2017 සාමාන්‍ය පෙළ විභාගය ලියන දූදරුවන්ට විශේෂ බෝධි පූජාවක් සමඟ දේව ආශිර්වාදයක්

lසිතුම් පැතුම් ඉටුවන බලගතුම විෂ්ණු මන්ත්‍ර දැහැන සහිතයි.

විභාගයක් ජය ගැනීමට මවුපියන්ගේ උනන්දුව වගේම ළමයින්ගේත් දැඩි කැපවීම හා වෙහෙසවීමත් අවශ්‍ය වෙනවා. ඉගෙන ගන්නා ළමයින් පළමුව තම දෙමාපියන්ට ගරු කිරීම හා කීකරුවීම අවශ්‍ය වන අතර නිතරම අම්මාට තාත්තාට වැඳ ආශිර්වාද ලබා ගැනීමට පුරුදුවන්න. උගන්වන ගුරුවරාදීන්ට ගරු කිරීම, කීකරුවීම වැරදි දේ පෙන්වා දෙනවිට එය යහපත්ව පිළිගැනීම ඉගෙනුම ලබන ළමයින්ට ඉතාම වටිනා යහපත් කරුණක් වෙයි.

සමහර ළමයින්ට උපතින්ම විශේෂ ඥාණය ලැබී ඇති අතර ගුප්ත ශාන්තිකර්මවලින් තොරව විභාග ජය ගන්නට හැකියාව ඇති අතර සමහර ළමයින්ට උපන් ග්‍රහබල දුබලතාව මත ඉගෙන ගන්නා දේ හරියට ධාරණය නොවන බැවින් හා අමතකවීම මත ඉගෙනීමේ බාධා මතුවෙයි.


මෙයට ඉතාම යහපත්ම දේ මෛත්‍රී භාවනාව දිනකට විනාඩි 5 ක් වත් කිරීමට පුරුදුවීම හා තමන් අදහන ආගම කුමක්වුවත් ඊට ගරු කිරීමයි.

බලගතු බෝධි පූජාවක් තබා ගන්නා අයුරු බෝධි පූජාව තැබීමට පෙර ඔබ ඉතාම පිරිසිදුවීම මැනවි. බෝධිමළුව අතුගෑම කර මල් ආසන පවිත්‍ර කිරීම කරන්න. නිතරම අනන්ත වූ බුදුගුණ සත්‍ය බලය මගින් තමාහට ඇති අපල උවදුරු දුරුවී යහපත උදාවේවා ප්‍රාර්ථනා කරන්න.

ඔබ විසින් බෝධි පූජාව තබන විට පිරිසිදු තල තෙල් දමා බුදුපහන අතට ගෙන “ඉතිපිසෝ ගාථාව” 7 වරක් කියා “සබ්බ පාපස්ස” ගාථාව 7 වරක් කියා බුදුපහන පූජා කර රහතන් වහන්සේලා අතරින් නුවණට අගතැන් පත්වූ සැරියුත් මහ රහතන් වහන්සේ වෙත පිරිසිදු තල තෙල් පහනක් දල්වා පූජාවේවා කියා ප්‍රාර්ථනා කරන්න. ලොව්තුරු බුදුරජාණන් වහන්සේට සුදු නෙලුම් මල් 7 ක් පූජා කරන්න. මෙය බෝධි මළුව වටේ 7 වරක් රැගෙන වන්දනා කරමින් සෙත උදාවේවා කියා ප්‍රාර්ථනා කරන්න. එවිට ඔබගේ දරුවාගේ හිත පිරිසිදු වී මනස නිරවුල්ව පවතින රෝගයක් උවද සුවපත් වීමට හේතුවනවා ඇත. දරුවාගේ පෙර පින් බලය මත ගුණ ලැබීම සිදු වෙයි.

මේ ලෙසමට සැරියුත් මහ රහතන් වහන්සේට වෙන් කළ තලතෙල් පහන ළඟම කහමල් වට්ටිය තබා එය වටේට සුදු නෙලුම්මල් 7 තබා පූජා වේවා කියා ප්‍රාර්ථනා කරන්න. එවිට දෙවියන් අතර අගතැන් පත් වූ මතු බුදුවන මෛත්‍රී බෝසත් දෙවියන් වහන්සේට  එම පින් අනුමෝදන් වේවා කියා ප්‍රාර්ථනා  කරන්න. ඔබට ලැබෙන අසීමිත සතුට ඔබගේ ජීවිතය යහපත් වීමට හේතුවනවා ඇත. මෛත්‍රී සිතුවිලි වලින් හදවත පුරවා ගත්විට නැණ නුවණ වර්ධනයට හේතු වෙයි.

මෙම පුණ්‍ය ක්‍රියාව බෝධි වන්දනාව ශ්‍රීමහා බෝධින් වහන්සේ අභියස දීද කළ හැකි වන අතර උදේට බෝධි පූජාව තබන විට බුද්ධ පූජාව ලෙස පිරිසිදුව උයාගත් කිරිබත් පාත්‍ර 7 ක් පූජා කර එම පින් සතරවරම් දෙවියන්ට හා විෂ්ණු, කතරගම, සරස්වතී, ගණ දෙවියන්ට ද අනුමෝදන් කරන්න.

කතරගම කිරිවෙහෙර අභියස දීද මෙම මාහැඟි පුණ්‍ය ක්‍රියාව සිදුකළ හැකි අතර තුණුරුවන්ගේ ගුණ ගායනා කරමින් බුද්ධ පුජාවට කිරිබත් පාත්‍ර 7 ක් පූජා කර සුදු නෙලුම්මල් 7 ක් හා කහමල් වට්ටි 7 ක් පූජා කර එම පිං දෙවියන්ට අග්‍රවූ මතු බුදුවන මෛත්‍රී දෙවියන්ට හා ඊට පසුව සතරවරම් දෙවියන්ට, විෂ්ණු හා කතරගම දෙවියන්ට, පත්තිනි මෑණියන්ට, සරස්වතී හා ගණදෙවියන්ට එම පින් අනුමෝදන් කරන්න.

ශ්‍රී මහා බෝධිය අභියස හෝ කතරගම කිරිවෙහෙර අභියසදී මෙම බෝධි වන්දනා වතාවත් සිදුකිරීමට නොහැකි අයට තමාට ළඟම තිබෙන විහාරස්ථානය හෝ පූජනීය භූමියකදී මෙම බෝධි වන්දනාව සිදුකර ඔබගේ දරුවාට තුණුරුවන්ගේ අසීමිත ගුණ බලය හා දේව ආශිර්වාදය ලබාදෙන්නට හැකියාව ඇත. නිතරම  මෛත්‍රී භාවනාව කරන්න. හිත කය පිරිසිදු කර ගන්න. ඔබගේ ආගම කුමක් වුවත් සෑම දෙනාටම යහපතක් වේවා යි ප්‍රාර්ථනා කරමින් මෛත්‍රී සිතුවිලිවලින් හදවත පුරවා ගෙන පාඩම් කරන්න. මෙමගින් ඔබට යම් වෙනසක් දැනෙනු ඇත. දරුණු සෙනසුරු මහ දශා හා අන්තර් දශා ඒරාෂ්ඨක අපල පවතින ළමයින්ට බොහෝ අගුණ දුරුවීමට බෝධිපූජාවන් පෙර කී සේ තබා විෂ්ණු රූපය ළඟට ගොස් එළඟි තෙල් පහන් 7 ක් දල්වා හැකිනම් විෂ්ණු පූජාව ද තබා මෙම පැරණි විෂ්ණු මන්ත්‍ර දැහැන 7 වර හෝ  21 වර කියා දරුවාට විෂ්ණු දේව ආශිර්වාදය ලැබේවා සිතන්න. විෂ්ණු දෙවියන්ට නිල්මල් වට්ටි 7 පූජා කර කහමල්  3 ක් ඊට උඩින් තබන්න.

සෙනසුරුගේ හා රාහු කේතු දෝෂ ප්‍රබලව ඇති නම් හෝ වෙනත් ග්‍රහ දෝෂ ඇතිවිට පළමුව දෙහිගැට 7 ක් කපාගෙන ඇස්වහ කටවහ මතුරා ගැනීම මගින් ඔබ කරන දේව පූජාවන්වල බලය වැඩිවෙයි.

විෂ්ණු මන්ත්‍රය හා දැහැන

වෙනත් ග්‍රහ අපල දෝෂයක් උවත් මේ මඟින් දුරුකර ගත හැකි වනු ඇත. විෂ්ණු දෙවියන්ට පූජාව තබා ඉහත අනන්ත වූ තුණුරුවන්ගේ ගුණ බලයෙන් හා දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මෙම වතාවත් මගින් ඔබගේ පෙර පින් බල මත විශිෂ්ට ජය අත්වෙනවා ඇත.

බලගතුම විෂ්ණු ගාථා මන්ත්‍ර දැහැන

ශිරේ මේ බුද්ධ දේවාච – ලලාටේ බ්‍රහ්ම දේවතං
හෘදයේ නාරාය නං චෛව
හස්තේසු පරමේශ්වරඃ – පාදේසු විෂ්ණු කඃ චෛව
සර්ව කර්මංප – සිද්ධි මේ

 

Nihlaජ්‍යොතිෂවේදී
නිහාල් හේවා බටගොඩගේ
පානදුර, මාලමුල්ල
077 4181943