සාපෙළ ජය ගන්න නිවැරැදිව ගණ දෙවි පූජාවක් තබන හැටි

gනුවනට මෙන්ම ශාස්ත්‍රයට අධිපති ගණ දෙවිදුන් පිදීම එදා මෙන්ම අද ද සිදුවන්නකි. නුවනට මෙන්ම ශාස්ත්‍රයට අධිපති හෙයින් පාසල් යන වියෙහි දරු දැරියෝ ගණ දෙවියන් පිදීම, පූජා පැවැත්වීම සේම දිනපතා පහන් දැල්වීමද දැකිය හැක. තමන් අධ්‍යාපන කටයුතුවල නියැලෙන මේසය මත ගණ දෙවි රුවක් තබා ඊට වන්දනාමාන කිරීම, පුද පූජා පැවැත්වීම දැකිය හැක. ගණ දෙවියන්ගේ බැතිමතෙක් වීම තුළින් විභාග ජය, මතක ශක්තියේ වර්ධනය මෙන්ම විපත් උවදුරු වලින් ආරක්‍ෂාවද නිතැතින් හිමිවේ.


පාසල් වියෙහි පසුවන දරුවන් ගණ දෙවියන් පිළිබඳව මෙන්ම ගණ දෙවිදුන්ට පුද පූජා කර ආශිර්වාද ලබා ගන්නා ආකාරයද දැනගත යුතුමය. 5 වසර ශිෂ්‍යත්වය, අපොස සාපෙළ මෙන්ම අ.පො.ස. උ.පෙළ විභාග සඳහා ඉදිරිපත්වන දුවා දරුවන් ගණ දෙවි පූජාව නිසි ආකාරව සිදු කිරීම මගින් මතක ශක්තිය හා ධාරන ශක්තිය වැඩි වී විභාග වලින් විශිෂ්ඨ ජය ලැබීමට හේතුවනු ඇත.
ගණ දෙවියන් ගැන දැන ගැනීමේදී ගණ දෙවියන්ගේ උත්පත්තිය, ගණ දෙවියන්ට අත්, මුහුණත්  පැමිණි ආකාරය, ගණ දෙවිදුන්ගේ පිහිට ගැනීමට පූජාව තැබිය යුතු ආකාරය, ගණ දෙවිදුන්ට දිනපතා පහන් තැබිය යුතු ආකාරය හා ඊට සුදුසු වේලාව යනාදී දේ ප්‍රධාන වේ.
ගනේෂ්, පුල්ලෙයාර් සාමි, ගණාධිරාජා, බාලචන්ද්‍ර, විග්නේෂ්වරන්, ගණපති, චක්‍ර කුන්ධන්, විනයාගර්, ඝනදීපන්, විග්නරාජා යන පර්්‍යාය නම්වලින් ගණ දෙවිදුන් හඳුන්වනු ලබයි. හිස කොටස හස්තියකුගේ හැඩයක්, කද කොටස මිනිස් රුවක හැඩයත් දරන ගණ දෙවිදුන් ඥානයට පමණක් නොව විනෝදයටද ප්‍රසිද්ධය. දෙව් ලොව අනෙකුත් දෙවිවරුන් අතර ඉතා ජනප්‍රිය, ප්‍රසිද්ධ දෙවි කෙනෙක් වන බව දේව පුරාණයේ සඳහන් වේ.
දෙවිවරුන් ගත් කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහෝ ප්‍රසන්න දීප්තිමත් මුව මඩලකට හිමිකම් කීවද ගණ දෙවිදුන්ට ඇත්තේ වෙනස්ම මුහුණකි. දෙවිවරුන්ගේ මුහුණ ඉතා ප්‍රසන්න වන්නේ එම දෙවිවරුන් අතීත සංසාරයේ කළ පින්වලට අනුරූපවයි. එවැනිම පින් රැස්කර දේවත්වය ලැබූ ගණ දෙවියන්ගේ මුව පමණක් වෙනස් වන්නේ මන්දැයි ඕනෑම අයකුට සිතීම සාධාරණය.
ගණ දෙවි උපතට කතා වස්තු කිහිපයක්ම තිබුණ ද හින්දු දේව කතා පුරාණයට අනුව එය මෙසේය.
ශිව දෙවියන් හා උමයංගනා දේවිය ගණ දෙවියන්ගේ මව්පියන් සේ සලකන අතර කතරගම දෙවිදුන් සහෝදරයා සේ සලකයි.
ගණ දෙවිදුන්ගේ උපත සැලකීමේදී ගණ දෙවියන්ගේ පියා වන ශිව දෙවියන් දැනසිටි ප්‍රභල මන්තරයක් දැන ගැනීමට පැමිණි බ්‍රහ්මයන් එය ශිව දෙවියන්ගෙන් ඉගෙන පසුව ශිව දෙවියන් විනාශ කර ගණ දෙවියන්ගේ මව වන උමයංගනාවන් තමන්ගේ කර ගැනීමට සිත් ඇතිව ශිව දෙවිදුන් මැරීමේ චේතනාවෙන් තමන් ඉගෙන ගත් මන්ත්‍රය අතට මතුරා ශිව දෙවිදුන් ලුහුබැන්දේය. ශිව දෙවියෝද, බ්‍රහ්මයන්ගෙන් බේරීමට පසුපස නොබලා දිව ගියහ. මෙය දුටු විෂ්ණු දෙවියන් අති සුරූපී කාන්තාවකගේ රුවක් මවා ඔවුන් දිව එන මාර්ගයේ ගසක් මුල වාඩි වී සිටියේය. මුලින්ම ශිව දෙවිදුන් එම සුරූපී දෙවගන දුටුවද මරණ බිය නිසා නොනැවතුනේය. නමුත් පිටුපසින් පැමිණි මහා බ්‍රහ්මයන් මෙම අති සුරූපිනිය ළඟ නැවතී තමා හා විවාහ වීමට ආරාධනා කර සිටි අතර එම සුරූපිනිය බ්‍රහ්මයන්ගෙන් පොරොන්දුවක් ලබාගැනීම සඳහා තමන්ව විවාහ කර ගත් පසු කිසිදින හැර නොයන ලෙස බ්‍රහ්මයාගේ හිස මත ඔහුගේම අත තබා දිවුරන ලෙස අයැද සිටියහ. සුරූපිනියට ලොල් බැඳි බ්‍රහ්මයා තම අතට විෂ මන්ත්‍රයක් මතුරා ඇතැයි අමතක වී තම අත හිස මත තබා සුරූපිනිය කිසි කලක හැර නොයන බව පැවසූහ. එසැනින් බ්‍රහ්මයන් විෂ මන්ත්‍රය නිසා අළු වී ගියේය.
තමා පිටුපස බ්‍රහ්මයන් නොයෙන බව තේරුම් ගත් ශිව දෙවියෝ නැවත හැරී ඒමට පටන් ගත්හ. එහිදී අති සුරූපිනියකගේ රුවක් මවා ගනිමින් ගසක් මුල වාඩිවී සිටින විෂ්ණු දෙවිදුන් දැක, ඔහුද එම අති සුරූපිනියට ලොල් වී ඇයව විවාහ කර ගැනීමට සිතා ඇයට ආරාධනා කළේය. එවිට ඇය ශිව දෙවියන්ට ප්‍රකාශ කර සිටියේ ඇයට දරුවන් 7 දෙනකු ඇති බවත්, එම දරුවන් හත්දෙනා සමඟ ඇයව බාරගත යුතු බවත්ය. ඒ සඳහා උමයංගනා දේවියගෙන් අවසරය ද අවශ්‍ය බව පැවසීය. එහිදී ශිව දෙවිදු විසින් උමයංගනාව එම ගස ළඟට කැඳවීය. එහිදී උමයංගනාව එම දරුන් හත්දෙනාටම ඉතා ආදරය වී ඔවුන්ව තුරුළු කර ගත්හ. එහිදී 6 දෙනකු පමණක් අත් දෙකට හසුවූ අතර එක් දරුවකු පමණක් ඉතිරි විය. තුරුළු කරගත් දරුවන් හයදෙනාට එක් සිරුරක් හිමි වූ අතර මුහුණු හයක හා අත් දොළසක් විය. ඔහු ස්කන්ධ කුමරු නම් වූ අතර ඉතිරි වූ දරුවා ගණ දෙවියන් ලෙස හඳුන්වයි.
ගණ දෙවියන්ට ඇත් මුහුණක් හිමි වූ කරුණ මෙසේ පොත පතේ සඳහන් වේ. සෙල්ල කතරගම ඇල්හේනෙ වැදි කුමාරියක්ව සිටි වල්ලිය සරණපාවා ගැනීමට කැමති වූ ගණ දෙවියන්ගේ සොයුරු කතරගම දෙවිදුන් ඒ බව වල්ලී දේවියට ප්‍රකාශ කළ ද ඇය අකමැති වීම හේතුවෙන් වල්ලී කුමරිය බිය වැද්දීමට ගණ දෙවියන් ඇත් මුහුණක් මවාගෙන වල්ලී කුමරිය වෙත ගොස් ඇය බියගන්වා ස්කන්ධ කුමරුට කැමති කරවා ගත්හ. නමුත් ගණ දෙවිදු මවා ගත් ඇත් මුහුණ වෙනස් කිරීමට නොහැකි වීමෙන් සදාකාලිකවම ගණ දෙවියන්ට ඇත් මුහුණ හිමි වූ බව කියැවේ.
ගණ දෙවියන්ගේ උපත හා මුහුණ, ඇත් මුහුණක් වූ ආකාරය පුරාණ පොත පතේ එසේ සඳහන් වන අතර ගණ දෙවියන් හට අවතාර 18 ක් හිමි වන බවද එහි සඳහන් වේ. මෙම අවතාර 18 ට වෙන වෙනම මුර්ති නිර්මාණය කර තිබීමද විශේෂ වේ. නමුත් අද වන විට මුර්ති 10 ක් පමණ ඉතිරිව පැවතීම කනගාටුවට කරුණකි. ගණ දෙවියන්ගේ අවතාර 18 මෙසේය.
1. සිද්ධ ගනේෂ
2. ශක්ති ගනේෂ
3. වීර ගනේෂ
4. බාල ගනේෂ
5. වල්ලභ ගනේෂ
6. මහා ගනේෂ
7. භේරම්භ ගනේෂ
8. ධරණි ගනේෂ
9. නෘත්‍ය ගනේෂ
10. බුද්ධි ගනේෂ
11. විද්‍යා ගනේෂ
12. භද්‍ර ගනේෂ
13. සත්‍ය ගනේෂ
14. ලක්‍ෂ්මි ගනේෂ
15. ස්කන්ධ ගනේෂ
16. තාල ගනේෂ
17. චණ්ඩි ගනේෂ
18. භක්ති ගනේෂ
ගණ දෙවියන්ගේ අවතාරවලට වෙන වෙනම මුර්ති තිබුණ ද බහුලව භාවිතා වන්නේ ශාන්ත රූපය රැගත් මහා ගනේෂ හා බුද්ධි ගනේෂ යන රන්, රිදී, මුතු, මැණික් වලින් පිරුණු ගණ දෙවි රූපයයි. එහි එක් දලයක් කැඩී ඇති අතර ගණ දෙවියන් අසළ මීයෙක් සිටිනු ද දැකිය හැක. එම මීයා මගින් විමසිලිමත් බව හා කඩිසරකම පෙන්නුම් කරන අතර දලය කැඩීම මගින් ගණ දෙවියන් යුක්තිය වෙනුවෙන් සටන් කරන බව පෙන්වයි. එසේම රන්, රිදී, මුතු, මැණික් මගින් සෞභාග්‍ය හා සශ්‍රීකත්වය පෙන්නුම් කරනු ලබයි.
ගණ දෙවියන්ගේ පිහිට බුද්ධි වර්ධනය සඳහා පමණක් සීමා නොවන අතර ආදරවන්තියන්, යුවතිපතීන් ආරක්‍ෂාව, අනවින බන්ධන වලින් ආරක්‍ෂාව, ස්වභාවික විපත් වලින් ආරක්‍ෂාව, අසාධාරණකම් වලින් ආරක්‍ෂාව, සැප සම්පත් ලබාදීම, ග්‍රහ අපල වලින් ආරක්‍ෂාව, ගැඹුරු ශාස්ත්‍රයන් පහසුවෙන් අවබෝධ වීම ආදී කොට ඇති මෙකී නොකී බොහෝ කාර්යයන් උදෙසා ගණ දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබෙන බව පිළිගැනීමයි.
එළැඹෙන දෙසැම්බර් මාසයේදී අපොස සාපෙළ විභාගයට සැරසෙන දරුවන්ට විභාග ජය ලබා ගැනීම අධික මුදල් හදල් වියදම් කරමින් විවිධ නිෂ්ඵල දේවල නොයෙදී තම දරුවාගේ ඥානය, බුද්ධිය වර්ධනය වී විභාග ජය ප්‍රාර්ථනා කරගෙන පහත සඳහන් ලෙස ගණ දෙවි පූජාවක් තබන්න.
ශාන්තිකර්ම, මන්ත්‍ර, යන්ත්‍ර යන ත්‍රිවිධාකාරය මගින් ගණ දෙවියන්ගේ පිහිට පැතිය හැකි අතර ගණ දෙවි පූජාව කිරීම සඳහා පුර පාර්ශ්වයම තෝරා ගත යුතුයි. තවද නිවැසියන් නිර්මාංශ වී කිලිවලින් තොරව සිටිය යුතුයි. නිවස පිරිසිදු කර සෝදා නිවසේ හරි මැද ගණ දෙවි රූපයක් තැබිය යුතුයි. පූජා වට්ටිය සැකසීමේදී පූජා වට්ටිය යටට බෙලි කොළ ඇතිරිය යුතුය. කිසිවිටක බුලත් කොළ ඇතිරීම නොකළ යුතුය. දිවුල්, අඹ, අන්නාසි, බෙලි හා කෙසෙල් ඇතුළුව පලතුරු වර්ග 7 ක් තබා කැවුම්, අග්ගලා, පැණි වළලු ඇතුළුව කැවිලි වර්ග 7 ක් ද තබා, විලද, සුනුසහල්, එල අබ, ඊතන, සමන්පිච්ච මල් ඇතුළුව ආදී කොට ඇති ලදපස්මල් ද තැබිය යුතුය. සීනි, පැණි, හකුරු මිශ්‍ර රසවත් කිරිබතක් ද පිළියෙළ කර පූජා වට්ටියේ තැබිය යුතුය. සුවඳ දුම් වර්ග හා අෂ්ඨපානයන්ගෙන්ද එම පූජා වට්ටිය සංතෘප්ත කර ගණ දෙවියන් උදෙසා පූජා කළ යුතුයි. රතු පැහැති මල් ද වට්ටියේ උඩින් දමා ගණ දෙවියන්ට ගෞරව භක්ති පූර්වකව පූජා කරන්න.
බුද්ධිය, ඥානය, විභාග ජය, වස්තුව, දරු සම්පත්, ධනය, සෞභාග්‍ය, සශ්‍රීකත්වය හා වාසනාව කැන්දන ගණ දෙවිදුන් ඔබත් විශ්වාස කර පුද පූජා පවත්වා බැතිමතෙක් වී ඔබේ දිවියට ද වාසනාව ළඟාකර ගන්න.

ජ්‍යොතිෂවේදිනී, දේශබන්දු,
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
ජ්‍යොතිෂ් ශිරෝමනී (ඉන්දියා)