දරුවන් ලෙඩ කරන පණු රෝග

xබාලයන් රෝග බවට පත්කරන එක් වැදගත් හේතුවක් වන්නේ පරපෝෂිත ක්‍රිමීහුය. මිනිසාට ව්‍යාධි ඇතිකරවීමේ හැකියාවක් ක්‍රිමීන් සතුව පවතී. ආයුර්වේදයේ ක්‍රිමීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා ඇත. වෛකාරක සහ අවෛයිකාරක වශයෙන් රෝග ඇතිකරන ක්‍රිමි නැවත ගණනින් විස්සකි. මෙම විසිවැදෑරුම් ක්‍රිමීහු මනුෂ්‍ය ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් වාසය කරමින් විවිධ රෝගයන් ඇතිකරයි. ක්‍රිමීන් නිසා බාලයන් මෙන්ම වැඩිහිටියෝ ද රෝගී බවට පත්වෙයි.
ක්‍රිමීන් ඇතිවීමට හේතු ලෙස,
1. දූෂිත ජලය (අපිරිසිදු ජලය)
2. ආහාරජ හේතු (අපවිත්‍ර ආහාර)
3. අපිරිසිදුකම
4. අව්‍යායාමය දැක්විය හැක.


● ආහාරජ හේතු
* නොපිසවූ, කුණුවූ, පිළුණු වූ අහිතකර, අපවිත්‍ර ආහාර ගැනීම
* පැණි රස, පිටි සහිත, තෙල් සහිත ආහාර අධිකව සේවනය මෙමගින් කළු (සෙම) අධික අග්නිය හෙවත් බඩගින්න අඩු හේතු ඇතිවේ.
* අපිරිසිදුකම
පුද්ගලයාගේ හා පාරිසරික අපවිත්‍රතාවය.
* අව්‍යායාමය
දහවල් නිදාගැනීම නිසා සෙම වැඩි වී අග්නිය අඩු වේ.
ක්‍රිමි ලක්‍ෂණ
● ජ්වරය (උණ)
● ශරීරයේ පැහැය වෙනස්වීම
● ශරීරයේ අප්‍රාණික බව
● හෘධයේ වේදනාව
● ශරීරයේ වේදනාව
● ක්ලාන්තය
● අරුචිය
● අතීසාරය (මල දියාරු ලෙස පිටවීම)
බාලකාලය ක්‍ෂීරය කාලය, ක්‍ෂීරාන්නාද කාලය, අන්නාද කාලය ලෙස තුන්වැදෑරුම් වේ. එනම්, ක්‍ෂීරප කාලය යනු, කිරෙන් පමණක් වැඩෙන කාලයයි. ක්‍ෂීරාන්නාද කාලය කිරි සහ බත් ආහාරයට ගෙන වැඩෙන කාලය යනුවෙන්ද, අන්නාද කාලය හෙවත් ඝන ආහාර වලින් පෝෂණය වන කාලය යනුවෙන් මුළු ළමා කාලය කොටස් තුනකට බෙදා දක්වයි.
මෙම ත්‍රිවිධ බාලකාලය අතරින් අභ්‍යන්තර ක්‍රිමි හටගන්නා විශේෂ කාලයන් වන්නේ ක්‍ෂිරාන්නාද සහ අන්නාද යන කාල දෙකය. මවු කිරෙන් පෝෂණය වන කාලය තුළදී අභ්‍යන්තර ක්‍රිමීන් ඇතිවීම කලාතුරකින් සිදුවේ. ආයුර්වේදයට අනුව ක්‍රිමි ප්‍රභේද දෙකක් දක්වා ඇත. එනම්,
1. බාහිර ක්‍රිමි
2. අභ්‍යන්තර ක්‍රිමි ලෙස වේ.
බාහිර ක්‍රිමීහු අපවිත්‍රභාවය නිසා කෙස්, ලොම් ඇසුරු කර හමෙහි වාසය කරයි. මකුණන්, උකුණන් ආදී පාද සහිත ක්‍රිමීන් මෙම ගණයට අයත් වේ. සමෙහි විවර්ණත්වය, කැසීම, චර්මාශ්‍රිත වෘණ මොවුන්ගෙන් ඇතිවන උපද්‍රවය.
අභ්‍යන්තර ක්‍රිමීහු අන්ත්‍ර සහ ආමාශය ආශ්‍රිතව වාසය කරයි. මෙසේ වාසය කරමින් කායික වර්ධනයේ දුබලතාවයන්ද ඇතිකරයි. සමහර ක්‍රිමීහු බාහිරව වැඩී පසුව ශරීරගත වේ. තවත් සමහර ක්‍රිමීහු මනුෂ්‍ය ශරීරය අභ්‍යන්තරයේ සිට වර්ධනය වී බාහිරට පැමිණේ.
පැණි රස, ලුණු රස ආදී රස අධික ආහාර ගැනීමෙන් කළු හෙවත් සෙම වර්ධනය ව්. අධිකව ද්‍රව පානය, පිටි සහිත ආහාර ගැනීම අග්නිය හෙවත් ගින්න හීන කිරීමට සමත් වේ. අග්නිය අඩු බව නිසා ආමාශ අන්ත්‍ර තුළ ඇතිවන පරිසරය බාහිරින් පැමිණි ක්‍රිමි බීජ ඇතිවීමට හොඳ පසුබිමක් වේ.
බොහෝ මාපියවරු කුඩා කල ළමුන්ට අධික පැණි රස දීමට මැලිවන්නේ පණුවන් ඇතිවේය යන බිය නිසාය. එහෙත් පැණි රස කෑමෙන් ක්‍රිමීන් ඇතිනොවේ. ක්‍රිමීන් ඇතිවීමට නම් ක්‍රිමි බීජ සහිත ආහාර පාන ශරීරගත විය යුතුය. නොඑසේ නම් රුධිර සංසරණ පද්ධතිය මගින් ශරීර අභ්‍යන්තරයට පැමිණිය යුතුය. අධික පැණි රස කෑම කුසගින්න ඇතිවීමට කරුණක් වුවත් එය කෙළින්ම ක්‍රිමීන් ඇතිවන හේතුවක් නොවන අතර ක්‍රිමි බීජ ඇතිවීමට අවශ්‍ය පසුබිම සළසයි.
බහුලව රෝග ඇති කරන ක්‍රිමීන් වර්ග 4 කි. එනම්,
1. වට පණු
2. කිරි පණු
3. කොකු පණු
4. කස පණු වේ.
අභ්‍යන්තර ක්‍රිමි ඇති ලක්‍ෂණ
● නින්දෙන් දැගලීම
● දත් කූරු කෑම
● නාසය කැසීම
● බඩ යට කරගෙන නිදා ගැනීම
● ගුද මාර්ගය කැසීම
● නාසයෙන් සොටු වැගිරීම
● මැටි, ගල්, අඟුරු කෑමට රුචියක් දැක්වීම
● පිපාසය
● කැස්ස
● ශරීරය කෘශ වීම
● නුරුස්නා ගතිය
● මල බුරුල්ව පිටවීම
යන ලක්‍ෂණයන්ද දරුවන් කෙරෙහි පහළවේ.
1. වට පණුවා
කඵජ ක්‍රිමි ගණයට අයත් වේ. සෙම වර්ධනය කරන ආහාර පාන ගැනීමෙන් ඇතිවන අග්නිය අඩු බව පණුවාගේ පැවැත්මට උපකාර වේ. පණු බිත්තර ආහාර පාන මගින් අන්ත්‍ර ගතවේ. දරුවන් දුවපැන ඇවිදින කාලවලදී විශේෂයෙන් මෙම ක්‍රිමි උවදුරට ගොදුරුවිය හැක. බිම වැටෙන සෙල්ලම් භාණ්ඩ මුව තුළ රඳා ගැනීමෙන් ද, අපවිත්‍ර අත්වලින්, පණු බිත්තර සහිත එළවළු, පලතුරු ආදියෙන්ද ශරීරගත වේ. මෙහි ලක්‍ෂණ ලෙස, පණු පිළවා පෙනහලු ආශ්‍රිතව ගමන් ගන්නා කාලය තුළදී කැස්ස ඇතිවේ. මද උණ තත්ත්වයක්ද පෙන්නුම් කරයි. අන්ත්‍රවලට පැමිණි පසු ලක්‍ෂණ ඇතිවේ. ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ නාභිය අවට ඇතිවන වේදනාවකි. ඔක්කාරය, ආහාර රුචිය, නිතර වතුර බීමට ද දරුවා පෙළඹේ. ශරීරය කැසීම, පලු දැමීම, පෙන්නුම් කරයි. වැඩිපුර ක්‍රිමීන් ඇතිවිට මල සමඟ පිටවේ. ආමාශය කරා වැඩුණු පණුවන් පැමිණුනහොත් උන් වමනය මගින් පිටවේ. දරුවා කෙට්ටුවන අතර කම්මැලි ස්වභාවයක් පහළ වෙයි.
* කොකු පණුවා
පණුවාගේ කටෙහි කොක්කක ආකාරයෙන් යුත් දළ ඇති බැවින් මෙම නම ලැබී ඇත. ජනගහණය අධික නොදියුණු සෞඛ්‍ය පහසුකම් අඩු පැල්පත් ආශ්‍රිතව වාසය කරන්නවුන් කෙරෙහි බහුලව දැකිය හැක. එසේම සාමාන්‍ය ජනයා අතර ද මෙකල මෙම කොකු පණු රෝග දැකිය හැක. ඒ ආහාරපාන සහ වැසිකිළි පහසුකම් පිළිබඳ නොසැලකිලිමත් වීමේ ප්‍රතිඵලයක් නිසාය. රෝගයෙන් පෙළෙන අයකු එළිමහනේ මලපහ කිරීමෙන් එම බිත්තර සහිත මල තෙතමනය සහ සූර්ය රශ්මිය රහිත පරිසරයකදී හොඳින් රෝපණය වී පණු පැටවා (පිලවා) එම ප්‍රදේශ කරා පැමිණ පාවහන් නොදමන්නන්ගේ ඇඟිලි කරු අතරින් ශරීර ගතවේ. ඉන්පසු බඩවැල්වලට ද අක්මාවටද පෙනහළුවලට ද ගමන් කරයි. පසුව අන්ත්‍රවලට පැමිණ බඩවැල්වල එල්ලී රුධිරය ආහාර වශයෙන් ගනී.
මෙහි ලක්‍ෂණ ලෙස, ශරීරය කහ පැහැයක් ඇතිවේ. උදරය මහත් වේ. කම්මුල් සුදුමැලිව පහළට එල්ලේ. නිදිමත ගතිය දරුවා කෙරෙහි පවතී. ආහාර අරුචිය, මන්දපෝෂන ලක්‍ෂණයන්ද දිස්වේ. හාල්, රටහුණු, ගල් අඟුරු ආදිය කෑමට ප්‍රිය වේ. පණු පිලවා ඇඟිලි කරු අතරින් ඇතුළු වූ පසු එම ඇඟිලි කරු අතර කැසීමක් ඇතිවේ. වැසි කාලවලදී මෙම පණුවන් ඇඟිලිකරු අතරින් සිරුරට ඇතුල්වීම වඩා සිදුවේ. දියමිටියා කෑම යනුවෙන් අප හඳුන්වන්නේ එබඳු පණු ප්‍රවේෂ ලක්‍ෂණයකි.
මෙම රෝගය වලක්වාලීමට වැසිකිළි භාවිතයට කුඩා කළ සිටම දරුවන් පුරුදු කළ යුතුය. පාවහන් පැළඳීම, පවිත්‍රව වාසය කිරීම, පුද්ගල සෞඛය රැක ගැනීමට උපදෙස් දිය යුතුය.
3. කිරි පණුවා
සූත්‍ර ක්‍රිමි නමින් හඳුන්වයි. වයස් භේදයකින් තොරව ලොකු, කුඩා කාට වුවද ඇතිවිය හැක. මහ බඩවැල ආශ්‍රිතව වාසය කරයි. වැඩුණු කිරිපණුවන් ගුද ප්‍රදේශයේ ඉහළ බාගයේ වාසය කරන අතර ගැහැනු පණුවා රාත්‍රි කල ගුද මගින් බාහිර ගුද ප්‍රදේශයට පැමිණේ. එක් අයකු මෙම රෝගයෙන් පෙළෙන්නේ නම් පවුල් බොහෝ සාමාජිකයන් කෙරෙහි නොදැනුවත්වම මෙම කිරිපණුගාය වැළඳේ.
ගුද මාර්ගයේ බාහිරට පැමිණි ගැහැනු පණුවා වරකට බිත්තර දස දහසක් පමණ හෙලයි. ගුද මාර්ගය අවට සිටීම නිසා එම ප්‍රදේශය කැසීම ඇතිවේ. රාත්‍රී නින්දේදී හෝ දිවා කාලයේ ගුද ප්‍රදේශයේ කැසීම නිසා පණු බිත්තර නොදැනුවත්වම නිය තුළට හෝ අත්වල ස්පර්ශ වේ. අත නොසෝදා ආහාර ගැනීමෙන්ද නින්දේදී ඇඟිලි කටේ දැමීම මගින් පණු බිත්තර ගිලී බඩවැල් තුළට යාමෙන් පණුවාගේ ජීවන චක්‍රය ආරම්භ කරයි.
මෙහි ලක්‍ෂණ ලෙස ළමයා නින්දෙන් දැගලීම, දත් කූරු කෑම, නිතර නුරුස්නා ගතිය, නාසය කැසීම ඇතිවේ. නියපොතු සැපීම, පණුවන් සමග මල පිටවීම වේ. ආහාරයට අරුචියක් දක්වන අතර බඩ කැක්කුම සහිතව මල පිටවේ.
4. කස පණුවා
කසයක ස්වරූපය ගන්නා බැවින් මේ නම ව්‍යවහාරයේ යෙදේ. මන්දපෝෂණ ස්වභාවය සමග අත්වැල් බැඳගත් ක්‍රිමි අවස්ථාවකි. පසෙහි වැඩෙන මේරූ බිත්තර ආහාර හා ජලය මගින් සිරුරට ඇතුළු වේ. මෙහි ලක්‍ෂණ, දෙයාකාරයකට පහළ වේ. අල්ප ක්‍රිමි ඇති වීම එතරම් සලකුණු නොපෙන්වයි. මල පරීක්‍ෂණයකින් පමණක් තේරුම් ගත හැක. බරපතළ ලෙස ක්‍රිමි වර්ධනයක් ඇතිවී තිබේ නම් උදරයෙහි වේදනාව, බර අඩුවීම, මල දියාරුවට වරින්වර පිටවීම, තැටමීම සහ හීදං සහිත ලේ මිශ්‍ර මල ද පිටවේ. තැටමීම හේතුවෙන් ගුදභ්‍රංස (මල මාර්ගය පිටතට පැමිණීම) විය හැක. ළමුන් මෙන්ම වැඩිහිටි අය කෙරෙහි මෙම කස පණු අවස්ථාව දැකිය හැක.
පොදු ක්‍රිමි ප්‍රතිකාර අභ්‍යන්තර ක්‍රිමි ඇති කල්හි තික්ත, උෂ්ණ, කටුක, රූක්‍ෂ, ලවණ ආදී රසද, ස්නේහ ස්වේද විධි (තෙල් ගෑම, දහඩිය දැමීම) ක්‍රිමි නැසීමෙහිලා උපයෝගී කරගත යුතුය.
බාහිර ක්‍රිමීන් ඇති විට මව සහ දරුවන්ගේ පවිත්‍රභාවය පවිත්‍ර වස්ත්‍ර පැළඳීම, සුවඳවත් චර්මාලේපයක් ගැල්වීම සුදුසුය.
ගුද ප්‍රදේශයේ කැසීම ඇතිවීම සහිඳලුණු මිශ්‍ර තලතෙල් ගුද ප්‍රදේශයේ ආලේප කළ යුතුය. පණුවන් නිසා අවස්ථානුකූලව ඇතිවන ක්‍රිමි වමනය, ක්‍රිමි අතීසාරය, ක්‍රිමිජ උදර ශූලය, ක්‍රිමිජ චර්මාබාධවලට සුදුසු පරිදි ප්‍රතිකාර කළ යුතුය. ඒ සඳහා අවස්ථානුකූලව කෂාය වර්ග, ගුලි, අරිෂ්ට, ආසව වර්ග, ලෞහ මිශ්‍ර බෙහෙත්, චූර්ණ වර්ග යෙදිය හැක.
ආයුර්වේද වෛද්‍ය එච්. ඖෂධී රාජපක්‍ෂ
ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව
නො. 726, නුවර පාර, තොරණහංදිය
කැලණිය.