හදවත සුරකින කැබැල්ල ව්‍යාංජනය

ඔසු ගුණ පිරිණු ව්‍යංජනයට ඔසුවක් සොයාගෙන ඉසිවර පාඨක ඔබ වෙනුවෙන් අපේ ගමේ සංචාරය නිරත මට හමුවුන අත්දැකීම් නම් බොහෝය.
එම වින්දනිය සොඳුරු මතකයන් මාත් සමඟ එකතු වී විඳගත්තා ඔබට මතක ඇති. පසුගිය මස මතකයත් සමඟ මේ ගමන යන්නේ සියනොරිස් මාමාගේ කොරටුව දිහාවට
සියනොරිස් මාමාගේ කොරටුවට යන්න ළඟම පාර ඇත්තේ ගිය මස අපේ ගමේ සංචාරයේ නැවතුන මේ අඹ ගහ ළඟ පහළට යන පාරෙන් ඇලෙන් එගොඩට වෙන්න ගමන පිටත්වෙලා ටික දුරක් ගිය ගමන් විඩාව දැනුනේම නැහැ ඒ තරමටම උඳුවප් සීල සුළං දසත හමා යනවා.


ගමන පිටත් වී ටික දුරක් ගිය විට මාර්ගය දෙපස ඉතා උසට වැඩුණු මාදං ගස් කීපයකි. කුරුල්ලන් කා දමන ලද මාදං ගෙඩි පාර පුරා විසිරී ඇත. පාර දෙපසට වී ඉගිල්ලෙමින් කෑ මොර දෙන ගිරා රෑන නද දෙන මිහිරි නාදය පරිසරයේ දිගු නිහඬතාවය බිඳලන අපූරුව මට විටෙක මෙසේ සිතෙයි
පංච රසයෙන් අනූන ශබ්ද රසය සෑම සත්වයකුගෙම සුවපත්භාවයට අවශ්‍ය රසයක් බව හඳුනා ගත්තේ ද පරිසරයට ඇලුම් කරන්නෙක් නිසාවෙනි.
මේ සිතුවිලි සිත තුළ දොඩමළු වෙද්දී මේ සංචාරය මාදං ගස් ඉදිරියේත්, ටිකක් ඈතට වෙන්න සරුවට වැඩුණු කැබැල්ල පඳුර ළඟින් මගේ දෙපා නතර විය. මෙම මස රස ගුණ පිරි ව්‍යංජනයට අවශ්‍ය කැබැල්ල දළු අමාරුවෙන් කඩා ගත්තේ ද පැණි කුරුල්ලන්ගේ කුරුළු කූඩුවක් ඒ අසලම හදා තිබුණ නිසාවෙනි. පරිසර සුන්දරත්වය විඳිමින් අනෙකුත් සත්වයනට ආදරය කරමින් මේ ගමන් මගේ නැවත හමුවෙමු.
කැබැල්ල ශාකයේ උද්භිද විද්‍යා නාමය
Aporusa lanceolata (Tul) Thus හීං කැබැල්ල ශ්‍රී ලංකාවට ආවේනික ශාකයෙකි. තේ පඳුරක කොළ හා දළු කැබැල්ල කොළ සාමාන්‍ය මෙය පඳුරු වශයෙන් වැවෙන ශාකයකි. අඩි 10 කට වඩා උස් නොවේ. කැබැල්ල ශාකයේ ද්‍රව්‍ය ගුණ අප්‍රකටය.
ප්‍රධානකර්ම වශයෙන් කැබැල්ල මුත්‍රකාරකය රක්ත ශෝධකයි. රුධිරයේ මේද අධික වූ විට නහරවල තෙල් බැඳීම හෘද අපහසුතා සඳහා ගුණ දෙන කැබැල්ල ඖෂධීය ගුණයෙන් ඉහළ ශාකයෙකි. තවද පනු රෝග නසන බඬේ අජීර්ණ ආම රෝග නසන දිව ඔසුවකි.
මෙවන් ඔසු ගුණ පිරි කැබැල්ල ව්‍යංජනය හදන හැටි මෙන්න
ව්‍යංජනයට අවශ්‍ය දෑ
පිරිසිදුව කඩා සෝදාගත් කැබැල්ල (උණු දියේ දමාගත්) ගා ගත් පොල් මිටිකිරි උම්බලකඩ (නිර්මාංශ නම් නොගන්න) රතු ලූනු ගෙඩි 10-12, අමු මිරිස් කරල් 04, කරපිංචා, රම්පා, උළු හාල්, කහ කුඩු, අමු මිරිස්  කුඩු, තුන පහ කුඩු – අවශ්‍ය ප්‍රමාණයට
ලුනු ස්වල්පයක්
සාදා ගන්නා පිළිවෙළ
පළමුව සෝදා කපාගත් රතු ලූනු ද අමු මිරිස් කරල් කරපිංචා, උළු හාල්, උම්බලකඩ, අමු මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, අවශ්‍ය ප්‍රමාණයට ගෙන භානයකට දමා එයට මිරි කිරිද අවශ්‍ය ප්‍රමාණයට ලුනු ද කපා උණු දියේ දමා ගත් කැබැල්ල දලු ද එකතු කර කලවම් කර ලිප තබන්න. හොද්ද හොඳින් තැම්බුණු පසුව ව්‍යංජනයේ ලුනු රස බලා ලිපෙන් බා අනෙකුත් ආහාර සමග රස විඳින්න.
ඉසිවර අරණ ඔසු ගුණ මන                   පුබුදන
මතුකර මිහිර ගෙන ඔසු රස                 පවසන
පුවතකි සැමට ඉසිවර මත                    සපුරන
හෙළයට එකයි වෙද සතරම                සරසන
පාරම්පරික දේශීය වෛද්‍ය
අනුර කමල්සිරි පීරිස්
‘ඉසිවර අරණ’ ඔසුතුරු කේන්ද්‍රය
මොරවින්න – පානදුර
0773549416