රෝග රැසක් ස්ථිරවම සුව කරන ප්‍රතාප ලංකේශ්වර රාවණා ගුලිය

දැනට ශ්‍රී ලංකාවේ දේශීය වෙදකමෙහි සහ ආයුර්වේද වෙදකමෙහි දක්නට ලැබෙන්නේ බොහෝ දුරට ගතානුගතිකව භාවිතා කරනු ලබන බෙහෙත් වර්ග බව පෙනෙන්නට ඇත. දුර්ලභ යයි හැඟෙන ගුලි වර්ග සහ තෙල් වර්ග සමහරක් ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් මෙරටට ගෙන්වනු ලැබේ.

එයින් සමහර බෙහෙත් වර්ග මෙහිදී ද නිෂ්පාදනය කරගත හැකි ඒවාය. එසේම පැරණි පුස්කොළ පොත් සහ මුද්‍රිත ග්‍රන්ථවල විමසා බැලුවොත් පුදුම හාස්කම් ඇති බෙහෙත් වර්ග ඇත. එහෙත් ඒවා නිෂ්පාදනය කිරීමට ඇතැම් වෛද්‍යවරු ඉදිරිපත් නොවෙති. මුදල් ඉපයීමට වඩා රෝග සුවකිරීම ගැන දුරට සිතුවොත් ඒ සැඟවී ඇති වටිනා තෙල්, ගුලි, කල්ක, චූර්ණ වැනි දේ සොයා ගත හැක. පැරණි පොතපත විනාශ වීමට පෙර ඒ පොත පතෙහි අඩංගු බෙහෙත් වර්ග සටහන් කර තබා ගැනීමටත්, නිෂ්පාදනය කර, ගුණාගුණ බැලීමටත් අපේ වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් උනන්දු වන්නේ නම් ඉතා අගනේය.
ප්‍රතාප ලංකේශ්වර රාවණා ගුලිය ඒ පැරණි පොත්වල සඳහන් ඉතා බලගතු ඔසුවකි.
රසදිය, නෙල්ලික්කා, ගෙන්දගම්, වච්චනාවි, හිරියල්, පුස්කර, මනෝසීල, තිපල්, තිකුළු, අංජන කූට, සුදු පාසානමා, කටුකරෝසන, තිප්පිලි මුල්, කරාබු, සාදික්කා, සාදිලිංගං, වදකහ, සතකුප්ප, නාමල් රේණු, කලාදුරු අල යන සියල්ල සමව ගෙන ඒ සියලු බරට අරලු ද, එපමණ ශුද්ධ ජයපාල ද ගෙන කීකිරිදිය යුෂින් ඉඟුරු යුෂින් දැත්ත අල යුෂින් තිපල් කසායෙන් එල මෝරුවෙන් සහ සුදුළුෑනු යුෂින් වෙන වෙනම දවස් තුන බැගින් අඹරා ඔළිද ඇට පමණ ගුලිකර ගන්නේය. ගුලි 1-2 දක්වා පානය කිරීමෙන් ඉතා තදබල රෝග සුව වන බව මම අත්දැක ඇත. ඒ මෙසේය. අසුවායුවට – බැබිල, සාරණ, සුදු ළුෑනු කසායෙන්ද, අණ්ඩ වෘද්ධියට – සුදුළුෑනු මුඩමහණ, නික කොළ, වැල්පෙනල යුෂ, ගිතෙල් සමගින් ද, එම කැක්කුමට තුඹ ගැට යුෂ, පෙරුංකායම්, ගිතෙල් සමගින් ද, මුත්‍ර බද්ධයට – ගොකටු, බැබිල කසායෙන්ද, උණට ඉඟුරු යුෂින්ද, ආම ශූලයට – ඉඟුරු කසායෙන්ද, ආහාර විරෝධයට මුරුංගා මුල් කසායෙන්ද, ප්‍රමේහයට – රණවරා පත් යුෂින්ද, ආක්‍ෂේප, අපතන්ත්‍ර, ධනුස්ථමාභ ආදී වාත සන්නිවලට තිපල් කසායෙන්ද පක්‍ෂා ඝාතයට බැබිල ප්‍රසාරණ සාරණ කසායෙන්ද, මූල රෝගයට බඹර පැණියෙන්ද සර්වාංග රුජාවට ඉඟුරු කසායෙන්ද දීම සුදුසුය.
මින් ගුලියක් තන කිරෙන් දියකර වම් අංශයට නෂ්‍ය කරන්නේ නම් එම අංශයේ උණ 11 පැයකින් ද කොහොඹ තෙලින් කුණු අංශයට නෂ්‍ය කරන්නේ නම් එම අංශයේ උණ 9 පැයකින් ද බසින්නේ ය. මෙම ප්‍රතිකාර ක්‍රම මා අත්දැක ඇති නිසා එහි හාස්කම් ගැන පුදුම වේවි.
මෙම ගුලිය නිෂ්පාදනය කිරීම සඳහා ගන්නා විෂ සහිත ඖෂධ වර්ග නිසි පරිදි විෂ මාරණය කර ගැනීමත් නිසි පරිදි ඇඹරිමත්, නිසි පරිදි රෝගය හඳුනාගෙන යෙදීමත් අත්‍යවශ්‍යය.
රා. මු. ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
ජානක ඖෂධාලය
වේගොල්ල, මාස්පොත
0723920873