කණු දෙක මත හොඳින් ආලෝකමත් විදුලි පහන් දෙකක් යොදා ගැනීම කළ හැක. එසේම ගෙමිදුල ආවරණය වී ඇති මායිම් තාප්පයක් හොඳින් කැටයම් කර දැකුම්කළු ලෙස තීන්ත ආලේප කර පිරිසිදුව තිබිය යුතු අතර නිවසේ ගේට්ටුවද තරමක් පළල්ව උස්ව ගරු ගාම්භීර ලෙස නිර්මාණය කර ගත යුතුය. එහිදී හැකි සෑමවිටම ගේට්ටුව පියන් දෙකක් වන සේ නිර්මාණය කර ගැනීමත් ගේට්ටුව විවෘත කරන විට හඬ නොනැගෙන ලෙස නිර්මාණය කර ගැනීමත් ඉතාම වැදගත්ය. තවද නිවසේ ගේට්ටුව අසල තාප්පයෙන් පිටත පාර පැත්තේ බීමට ජලය ලබාගත හැකි ජල කරාමයක් සවි කළ හැකිනම් එයද ඉතාම අගනා පූන්‍ය කර්මයකි. එසේම ගෙමිදුලේ ගල් ඇල්ලීමක්, අවශ්‍ය නම් වාහන ධාවන තීරු නිර්මාණය කර ගැනීමත් කුඩා විදුලි පහන් කණු යොදා ගැනීමත් කළ හැක. මේ සියල්ලට අමතරව ක්‍රමවත්ව තණ පිඩලි ආදිය ඇල්ලීමද ඉතා අගනේය. මෙසේ කළ යුතු වන්නේ ගෙමිදුලත් ගෙවත්තත් එහි වසන්නන්ගේ තරාතිරම හා පිරිසිදුකම නිහඬව කියාපාන බැවිනි.
ජ්‍යොතිෂ්‍යවේදී, දේශබන්දු,
මහේන්ද්‍ර පල්ලෙබැද්ද.