කෝවක්කා ව්‍යාංජනය ලෙඩ ගොඩකට හොඳයි

koඔසු ගුණ පිරි ව්‍යංජනයට ඔසුවක් සොයා ඇවිද යන අපේ ගමේ සංචාරයේ ලබැදි රසභාවයන්ගේ අපූරු ඉතුරුව ඉසිවර පාඨක ඔබට තිළින කරමි.
මේ මස සියනොරිස් මාමාගේ කොරටුවට යන ගමන් මග වෙනස් කරන්න සිදුවිය. නමුත් එන මස මාමාගේ කොරටුවට යන අදිටනින් දුරුතු මස අපේ ගමේ සංචාරය හීන් අම්මාගේ වත්ත පහළට ඇවිදගෙන යන මේ ගමන.


මේ යන්නේ හීන් අම්මාගේ වත්ත පහළ සරුවට වැඩුණු ලතාව හොයාගෙන. ඔව් මට මතකයි ඒ චමත්කාර ප්‍රිය දසුන මා සිත කොනිත්තද්දී මලින් පිරුණු සුදු මල් වැට කොන් අවට සරසද්දී ඈතින් පෙනෙන බට පඳුර සුළං සැරට සර සර ගාද්දී, ඒ හමා එන සුළං රැළි මා ගතේ දැවටෙද්දී දැනුණ සනීපය නිසා තද අව් රශ්මිය දැනුනෙම නැහැ.
මා දෑස් මානේ පෙනෙන විශාල වෙරළු ගහේ වෙරළු මල් කොළ අග අතු සරසන ඒ අපූරු දසුන මා නෙතින් විඳ ගත්දී මා නෙතට විඩාවක් දැනුනේම නැහැ. මේ දකින දසුන් තුළ තිබෙන පරිසරයේ චමත්කාරය ඒ ගුණ සුවඳ විඳිනා මේ ලොවේ මිනිසුන් වේද සතුටිනා මේ වදන මා කට පුරා මුමුනද්දී වෙරළු ගහ මුදුනේ අතු පතර තරගෙට එහේ මෙහේ පියාඹගෙන යන බට්ටිච්චන්ගේ, පැණි කුරුල්ලන්ගේ නාදයේ මිහිර අවට පරිසරයේ නිහඬ බව විඳිති.
එහෙත් එකෙක් පරදා තවකෙක් දුව පැන යන ලේනන්ගේ විසේකාර බව සොඳුරු රසභාවයකි.
ඒ අසලම වෙරළු අත්තක වෙළී සිටින ගැරඬියකුගේ ඒ කුරුමානම ආහාරදාමයක නිමිත්තක්වද්ද? කියාපාන සේයාවක් විය හැකිද නොහැකිද යන්න තේරුම් ගැනීමට නොහැකි වනසේ ඌ නිසොල්මන්ව බලා සිටී.
ගොදුරක් ගිල ඇති හැටියක් පෙන්වයි. ටිකක් ලංවී බැලූ විට එය පැහැදිලි විය.
එම දසුනින් ඈත් වී ඉදිරිපස බිම් තීරුව වසාගෙන සරුවට වැඩුණු කෝවක්කා ලතාව සුදු මලින් පිරී ඇත.
සරුවට වැඩුණු කෝවක්කා ගෙඩි කීපයක් කඩාගත්තේ අතු අග වැලෙහි කොළ අතර කඩිසරව ඇවිද යන කුහුඹුවන්ට අනතුරක් නොවන ලෙසය. කුහුඹුවන්ගේ කඩිසර බව එකමුතු බව කෝවක්කා ලතාව පුරාවටම දැකගත හැකි විය.
මේ දසුන් මන බඳින පරිසරය විඳි මිනිසකුගේ සිත සතුටිනා. එසේ නම් මේ රසවත් ව්‍යංජනයේ රස බලන ගමන් ගුණ දැන ගනිමු ඉසිවර සමඟ රැඳී සිටින්න.
දේශීය වෙදකමේ මධුමේහය හෙවත් දියවැඩියාව ඇතුළු රෝගාබාධයන් රාශියකට යොදාගත හැකි අගනා ඖෂද පැළෑටියක් ලෙස කෝවක්කා හඳුනාගත හැක.
ආරෝහන ලතා විශේෂයක් වන කෝවක්කා ඉන්දියාවේ සෑම ප්‍රදේශයකමත් බෙංගාලය සහ බිහාර් ප්‍රාන්තවලත් ශ්‍රී ලංකාවේත් බහුල ලෙස වැවෙන ප්‍රකට ඖෂධීය ශාකයකි.
කෝවක්කා ලතාවේ ස්වභාවය
වර්ෂා කාලයේදී පැතිරී වැවෙන සහ ආරෝහණ ලතා විශේෂයකි. මෙහිදී කටුක රසයෙන් හා මධුර රසයෙන් යුක්ත පැළෑටි වර්ග 2 ක් ඇත. ඒවා පිළිවෙළින් වනය හෙවත් වනගතව වැවෙන සහ ග්‍රාම්‍ය හෙවත් ගම්වල වැවෙන වර්ගයයි. මේ වර්ග දෙක අතුරින් ඖෂධ සඳහා ගනු ලබන්නේ වන්‍ය වර්ගයයි. එහි පංචංගයම තික්ත රසයෙන් යුක්ත වේ. අනෙකුත් වර්ග ග්‍රාම්‍ය වර්ගය ආහාර සඳහා ගන්නා වර්ගයයි. තවත් විටෙක මෙසේ සඳහන් වේ.
1. මධුර බිම්බි
2. තික්ත කුණ්ඩි වශයෙනි.
මධුර බිම්බි කෝවක්කා මෙහි ගෙඩි අමු අවස්ථාවේ කිරි රසයෙන් ද ඉදුණු විට මිහිරි රසයෙන් ද යුක්ත වේ.
උද්භිද විද්‍යා නාමය – Coccinia Grandis(L) (Voight)
සිංහල නාමය – කෝවක්කා
සංස්කෘත නාමය – බිම්බා, බිම්, තුම්බි පර්ණි
දෙමළ නාමය – කෝවයි, ක්වායි.
හින්දි නාමය – කන්දුර්
ඖෂධීය ගුණ කර්ම – අතීතයේ සිටම කෝවක්කා ඖෂධ යෝග සඳහා යොදා ගෙන ඇති බව චරක සුශ්‍රැත ආදිසංහිත ග්‍රන්ථ පරිශීලනයේදී පැහැදිලි වේ. ඊට අමතරව ධනවන්තරි නිඝණ්ඩුවේ සහ කෛයදේව නිසන්ඩුවේ කෝවක්කා ගුණ සඳහන් වේ. වමනාදී ගුණයට කෝවක්කා අඩංගුවේ.
කෝවක්කා ගුණ කර්ම ඖෂධීය වශයෙන්
රසයෙන් – තික්ත කටුක කෂායද
ගුණයෙන් – ලඝු රුක්ෂ සහ තික්ෂණ ද වෙයි
විර්යෙන් – උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ.
දෝෂ අනුව සැලකීමේදී – මෙය සෙම් පිත් නාශක ද්‍රව්‍යයකි. වමනයෙන් සෙමත් විරේකයෙන් පිතත් බැහැර කරයි. මෙම නිසා සෙම් පිත් රෝගවලදී ප්‍රයෝග කරනු ලැබේ.
ඖෂධ සඳහා භාවිතා කරන පිළිවෙළ – පංචංගයම ගත හැක. මුල් කොළ සහ දඬු ද ගෙඩි භාවිතා කරන අවස්ථා ඇත.
කෝවක්කා මැල්ලුම රසවත් පළාවකි.
ඉඳුණු ගෙඩි රසවත්ය. කෑමට සුදුසු වේ.
මධුමේහය හෙවත්, දියවැඩියාව, සෙම් රෝග පිත් රෝග නසන රෝග රැසකටම ගුණ දෙන කෝවක්කා ගෙඩි ව්‍යාංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
අවශ්‍ය ප්‍රමාණයට කෝවක්කා ගෙඩි, පොල්, පොල් කිරි කෝප්ප 1, (මිටි කිරි), රතු ලූනු 05, අමු මිරිස් කරල් 3, කරපිංචා, රම්පේ, උළුහාල්, කුරුඳු පොතු, අමු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, (ලුණු ස්වල්පයක්) ව්‍යංජනයට අවශ්‍ය ප්‍රමාණයට ස්වල්පයක්
සාදා ගන්නා පිළිවෙළ – අවශ්‍ය පමණට සෝදා ගත් කෝවක්කා ගෙඩි කැබලි භාජනයකට දමන්න ඉන් පසුව එය කපා ගත් රතු ලූනු, අමු මිරිස් ද දමා උළුහාල්, කරපිංචා, රම්පේ ද, එකතු කර එයට කුරුඳු පොතු ද දමා අමු මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු ද, තුනපහ කුඩුද, එකතුකර පොල් කිරි (දිය කිරි දමා පළමුවෙන්ම) ඊට පසුව මිටි කිරි ද එකතු කර හොද්ද උතුරන තුරු තබා ලුනු ස්වල්පයක් එකතු කර තැම්බුණු පසුව ලිපෙන් බා අනෙකුත් ආහාර සමඟ රස විදින්න.
ඔසුවක රස ගුණ බලන්න බක් මස හමුවෙමු.
ඉසිවර සමඟ එතෙක් ඔබට ජය සතුට
ඉසිවර අරණ ඔසු ගුණ මන    පුබුදන
මතුකර මිහිර ගෙන ඔසු රස    පවසන
පුවතකි සැමට ඉසිවර මත    සපුරන
හෙළයට එකයි වෙද සතරම    සරසන
දේශීය පාරම්පරික වෛද්‍ය
අනුර කමල්සිරි පීරිස්
ඉසිවර අරණ, මොරවින්න පානදුර
07735495416