දේශීය වෙදකම සහ බටහිර වෙදකම සම්බන්ධ කරමු

රටක වෙසෙන ජනතාව: සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයේ එකතුවයි. එම බලවේග අතුරෙන් ‘වෙද බලවේගයට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ඒ ඇයි? සෙසු සියලුම බලවේග නිරෝගි හා ශක්තිමත් කෙරෙන්නේ ‘වෙද බලවේගය නිසා වීමය. ‘වෛද්‍යවරයා’ යනු මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ නොතකා රෝගියා සුවපත් කිරීමට පරම අපේක්‍ෂාව කර ගත් අයෙකි.


දැනට වසර 6000 කටත් වැඩි ඉතිහාසයක් හිමි අපේ දේශීය වෙදකම, ගස්, වැල්, ගල්, පස්, ජලය, සුළඟ ආදී සැමකෙකම ඇති ගුණය විමසා බලා අත්හදා බලා ඒවා උපයෝගී කර ගනිමින් සැකසුන වටිනා වෛද්‍ය ක්‍රමයකි යන්ත්‍ර, සූත්‍ර, වාහන ආදී කිසිවක් නැතිව තිසාවැව, බලලුවැව, කලා වැව වැනි මහා ජලාශ ද, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, දෙමළ මහා සෑය වැනි යෝධ දාගැබ් ද ඉදිකිරීමටත්, එළාර, දුටුගැමුණු යුද්ධය වැනි සටන් කිරීමටත් කායික හා මානසික ශක්තිය ලබාගත්තේ එදා අපේ දේශීය වෙදකමේ තිබූ හාස්කම් නිසාමය. ඒ ඒ රෝගයට යෝග්‍ය අයෝග්‍ය කෑම බීම, විහරණ ක්‍රම ආදිය ගැන එදා සිංහලයා දැන සිටියේය.
ගසක – වැලක මුල්, ගෙඩි, පොතු, මල් වැනි දේ ඖෂධ වශයෙන් යොදා ගතයුතු කාලයක් එදා දේශීය වෛද්‍යවරයා නියම කළේ, එක් එක් කාලවලදී ශාකයක ජීව ගුණය ඇත්තේ කුමන කොටසේ දැයි යන්න ගැන දැන සිටිය නිසාය. එසේම මුල්, පොතු ආදිය ලබාගත යුත්තේ පොත්ත ගැලවිය යුත්තේ උඩ අතටද? පහළට ද යන්න ගැනත් ඔවුන් දැන සිටියේ ඒ ඒ ක්‍රමය අනුව පොත්තේ ශෛලවල ක්‍රියාකාරී ගුණය ගැන අවබෝධයක් ලබාගත් හෙයිනි.
යම්කිසි වැලක මුල් තම්බා බීමෙන් මුත්‍ර බද්ධය විනාඩි 10 ක් වැනි සුළු කාලයක් තුළදී සුව කිරීමටත් යම්කිසි ගසක මුල් තම්බා බීමෙන් සති 2 ක් වැනි කාලයක් තුළ වකුගඩුවල ගල් දිය කිරීමටත්, මිදුලේ තිබෙන එක්තරා කුඩා පැළෑටි වර්ගයක මුල් තම්බා එම ජලය පානය කිරීමෙන් කුසගිනි ඇති කිරීමටත්, කැපුම් තුවාලයකින් ලේ ගලන විට එය සිහිකර එක්තරා පැළෑටියක දල්ල කැඩීමෙන් ලේ ගැලීම නතර කිරීමටත් එසේම දරුඵල නැති ස්ත්‍රියකට එක්තරා බෙහෙත් ගුලියක් එක් වරක් පමණක් ගිලීමෙන් දරුවන් හටගැනීමටත් එම ගුලියක් තවත් මාත්තුවකින් දීමෙන් වැදුම් පමා වූ විට දරුවාගේ කුණ බිහිවීමටත්, තවත් මාත්තුවකින් දීමෙන් දරුවන් හට නොගැනීමටත් ආදී වශයෙන් විවිධ හාස්කම් ඇති බෙහෙත් වර්ග හා කෙම් ක්‍රම දේශීය වෙදකමෙහි ඇත.
එසේම යම්කිසි තෙල් ස්වල්පයක් පානය කර නාසයට ඉරීමෙන් නයි විෂ, පොළොන් විෂ නැති කිරීමටත්, යමෙක් මියගිය සැනින් එම තෙල් ටිකක් හිස් මුදුනේ සහ නාස් පුඩු තුළ ගෑමෙන් යළි පණගැන්වීමටත්, අංශ බාග රෝගය හැදී අතපය වකුටු වී කට ඇදවී ගිය රෝගියකුගේ තෙල් ගැල්වීමෙන් පැයක් වැනි සුළු කාලයක් තුළ එම ඇද වූ, වකුටු වූ අවයව යථා තත්ත්වයටපත් කිරීමටත් දේශීය වෛද්‍යවරයාට හැකියාව ඇත.
මේ අතරම බටහිර වෙදකමෙහි ද ඇති හාස්කම් විෂ්මිතය. යමෙකුගේ වකුගඩුවක් නරක් වූ විට වෙනත් අයකුගෙන් වකුගඩුවක් ලබාගෙන එය රෝගියාට බද්ධ කර යථා තත්ත්වයට පත් කිරීමටත්, හදිසි අනතුරකදී යමෙකුගේ අතක්, පයක් කැඩී වෙන් වූ විට එය යළි සිරුරට බද්ධ කර යථා තත්ත්වයට පත් කිරීමටත්, හෘදය වස්තුව ආසාදනය වූ රෝගියකුගේ එම හෘදය වස්තුව ඉවත් කර හදිසි අනතුරකින් මියගිය අයකුගේ හෘදය වස්තුව ගෙන එකී අයට බද්ධ කර යථා තත්ත්වයට පත් කිරීමටත් ආදී වශයෙන් විෂ්මිත හපන්කම් බටහිර වෙදකමෙහි ද ඇත. ඒ අනුව මා අදහස් කරන්නේ අපගේ දේශීය වෙදකම කරන වෛද්‍යවරුන් හා අප රටේ සිටින බටහිර වෙදකම කරන වෛද්‍යවරුන් එක් වී රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ඇති වුවොත් මොනතරම් වාසනාවක්ද? යන්නය. මේ වෛද්‍යවරුන් දෙපක්‍ෂයම කරන්නේ මිනිසා සුවපත් කිරීමය. ඒ නිසා අනාගතයේදී එවැනි තත්ත්වයක් උදාවේවායි මම පතමි.
තවද කිව යුත්තකි. අපේ පැරණි පුස්කොළ පොත් රාශියක් විදේශිකයන් ගෙන ගොස් ඇත. ඒ ලක්‍ෂ ගණනකි. එම පොත් අතර දේශීය වෙද පොත්ද රාශියක් ඇත. එම පොත්වල කරුණු හදාරා දැනගෙන තමයි ඇතැම් විදේශ රටවල් අපේ රටේ උපන් ශාක වර්ග ඔවුන්ගේ රටවලට ගෙන ගොස් එම ශාකවල අයිතිය ඔවුන්ගේ බවට තහවුරු කරගන්නේ. අපට එවන විවිධ පෙති, කරල්, දියර බෙහෙත් වර්ග නිපදවන්නේ ඉහත කී පරිදි උරුමය ලබාගත් අපේ ශාකවලින් නේද? එම බෙහෙත් නිපදවන්නේ යන්ත්‍ර සූත්‍ර මගිනි. දේශීය වෛද්‍යවරයා ශාකවල කොළ, පොතු, ගෙඩි, මල් වැනි දේ ඒ තත්ත්වයෙන්ම ගෙන ඖෂධ නිෂ්පාදනය කරයි. එසේ නම් ඇතැම් බටහිර වෛද්‍යවරුන් දේශීය වෙදකම ගොඩ වෙදකම යනුවෙන් අවතක්සේරු කිරීම ගැන අපි කනගාටුවෙමු. එය මුල අමතක කර අගට වන්දනා කිරීමකි. එය එසේ නොවේවා! දේශීය හා බටහිර වෙදකම් සම්බන්ධ වේවා! යනු මගේ අවංක පැතුමයි.
රා.මු.ක. බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත
ජානක ඖෂධාලය වේගොල්ල, මාස්පොත
0723920873