ඇදුම රෝගය

ඇදුම රෝගය අද ලාංකිකයන්ට බහුලව වැලඳෙන රෝගයක් බවට පත් වී ඇත. මෙම රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ අප වටා ඇති පරිසරයේ දූෂිතභාවයයි. පරිසරය දූෂණය වීම නිසා ආශ්වාස කරන විට දූෂිත වායුවේ සංඝටකයන් පෙනහලු තුළට ගමන් කරයි. ඒ තත්ත්වය නිසා ස්වාස නාලිකා අසාත්මික වී ආශ්වාස කිරීමට නොහැකි තත්ත්වයක් උදාවේ.


ඇදුම රෝගය යනු පෙනහලු තුළට වාතය ගෙන යන ස්වාසනාල වල ඇති වන දිගුකාලීන ප්‍රදාහයකි. එය ස්වාසනාල වල ඇතිවන අසාත්මිකතාවයක් වශයෙන් ද හැඳින්විය හැකි. අප ආස්වාස ප්‍රාස්වාස කිරීමේදී වායුගෝලයේ ඇති ඔක්සිජන්වලට අමතරව පරිසරයේ ඇති දූෂිත අහිතකර දේ ස්වාසනාලිකා ඔස්සේ පෙනහලු තුළට ඇතුල් වේ. ස්වාසනාලිකා පද්ධතිය ඉතා සංවේදීය. මේ දූෂිත වායුව ඒ හා ගැටීමේදී ස්වාස නාලිකා රසායනික ප්‍රතික්‍රියාවන්ට ගොදුරු වී අධික ලෙස සෙම ස්‍රාවය වන්නට පටන්ගෙන ස්වසන මාර්ගයේ අභ්‍යන්තර සෛල ස්ථර ඉදිමීමකට ලක්වේ. එවිට ස්වසන මාර්ගයේ පිට පැත්තේ පේශි හැකිලී පෙනහලුවලට වාතය ගමන් කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරී හුස්ම ගැනීමට අපහසු වෙයි. ඇදුම රෝගය ලෙස හඳුන්වන්නේ මෙයයි.
මෙම රෝගය පරම්පරාවෙන් පරම්පරාවට ද ඇතිවිය හැකි රෝගයකි. ඇතැම් විට පවුලේ එක් අයකුට වඩා ඇදුම රෝගයෙන් පීඩා විදී නම් පවුලේ තවත් අයකුට ඇදුම රෝගය වැලඳීමට අවදානමක් පවතී. කෙසේ වුවත් ඇදුම රෝගියකුගෙන් නිරෝගී අයකුට රෝගය බෝවන්නේ නැත. එහෙත් මෙම රෝගය සුළු රෝග තත්ත්වයක සිට දරුණු රෝග ලක්‍ෂණ දක්වා වෙනස්විය හැක. දරුවන් සහ වැඩිහිටියන් බහුලව මෙයට ගොදුරු වන අතර පිරිමින්ට වඩා කාන්තාවන්ට රෝගය ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය.
ඇදුම රෝගයේ ලක්‍ෂණ
* කිවිසුම් යාම සමඟ උගුරේ සෙම පැටලෙන ස්වභාවයක් ඇතිවීමත් සමඟ හතියක් ඇතිවෙනවා නම් එය මූලික ලක්‍ෂණයක් ලෙස හැඳින්විය හැක.
* හුස්ම ගැනීමට අපහසු වීම
* පපුව හිරවීම හා තද ගතිය
* වියලි කැස්ස සහ සෙම සහිත කැස්ස
* හුස්ම ගැනීමේ අපහසුතාවය සමඟ ඇතිවන රාං – රූං ශබ්දය.
* කැස්ස සමග ඇතිවන පපුවේ රාං – රූං ශබ්දය
* නාස් කුහරය ඉදිමීම.
දවසේ උදේ කාලයේ සහ රාත්‍රි කාලයේ රෝග ලක්‍ෂණ වැඩි විය හැකිය.
ඇදුම රෝගය සෑදීමට හේත:
* බර, රළු හා සීත ගුණ ඇති ආහාර පාන ගැනීම
* සීත ජලය ස්නානය.
* දුම සහ දූවිලි ආග්‍රාණය වීම.
* අධික බර ඉසිලීම
* මළ, මුත්‍ර වේග දරා සිටීම
* පෝෂණ හීනතාවයෙන් පෙළීම
* අව්වේ සිටීම, ගමන් විඩාව
* මකුළු දැල් දූවිලි
* සීත කල කෑම බීම ගැනීම
* අලුයම සහ රාත්‍රි ස්නානය
* රාත්‍රි නිදි වැරීම
* දහවල් නිදාගැනීම
* මළ බද්ධය
* පණු රෝග
* උදරාබාධ
නිතර පවතින ප්‍රතිෂ්‍යාව ඇදුම රෝගයට හේතුවේ. එමෙන්ම, ජානමය හේතූන් මතද මෙම රෝගය වැලඳේ. (තාත්තා, අම්මා, ආච්චි සීයාට ඇදුම තිබීම) එසේ නැතිනම් ඔවුන්ට පීනස – දද – සමේ රෝග තිබීම
* සිගරැට් දුම
* පාරිසරික තත්ත්වය
* අධික සීතල දේශගුණය, වියලි දේශගුණයේ සිට සීතල දේශගුණයට මාරුවීම
ඇදුම රෝගයට ඍජුව බලපාන පාරිසරික ගැටලු
නිවසේ ඇති දූවිලිවල ඇසට නොපෙනෙන කෘමීන් ඇත. ඔවුන්ගේ අසුචී ආග්‍රහණය වීම එක් හේතුවකි. ලෝම සහිත සෙල්ලම්බඩු පුළුන් වලින් සෑදූ සෙල්ලම්බඩු, ලෝම සහිත බුමුතුරුණු, නිදන ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට මේ සියල්ලෙහි කෘමීන්ගේ අපද්‍රව්‍ය රැඳී තිබීමට පුළුවන.
* සුරතලයට නිවසේ ඇතිකරන බල්ලන්, පූසන්ගේ ලෝම ආග්‍රහණය වීම ඇදුම රෝගයට තවත් හේතුවකි. කුඩා දරුවන්ට බල්ලන්, පූසන් වැනි සතුන් තුරුලු කරගෙන සිටීමට ඉඩ දීමෙන් වැළකීම වඩාත් සුදුසුය.
* මානසික ගැටලු නිසා ඇදුම රෝගය වැඩි වේ.
* පාසල් ළමුන් අතර ඇතිවන අඩදබර, මානසික ප්‍රශ්න, ගුරුවරුන්ගේ හෝ මිතුරන්ගේ සමච්චලයට ලක්වීම
ඇදුම රෝගය උග්‍ර කරන රැකියා සහ වෙනත් අවස්ථා:
* කුකුල් ගොවිපලවල්වල සේවය කිරීම.
* ඇඟලුම් කම්හල්වල සේවය කිරීම
* බල්ලන්, පූසන්, පක්‍ෂීන් වැනි සුරතල් සතුන් ඇති කිරීම
* යන්ත්‍රානුසාරයෙන් ගොයම් කැපීම සහ පෑගීම
* වායුසමීකරණය කරන ලද කාර්යාල වල සේවය කිරීම.
* මුඛය සහ නාසය ආවරණය කර නොගෙන නිවාස අතුගෑම සහ පිරිසිදු කිරීම.
* උදේ පාන්දර සහ සවස් කාලයේ ස්නානය කිරීම.
* දුම් පානය කිරීම
* මත්පැන් පානය
* අධික ලෙස ව්‍යායාම කිරීම
ඇදුම රෝගයෙන් ආරක්‍ෂා වීමට කළ යුතු දේ
සෙම් කෝප කරවන ආහාර පාන වලින් වැලකීම, බෙහෙවින් වැදගත් වේ. තමන් පරිහරණය කරන කොට්ට, කොට්ට උර, ඇඳ ඇතිරිලි මෙන්ම නිදන කාමරය පිරිසිදුවත්, දූවිලි රහිතව තබා ගැනීම සිදුකළ යුතුය.
ඇදුම රෝගියකුගේ දෛනික කටයුතු සකසා ගතයුතු ආකාරය:
* බොහෝ දුරට අලුයම අවදිවීමෙන් වැලකී සිටීම සහ රාත්‍රි නිදි වැරීමෙන් වැළකීම.
* සීතල, පින්න සහ මීදුමින් ආරක්‍ෂා වීම
* උදේට හීල් බත්, සීතල වූ ආහාර, එළකිරි, කිරිබත් නුසුදුසය.
* මුහුණ සේදීමට උණු වතුර භාවිතා කිරීම
* රෝගී තත්ත්වය බරපතළ නැතිනම් හොඳින් ඉර අව්ව ඇති උදේ 11-12 ත් අතර නෑම
* මෙම රෝගීන් ජලයේ ගිලී නෑමෙන් වැලකී භාජනයකින් හිසට ජලය වත්කරගෙන නෑම වඩාත් යෝග්‍ය වේ.
* රාත්‍රියට සැහැල්ලු ආහාරයක් හැකිතාක් වේලාසනින් ගැනීම සුදුසුය.
* ප්‍රධාන ආහාර වේල්වලට අමතරව වරින් වර ආහාර ගැනීම සුදුසුය.
ඇදුම රෝගීන්ට සුදුසු ආහාරපාන:
බෝංචි, කැරට්, පරිප්පු, කඩල, එළබටු, වැටකොලු, පතෝල, හාල්මැස්සන්, කුඩා මාළු, තෝර මාළු, ගොටුකොළ, කිරිඅඟුණ දළු මැල්ලම්, තැම්බූ හාලේ බත්, මිදි, රටඉඳි, උක් දඬු, බාර්ලි, ඉඟුරු දැමූ තේ.
නුසුදුසු ආහාර:
කොස්, දෙල්, කිරි අල, පාන්පිටි මිශ්‍ර කෑම වර්ග, අන්නාසි, තක්කාලි වැනි අධික ඇඹුල් සහිත එළවළු හා පලතුරු, අළුකෙසෙල්, අලු පුහුල්, නිවිති, සාරණ, තැඹිලි කුරුම්බා, හරක් මස්, ඌරු මස්, බල මාළු, හුරුල්ලන්, ඉස්සන්, දැල්ලන් ආදී සැර මාළු වර්ග අයිස්ක්‍රීම්, සිසිල් බීම, ශීත කළ පලතුරු බීම වැනි අධික සීතල පාන වර්ගයන්.
කිරිපිටි අධික ලෙස පානය කිරීම සුදුසු නැත. එමගින් ශරීරයේ සෙම වැඩි විය හැකි බැවිනි.
ඇදුම රෝගයට පිළියම්
* උණු වතුර පානය
* වාෂ්ප දුම ඇල්ලීම
* එසේම විවිධ කෂාය වර්ග, ගුලි, පැණි වර්ග, මේ රෝගයට ඇත. ඒවා වෛද්‍ය උපදෙස් පරිදි ගැනීම කළ යුතුය.
* එසේම සුදුසු තෙල් වර්ග පපුවේ හා බෙල්ලේ ගා පිරිමැදීම. (මෙමගින් සෙම බුරුල් වී ස්වසනයට පහසුවක් ලැබේ.)
මෙම රෝගය හදිසි මාරක රෝගයක් නොවන මුත් ආයුෂ කෙටි කරන පීඩාකාරී රෝගයකි. නිතර ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන්ගේ වැඩීම බාලවේ. මෙම රෝගය වරක් සෑදුන විට නැවත ඇතිවිය හැක.
ප්‍රතිකාර කිරීමේදී පලපුරුදු සුදුසු වෛද්‍යවරයකුගේ සේවය ලබාගැනීම සහ නියමිත වෛද්‍ය උපදෙස් පිළිපැදීම සිදුකළ යුතුය.
ආයුර්වේද වෛද්‍ය,
එච්. ඖෂධී රාජපක්‍ෂ
ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව,
නො. 726, නුවර පාර, තොරණහන්දිය,
කැලණිය.