බෝනොවන රෝගවලින් මිදීමට, කට පරිස්සම් කරගෙන ව්‍යායාම කරමු

අද වර්තමානයේ ලංකාවේ බෝනොවන රෝග බෝවන රෝගවලට වඩා තර්නයක්. සාමාන්‍ය ජීවිතය ගෙවන ජනතාව අතර දියවැඩියාව, අධික තරබාරුකම, කොලෙස්ටරෝල්, ආමවාත ගැස්ට්‍රයිටිස් වැනි රෝග ගණනාවකි.

මේවා සෑම ගෙදරකම සෑම අයකුටම බාල මහලු තරුණ සැමටම පොදු ප්‍රශ්නයක් මෙයට හේතුව වශයෙන් අප කන බොන දේ අපටම ප්‍රශ්නයක්. එය අපට අවශ්‍ය විදියට කිරීමට අපට නොහැකි වී ඇත. කෑමට බීමට අපට ලැබෙන්නේත් වස විෂ තැවැරූ ආහාරමය.

කොතරම් අප කෑවත් නිවෙස් වල ජීවත් වන අප එ දිරවා ගන්නේ ද අපහසුවෙනි. කන්න තිබූ පලියට කෑවත් ලෙඩය. නොකා සිටියත් ලෙඩය. එක්කෝ නොකා, එක්කෝ කාලා ලෙඩ වන පිරිස නිරෝගි අය නම් නොවේ. ඇග නටව නටවා යන තරබාරු පිරිස එන්න එන්නම වැඩිය. ඕක අඳුර ගන්න අපහසු අය බොහෝ වශයෙන් කා දමයි. තරවන්නේ ඔවුන්මය. ඇට මස් නහර නටවන්නේ ඉන් පසුවයි. හෘද රෝග, හෘද පීඩන, ස්ථූලතා අති පෝෂණය හේතුකොට බොහෝ හෘද රෝගීන් වර්ධනයක් මේ වකවානුවේ ඇත.
මෙයට විසඳුමක් ලෙස මද පමණට මධ්‍යස්ථය, වැඩිත් නැති අඩුත් නැති සංකල්පය අප තෝරා ගත යුතුයි. ආහාර ඒ අනුව රටා ගස්වා භුක්ති විදීමට කුඩා ළමයා සිටම පුරුදු පුහුණු විය යුතුය. 2 වසරේ ළමයාගේ පටන් ආහාර හා පෝෂණය පරිසරය විෂයෙන් පාසල් අධ්‍යාපනයේදී දරුවාට ලබාදෙනවා. ඒ සමගම වැඩිහිටියන්ට දැනුවත් විය හැකි මාධ්‍යයන් ඔස්සේ එය සිතට ගෙන අප නිරෝගී ජාතියක් පිරිපුන් මිනිසුන් ලෙසින් එකාමෙන් සිතා කෑදර නොවී ශරීර කූඩුව නිසි ලෙස සමබර කරගත යුතුයි. අධික තරබාරුව බොහෝ ලෙඩ වලට අතවනයි. දියවැඩියාව එයින් එකක් වන්නේ. අධික ලෙස පැණි බීම, පැණි වර්ග, සීනි ආහාර අනුභවය තුළින් නමුත් එකී රෝගය මා පිය ජානවලින්ද මතු විය හැකි අවස්ථාත් තිබෙනවා. නමුත් අධික සීනි ආහාරයට සුදුසු නැත. අධික ලුණු, අධික පිටි ශරීරයට අගුණය. පිටි ආහාර ගැනීමෙන් පිටි ගෝනි මෙන් ශරීර හැඩතල මතු කරගත හැක. අප කට පරිස්සම් කරගත යුත්තේ ඇයි. පිටි, සීනි, ලුණු වැනි ආහාර වැඩිපුර ගැනීමත්, අධික ආහාර අනුභවයත් අප කරන්නේ අපේම දැනුවත්කමින් එය අප වටහා ගත යුතුයි. එය පාලනය කරගත යුතු වන්නේද අපමය.
ස්වසන ආබාධ, තත්ත්වයන් හා පිළිකා වැනි රෝගවලට මත්පැන්, මත් පෙති, මත් කුඩු, සිගරැට්, සුරුට්ටු උරන අය ගොදුරු වෙනවා. හෘද පීඩන රෝග වලටද ඔවුන් ගොදුරු වෙනවා. ඔවුන් එසේ මත්පැන් බොන අතර සිගරට්ද බොයි. පරිසරයේ මිනිසුන්ටද එකී මුදා හරින දුම් ආශ්වාසස්ථානයෙන් ශරීරයට ඇතුල්ව විවිධ ස්වසන ආබාධ වලට ලක් වීම ඉතා බහුලව සිදුවෙන බව පෙනේ. වකුගඩු ආබාධ වලට අප ලක්වීම අපගේ වරදින් සිදුවන්නේ. අපට නිකං ලැබෙන වතුර අප පානය කරන්නේ අඩුවෙන් දිනකට වතුර බෝතල්  06 කට වඩා අප ගත යුතු වුවත් අප එය මායිමකට නොගෙන රොබෝලා මෙන් වතුර නොබී සිටිනවා අපි මෙසේ ලෙඩ වන්නේ අපේ නොසැලකිලිමත්කම නිසා නොවේද? අපි ලෙහෙසියට පහසුවට කඩ කෑම වලට කෑදරකම පෙන්වනවා. කොරෙස්ටෝල් වලට බෙහෙත් බොනවා. ඒත් අපි තෙල් කෑම නතර කරන්නේ නැත. පරණ තෙල්, තාර තෙල් වලින් බදින වඬේ එක අපි කන්නේ උජාරුවට ඇයි, අපි ඒ තරමටම තෙල් මාන්දම් කාරයෝ වෙලා. කඬේ සෑම ආහාරයක්ම කල්වේලා තබා ගැනුමට කරකවන්නේ තෙල්ම තමා. මෙසේ තෙලේ දමා රසකර කර සෝස් සමඟ රසකාරක වස විෂ මුසුව සාදා හදන කඬේ කෑම අපි බුද්ධියෙන් විමසා සුදුසුද යන්න තේරුම් ගත යුතුයි. හොඳට නරකට දෙකට කටමය ලෙස කියන කතාව ඇත්ත කියා අපට සිතන්න පුළුවන්.
කෑවා, බීවා නිදිය ගන්නවා. ඇඟ වෙහෙසලා කිසිදු වැඩක් කරන්නේ නැහැ. පුටුවලම තරවන අය ඇවිදින්නේ නැති තරම්. අල්ලක් තරම් කුස්සියේ එහාට මෙහාට හැරි හැරී පොල් ගාන්නේ, මිරිස් කොටන්නේ හැමදෙයක්ම මැෂින් වලින් එහෙම කරනකොට කොයින්ද වෙහෙසක් වෙන්නේ. අයිස් කඳන් වගේ. හැඩයක් නැති ශරීරම තමා. ව්‍යායාම් විදියට හෝ ඇගේ ඇති තෙල් බස්සවන්න බර අඩුකර ගන්න කිසිම ක්‍රමයක් වර්තමාන ගෘහනියන්ට නැහැ. ඒ විතරක් නොවේ එයට කාලයකුත් නැති තරම්. මෙයට විසඳුමක් විදියට හෝ අපේ කාන්තා පාර්ශවය ඉතා ඕනෑකමින් සිතට අරගෙන ව්‍යායාම් උපකරණ ඔස්සේ හෝ ව්‍යායාම් කළ යුතුයි. හොර ඇගවල් වලින් වැඩ ගත යුතුයි. වර්තමානයේ පැන නැඟී ඇති ඩෙංගු වසංගත හේතු කොට ගෙන හෝ වත්ත පිටිය අස්පස් කිරීමට වේලාවල් හදාගෙන හෝ කළ යුතුයි. තණකොළ නැමි නැමි හරි ගලවා අතුපතු ගාන්නේ නම් හොඳයි.
ඒ විතරක් නොවෙයි. මානසික වශයෙන් සාමාජීය වශයෙන් පිරිහී යන්නේ නැතිව සිත, කය, වචනය පිරිසිදු කරගැනීමටත් සිතට ගත යුතුයි. ෆේස් බුක් ඔස්සේ, දුරකථනයෙන් ඕපාදූප කතා කර කර ඉන්නේ නැතිව ආගමට දහමට නැඹුරුව බණ පදයක් මලක් පහනක් දල්වා ආගම ඇදහීම කිරීමෙනුත් සිත, වචනය සංවර කර ගත හැක. සිත අපිරිසිදු වුණාම ලෙඩ එක දෙක වෙනවා. කොයි එකටත් කටම තමා. තමා කටමැද දොඩවන්නේ නැතිව අන් අය ගැනත් තමා ගැනත් සිතා ලෙඩ නොවී අනිත් අයත් ලෙඩ වලින් මුදවිය යුතුයි. පවුලේ යහපැවැත්මත් සමාජයේ යහපැවැත්මක් ගැන සිතා වැඩ කිරීමට පියවර ගත යුතුය.
වෛද්‍ය සන්ධ්‍යා ජයසේකර
කොට්ටාව