ප්‍රේත තටුවේ ඇති දේ කෑවොත් සිදු වන දේ භයානකයි

භුත විද්‍යාවේ දී විශේෂයෙන් සිදු කෙරෙන්නේ ශාන්තිකර්ම පිළිවතයි. එයට ඖෂධ යොදා නොගත්තාට ඒ ඒ යක්ෂ කොටස් වෙනුවෙන් දොළ පිදේනි ගොටු තටු දෙනවා. එක් එක් පරම්පරාවල් වල නොයෙක් ක්‍රමවේදවලට පිළිවෙත් යොදා ගන්නවා. නූලක් බැඳලා යන්ත්‍රයක් දමලා භුත රෝගය අඩු කරන්න අවස්ථා තිබෙනවා.

තව විදිහකට මල් යහන් හදලා පස් ගැබේ පිදේනිය ආදී නොයෙක් පිදේනි තටු හදා දෙන ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. මේවා සියල්ලටම 25 පස් මාළුව හත් මාළුව පුළුටු වර්ග කුකුලෙක් එහෙම බිල්ලට ගන්නවා. කොඩිවිනයක් නම් පුහුල් දෙහි ආදිය කපලා දොළ පිදේනි දීලා අමනුෂ්‍යයා අයින් කරන පිළිවෙත් තිබෙනවා. තවත් සමහර අය නූල්වලට අමුනුෂ්‍යයා ගන්නවා. බෝතලයට අමුනුෂ්‍යයා ගන්නවා. මේ වගේ විවිධ ක්‍රමවේදයන් භාවිතා කරන පරම්පරාවල් රටේ සිටිනවා.
මේවා ඒ අයගේ පරම්පරාවේ පළපුරුද්ද අනුව තමයි කෙරෙන්නේ. නමුත් මෙම ශාන්තිකර්ම කරන්නෙත් එක්කෝ සූනියමක් ඉනාවක් වසක් විසක් දීපු දෙයක් ඉවත් කිරීමට එසේත් නැත්නම් ශරීරයට අරක්ගත්ත භුතයන් පළවා හැරීමකට බන්දනය කිරීමකට ආදී කටයුත්තකටයි. පහළ කවි පන්ති සතරින් ශාන්තිකර්ම කරන අන්දම පැහැදිලි කරමු.
අට කොන හිමි නැති ගෙවල    යකායේ
එකතුව වෙන යකු නොව පුද     කායේ
අටවිසි මුණි අණ නොම නොද    නීයේ
මෙ පුද ගන්නට වර ගෙවල     යකායේ

දෙන්ඩ තොපට නිසි පුද     සරසාලා
කන්ඩ කැවිලි බොජුනුත්     සරසාලා
දෙන්ඩ එයම රජු අණ     පිහිටාලා
යන්ඩ වරෙන් ආතුර     හැරදාලා

ගෙන්නා තොප අද මෙතන    බොලල්ලා
දෙන්නා දොල පුද රිසි ලැබ     ගල්ලා
දැන් මේ යම රජු අණ     අහපල්ලා
පන්නා ආතුර ලෙඩ හැර     පල්ලා
වසර දහස් ගණනක් පැරණි විද්‍යාවක් තමයි මේ කටයුත්තේ දී භවිතා කරන්නේ. ඒ කාලේ ඇඳුරෝ හරියට පේවෙලා තමයි මේ කටයුත්ත කළේ. අද සමහර ඇඳුරෝ යකාට දෙන අරක්කු ටිකත් බීලා තමයි මෙම ශාන්තිකර්මය පටන් ගන්නේ. බෙර ගහන මිනිහත් පදමට ගහලා තමයි බෙර ගහන්නේ. භූත විද්‍යාව පියවි ඇසට පේන විද්‍යාවක් නොවෙයි. පිදේනි තට්ටුවක් දෙනවා යයි කිව්වාම එම භුත කොටස හරියට සතුටු වෙනවා. මොකද ඒක ඒ අයට කැප කරලා දෙන දානයක් හා සමානයි. මේ ආහාරය ගත්තාම එදාට ඒ භූත කොටස්වලට හරියට කුස පිරෙන්න ආහාරයක් ලැබෙනවා.
එනිසා පිදේනි තට්ටුවක් අඩගහලා දෙනකොට ඒ පළාතෙම ඉන්න භූත කොටස් මේ අවස්ථාවට පැමිණෙනවා. මේ සුන්දර අවස්ථාව දැක ගන්න. කුස පුරවා ගන්න. ඒ අවස්ථාවේ ඒගොල්ලො නටනවා සිංදු කියනවා හරියට විනෝද වෙනවා. අනිත් හැම අවස්ථාවකම ඉන්නේ දුකින් බඩගින්නෙන් සා පිපාසාවෙන්. ඒ හේතුව නිසාම තමයි පෙරේත කොටස් සිටින ගෙවල් දොරවල් වල දියුණුව නැත්තේ. මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයා කාල බීලා ඇඳලා ඉන්න කොට අමුනුෂ්‍යයාට ඒ තත්ත්වය නැති නිසා ඒ අය හූල්ල හූල්ල ඉන්නවා. සමහර අමනුෂ්‍යයෝ නිරුවතින් ඉන්නේ. ගඳ ගහනවා කැහි සොටු අසූචි ගොඩවල් වල තුවාල වල දුගඳ හමන තැන් වල ඉන්නවා. ඒක ඒ කොටස් වල ස්වභාවය නමුත් ඒ අය දන්නවා ඒ අය මනුස්ස ලෝකේ කොහොමද හිටියේ කියලා. මේ තටුව බොහෝ විට දෙන්නේ ප්‍රේතයන් උදෙසා ඇයි අද කාලේ මනුෂ්‍යයා මිය ගියාම කළ අකුසල් නිසා ප්‍රේතයෝ වෙලා තමයි උපදින්නේ. ඒක තමයි අද සොයාගෙන තිබෙන අලුත් තත්ත්වය. දැන් යක්ෂ කොටස් බොහොම අඩුයි.
ඒ අය වෙනුවෙන් දොළ පිදේනි දීලා සතුටු කරලා අයින් කරලා දැමීම තමයි ඇඳුරෝ කරන්නේ. නමුත් ඇඳුරා ප්‍රේතයාට දෙන සුරාවත් බිව්වාම ප්‍රේතයා කල්පනා කරනවා මුන් අපටත් වැඩිය දුර්වලයි. කියලා මේ හේතුව නිසාම මේ ඇඳුරාගේ මන්ත්‍ර ඇහෙන්නෙත් නැහැ. මන්ත්‍ර කර්මය කරන්න බැහැ. මේ හේතුව නිසාම සාස්තරයත් හරියට බාල්දු වෙනවා. අනිත් පැත්තෙන් තවත් කොටසක් ඉන්නවා පිදේනි තට්ටු හන්දිවලට ගෙනිහිල්ලා ඒකේ පුළුටු ඔක්කොම ටික කාලා රා අරක්කු ටිකත් බොනවා. තට්ටුවට භාර කරලා ඉන්න කුකුළත් ගෙන ගිහිල්ලා මරාගෙන කනවා. ප්‍රේතයා එම ආහාරවලට බැල්ම හෙලාගෙන ඉන්නේ. ඒවා කෑවාම වමාරන්නත් වෙනවා. එහෙම නැත්නම් මෙම ප්‍රේතයා අර මිනිහාගේ ඇඟට තරහට යනවා. ප්‍රේතයා හන්දියට ගෙන ගොස් දාන්නේ එතනට භාර කරලා ආයේ හිටපු තැනට යන්න බැහැ. ප්‍රේතයා මෙය අවස්ථාවක් කරගෙන අර තටුව කාපු මිනිහගේ ඇඟට ගියාම ඒ මිනිහට වෙන හූනියමක් කරන්න ඕන නැහැ. මේ හූනියම ඇති ප්‍රේතයා ඇඟට වෙලා මිනිහා බේබද්දා කරලා නැත්තටම නැති කරලා දානවා.
වරක් යමක් කමක් තිබෙන පවුලක ඉලන්දාරියෙක් හිටියා. මිනිහට දරුවො දෙන්නෙකුයි රූමත් බිරිඳකුයි හිටියා. මේ පවුල මා හොඳට අඳුනනවා. දිනක් මේ බිරිඳගේ මව මා ළඟට කලබලයෙන් වගේ ඇවිත් මට කියනවා අනේ වෙදමහත්තයා අපේ බෑනා අර ප්‍රේත තටුවක හිටිය කුකුළෙක් මරාගෙන කෑවා. අපේ දුවත් ඒ මස් කෑවා මම ඔය වැඬේ කරන්න එපා කිව්වට ඇහුවේ නැහැ. දැන් දුවට මාසේ අර්තවය සිදුවෙලා හරියට ලේ යනවා දවස් කිහිපයක් වෙනවා. කියා බෙහෙත් ගත්තා කිසිම සුවයක් නැහැ. බෑනාත් ටිකක් අන්ද මන්ද වෙලා තමයි ඉන්නේ මට හිතෙනවා අර කුකුළා මරන්කාපු එකේ ප්‍රශ්නය කියලා. පස්සේ මම නූලක් මතුරලා බඳින්න කියලා අලුත් මුට්ටියක් ගෙන්වලා එහි යන්ත්‍රයක් ඇඳලා ජීවන් කරලා දුන්නා. එම මුට්ටියේ උයන් කෑවම අර්තව නතර වෙන්න. මේ කාර්ය කරලා මට ඇවිත් ගුණ අගුණ කියන්න කිව්වා. පසුව අර මව පහුවෙනිදා මට කියනවා වෙදමහත්තයා එම නූල බැන්ඳා හට්ටියේ කෑම උයලත් දුන්නා. දැන් ලේ යාම නතර වුණා. නමුත් බෑනාට බඩ යනවා කියලා කිව්වා. මම කිව්වා ඔය ජරා වැඩ කරන නිසා ටිකක් විඳවන්න අරින්න කියලා නමුත් මෙම මවගේ ඉල්ලීම නිසා නූලක් මතුරලා බඩට බෙහෙත් දීලා පිටත් කළා.
පසුව ටික කලකින් ආරංචි වුණා එම පවුල කැඩිලා බිඳිලා දෙන්නා වෙන් වෙලා කියලා. මේ තත්ත්වය තමන් විහින් කර ගත්ත ඒවා අමුනුෂ්‍යයාට දෙන දේත් මනුෂ්‍යයා කනවා බොනවා නම් ප්‍රේතයන්ට වඩා දුර්වල මනුෂ්‍යයෝ පිරිසක් තමයි මනුෂ්‍යයන් වී ඉන්නේ. එනිසා බීගෙන එන ඇඳුරෝ බෙරකාරයෝ කොහොමද මේ ඇසට නොපෙනෙන භූත ලෝකෙත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්නේ. භූත විද්‍යාව කරන ඇඳුරෝ ප්‍රඥාවන්තයන් විය යුතුයි. පළපුරුදු ඇඳුරෙක් වෙන්න වයස පනහවත් පසු විය යුතුයි. හේතුව අත්දැකීම් බොහොමයක් ලබා සිටිය යුතු වෙනවා. මේ භූත විද්‍යාව එතරම් ගැඹුරුයි. දැන් භූත විද්‍යාව කරන්න එන්නේ ආරූඪ වෙන අය භූත විද්‍යාව පිළිබඳව දසමයකවත් අවබෝධයක් නැහැ. ප්‍රේතයකු ශරීරයේ ඉඳගෙන ශාස්තර කිව්වට මන්ත්‍ර කර්මය බැහැ. භූතයා එලවන මන්ත්‍රය ආරූඪකාරයාට විසයි. පරම්පරාවෙන් එන මහ දේවාල කපු මහතුන්ට එම දිස්ඨි තිබෙනවා. ඒවා එම දේවාල වල බල සහිත ආරූඪ ඒ අයත් යම් ක්‍රමවේදයකට තමයි ඒවා කරගෙන යන්නේ.
විශ්වය තුළ අමනුෂ්‍යයෝ ලක්ෂ කෝටි ගණන් ඉන්නවා. මේ අතර ඉන්නවා කියලා සිතමු බහිරවයෝ ප්‍රේතයා බන්ධනය කරන මන්ත්‍රයෙන් බහිරවයා ගන්න බැහැ. ඒකට බහිරව බන්ධන මන්ත්‍ර අවශ්‍ය යයි. ඒක උගත් ඇඳුරෝ දන්නවා. බොහෝ ස්ථාන වල බහිරවයා ප්‍රේතයා එකතු වෙලා වැඩ කරගෙන යනවා. එවැනි තැන්වල ප්‍රේතයා ගත්තට බහිරවයා ගන්න බැහැ. එනිසා ඇඳුරෝ වැඬේ කළාට ලෙඬේ හොඳ වෙන්නෙ නැහැ. හැම බන්ධනයකින් පසුවම එයාලගේ ක්‍රමවේදයක් තිබෙනවා. වැඬේ හරියට කෙරිලද නැත්ද කියලා බැලීමක් හරි ඇඳුරා ඒක බලලා තමයි කටයුතු කරන්නේ. වැඬේ හරි ගියේ නැත්නම් පසු දිනත් කරනවා. කාලය ගත වෙනවා. අද වෙලා තියෙන්නේ එක රාත්‍රියකින් වැඬේ කරලා ඔක්කොම හරි කියලා මුදලුත් අරන් යනවා. ඒක වැරදියි.
වැඬේ කරන්න පෙර බොන ඇඳුරන්ට වැඩ කරන්න දෙන්න එපා. වැඬේ සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ දක්ෂ ඇඳුරන් පවා අද මේ මතට හුරුවෙලා යකුන්ගේ වැඩට සුරා පහක් ගැන ශාස්ත්‍රවල කියැවෙනවා. ඒක දෙන්න වෙනවා. නමුත් ඇඳුරා බොන්නේ නැහැ. බිව්වොත් සාස්තරේ හරියට කරන්න බැහැ.
මොරටුවේ
පාරම්පරික වෛද්‍ය
ජ්‍යොතිෂ්‍යවේදි
ආර්.එම්. කරුණාරත්න
0719803146/0778433319