තරුණකම රැකදෙන ඔසුව අමුක්කරා

සකු බසින් අශ්වගන්ධා නාමයෙන් හැඳින්වෙන අමුක්කරා තෙද බල ගුණ ඇති සුවිශේෂී පැළෑටියකි.
මිනිසාගේ ශරීරයේ ජරා විසාදි නසා තරුණකම රැකදෙන පිරිහී ගිය කාය ශක්තිය නැවත යළි ලබාගත හැකි ඔසුවක් වෙතොත් එය අමුක්කරා බව කිව හැකිය.
මෙවන් වටිනාකමක් මිනිසාට ලබා දුන් අමුක්කරා ශාකය වැවෙන ප්‍රදේශ වන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වන අතර ඊට අවශ්‍ය උචිත පරිසරය එම ප්‍රදේශයේ දැකගත හැක.


අමුක්කරා ශාකය දැකගත හැකි දේශයන් වන්නේ ඉන්දියාව, පංජාබ්, උතුරු බෙංගාලය, අප්‍රිකාව හා අරාබි රටවල ද වියළි දේශගුණික ප්‍රදේශවලය.
පැළෑටියේ ස්වභාවය – අමුක්කරා පැළෑටිය කුඩා පඳුරක් ලෙස වැවෙන අතර පැළයක් අවුරුදු තුනක් හතරක් කාලයක් පවතින අතර බටු පඳුරක් මෙන් අතු ඉති පැතිරී ඝනව වැවෙන මීටර් එකක් පමණ උස පඳුරකි. අමුක්කරා මල් කුඩාය. මල් පෙතිවල පිට පැත්තේ බූවක් ඇත. ගෙඩිය තද රතු පාටය. ගෝලාකාරය.ඒ තුළ දුඹුරු පාට කුඩා බීජ රාශියකි.
උද්භිද විද්‍යා නාමය – Withania somnifera(L) Dunal
කුලය -Solanaceae
ඉංග්‍රීසි නාමය – Winter cherry
සිංහල නාමය – අමුක්කරා අස්ගොඳු
සංස්කෘත නාමයන් – අශ්වගන්ධා, වාජිගන්ධා, වාජීකරි, වශජා, අශ්වාරෝන
දෙමළ නාමය – අමුක්කීරු, අමුතුලංඟා, පිල්ලඅංඟා
අමුක්කරා ප්‍රභේද දෙකකි
වන්‍ය සහ ග්‍රාමය වශයෙන් හඳුනාගත හැකිය. වන්‍ය වර්ගය බාහිර ප්‍රයෝග සඳහා ද ග්‍රාමය වර්ගය අභ්‍යන්තර ප්‍රයෝග සඳහා ද යොදා ගැනේ.
අමුක්කරා ඖෂධයේ අඩංගු රසායනික උපදාන
නිද්‍රාකාරක (Hypnotic) සහ ශාමක (Sedative) ගුණ ඇති සොමිනිෆෙරීන් (Sominiferine) නමැති තික්ත උක්ෂාරසයද පොටෑසියම්, ටැනින් සහ වර්ණකාරක, ග්ලුකෝස් ආදී සුළු වශයෙන්ද අඩංගුය.
අමුක්කරා ඖෂධීය ගුණ කර්ම අනුව
රසයෙන් – මධුර තික්ත කෂායද
ගුණයෙන් – ලඝු සහස්නිග්ධ ද වෙයි
වීර්යයෙන් – උෂ්ණය
විපාකයෙන් – මධුරය ප්‍රභාවෙන් රසායන හා වාජීකරණයි.
දෝෂ වශයෙන් – සෙම් හා වාත දෝෂ ශමනයකරන අතර වාත හා සෙම් රෝග සඳහා යහපත් වේ. බාහිර වශයෙන් ශෝථ හරයි වේදනා ස්ථාපනයි මෙම ගුණයෙන් අනූන නිසා ගලගන්ඩ ග්‍රන්ථ ශෝථ ආදියේ දී වන්‍ය වර්ගයේ කොළ හෝ අල අඹරා (බාහිර වශයෙන්), ආලේප කරයි.
මෙම අල යොදා සිඳුවා ගත් තෙල් වාත රෝගවලදී මෙන්ම නාඩි දුර්වලතාවයන්හිදී අභ්‍යංග කෙරේ.
මා විසින් සුපහන් සිතින් ලියන ලද මෙම කවි සිත්තම අමුක්කරා ඖෂධයේ ගුණ මතු කර ඇත. පාඨක ඔබ වෙනුවෙන් තිළිණ කරමි
තරුණකම නිති    රැකදෙන
ඔසුවකි ඒ ගුණ    බලදෙන
අමුක්කරා ඔසුවයි ඒ ගුණ    දෙන
මෙන්න ඔසුව ඔබ    සුරකින
ආහාර පරිපචන ක්‍රියාවලියේදී අමුක්කරා දිපන ගුණ ද අනුලෝම සහ කෘමිස්න ගුණ යුක්ත වන හෙයින් ශුල විෂ්ථම්භ ආදී උදරගත ආබාධ සහ කෘමි රෝගවලදී ද ගුණ දෙත්
රක්ත සංයත ක්‍රියාවන්හිදී හෘදයට හිත රක්ත ශෝථහර ගුණ යුක්ත වන හෙයින් හදවතේ දුර්වලතාවට ගුණ දෙන රුධිර විකෘතිවට හා ශෝථවලදී ප්‍රයෝග කෙරේ.
ශ්වසන ක්‍රියාවන්හිදී සෙම නශන සහ ශ්වාස නසන ගුණයෙන් යුක්ත වන නිසා කැස්සට සහ ශ්වාසයට ගිතෙල් මී පැණි සමඟ අමුක්කරා ක්ෂාරය යොදයි.
ප්‍රජනන කාර්යයේදී රසායන වාජීකරණ සහ ගර්භාෂ ශෝථහර ගුණයෙන් යුක්ත අමුක්කරා ශක්‍ර දුර්වලතා සහ ශ්වේත ප්‍රදර අවස්ථාවන්හිදී භාවිතා කළ හැක.
මුත්‍ර කාරක ගුණ යුක්ත වැ හොඳින් ක්‍රියාත්මක වන අමුක්කරා ඖෂධයේ ගුණ ඇතුළත් යෝග රාශියක් විවිධ රෝග සඳහා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. එබදු යෝග අතුරින් කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.
ශ්වාසයට – අමුක්කරා ක්ෂාරය ගිතෙල් මී පැණි සමඟ ලේහ කිරීමට සුදුසුයි.
නින්ද නොයන විට – අමුක්කරා චූර්ණය සීනි සමඟ සහ ගිතෙල් සමඟ ගත් විට නින්ද නොයාම සුවවේ.
ක්‍රිමි දෝෂ වැළඳුණු විට අමුක්කරා චූර්ණය ගෝමුත්‍රයෙන් පානය කිරීම
උදර ක්‍රීම් සහ ශෝථයන්ට ඉහත දැක්වූ ලෙසම අමුක්කරා චූර්ණය ගෝමුත්‍රයෙන් පානය කිරීම සුදුසු වේ.
හෘදගත වාතයට – අමුක්කරා චූර්ණය උණු දියෙන් බීම යහපත් වේ.
ශරීරය දුර්වල ජරා වලිපලිත කෘෂ රෝග සුවය ගෙන දෙන ශරීරය සොබා සම්පන්න කරන උතුම් වාජීකරණ ගුණ ඇති අශ්වගන්ධ රසායනය
අමුක්කරා, එළ ඉඹුල් මැලියම්, කැකිරි ඇට අරළු, ගොකටු, පුහුල්, කළාදුරු අල, හාතවාරිය අල, ලෞහභෂ්ම, කොල්ලන් කොළ වැල්මී බුළු බිම්තල් අල, නෙල්ලි, ගජතිප්පිලි, මේවා සමභාගවැ ගෙන චූර්ණකර බරට බරක් සීනි මිශ්‍ර කර තබාගෙන වරකට කලං බාගය බැගින් වළඳා එළකිරි බොන්නේය. මෙයින් මුත්‍ර රෝග, රක්ත ප්‍රමේහ, ශුක්‍ර ක්ෂය ලිංග අප්‍රාණිකත්වය සුවවේ.
තවද අශ්වගන්ධ අවලේහය පුරුෂ නපුංසකත්වය දුරුවේ ප්‍රමේහ හා සියලු වාත රෝග නැසේ උතුම් වාජිකරණයෙහි ගුණ ඇති යෝගයක් වශයෙන් හඳුනාගත හැක
අමුක්කරා ඖෂධය ඇතුළත් අශ්වගන්ධ තෛලය සුවිශේෂී ගුණ ගෙන දෙන අතර රෝග රැසකට ගුණ දේ
සියලු දනන් හට ආයුෂ බොහෝ    වේවා
ඉසිවර අරණ ඔබ හට සුව සෙත     වේවා
ඔසු ගුණ වරුණ සැමගේ යහපත    වේවා
හෙළ වෙද සුවය අපේ රට රැක    දේවා
පාරම්පරික දේශීය වෛද්‍ය
අනුර කමල්සිරි පීරිස්
0773549416
‘ඉසිවර අරණ’ මොරවින්න – පානදුර