රැවටෙන්න එපා රුද්‍රාක්‍ෂ සහ වාලම්පුරිවල ඇත්ත කතාව මෙන්න

wwwරුද්‍රාක්ෂ බීජ සහ වාලම්පුරි
ඕම් නමඃ ශිවාය
මා ලිපිය පටන් ගන්නේ ‘ඕම් නමඃ ශිවාය’ කියා නිසා ඕම් යන වචනය පැහැදිලි කර දෙන්නම්. ඕම් යන වචනය මන්ත්‍ර ශාස්ත්‍රයට සම්බන්ධ වී තිබෙන්නේ ගණ දෙවියන් නිසා බවට මතයක් තිබෙනවා. මා අසා ඇති අතීත කතාව මෙසේය. ඊශ්වර දෙවියන් (ශිව, රුද්‍ර, මහාදේව, නුයම්බක ආදී නම්වලිනුත් හඳුන්වනවා) තම අනුගාමිකයන්ගේ ආරක්‍ෂාව සඳහා මන්ත්‍ර හදා දී තිබෙනවා. ශිව ගිහි කාලයේ උමා පාර්වති යුවළට දරුවන් තුන් දෙනකු සිටියාලු. ඒ ගනේෂ්, ස්කන්ද යන පුතුන් දෙදෙනා සහ මානස යන දුවනිය. ශිව මන්ත්‍ර ලියන විට ගනේෂ් (පසුව ගණ දෙවි) පැමිණ මන්ත්‍රය මුලට පටන් ගන්න විට ඕම් යන්න යොදන්න කියා තිබෙනවා. එදා සිට ඕම් වචනය මතුරනවා.

මේ ඕම් යන ශබ්දය ගැන කරන ලද පර්යේෂණ කතාවකින් කියවෙනවා ඒ ශබ්දය එන්නේ අප ඉන්න ‘ක’ ගෝලය ඒරම්බ වාතය තුළ භ්‍රමණය වෙමින් ගමන් කරන විට ගර්ෂණය නිසා ඇතිවන කම්පනය තුළින් බව. මේවා කොතෙක් දුරට ඇත්ත දැයි පිළිගැනීම ඔබට බාරයි. තර්ක කිරීම නුසුදුසු කරුණක් බව නොකියාම බැරිය. ‘ගනේෂ්’ හා ‘ස්කන්ධ’ දෙවිවරු ගැන ඔබ දන්නවා. නමුත් මානස දෙවඟන ගැන නොදන්නවා විය හැක. ඇය ඊශ්වරගේ දුවනියයි. ඇය ‘නාග පතිනි’ නමින්ද හඳුන්වනවා. ‘නාග දෙවියන්’ හා ‘මානස නාග පතිනි දෙවඟන’ නාගයින්ට අධිපති බවත් ‘කාල සර්ප යෝගය’ සඳහා එම දෙවිවරුන්ට පූජා පැවැත්විය යුතු බවත් පුරාණ කතාවල සඳහන්ව තිබෙනවා. ‘ඉසිවර’ නම් වූ ඉන්දියාවේ පරම්පරාවේ ආරම්භය ඊශ්වර දෙවියන්ගෙන් බවටද මත තිබෙනවා. ‘රුද්‍රාක්‍ෂ’ නම ගැන විස්තර මෙසේය. ‘රුද්‍ර’ (ඊශ්වර) දිගු කලක් භාවනානුයෝගීව හිද එක් දිනක් ‘ඇස් ඇර’ ලොව බලා තිබෙනවා. එවිට හිරුරැස් නිසා ඇස්වලින් කඳුළු වැටී තිබෙනවා. ඒ කඳුළු වැටුන තැනින් ගසක් හැදී එම බීජ ‘රුද්‍ර අක්ෂ’ ‘රුද්‍රාක්‍ෂ’ ලෙස හඳුන්වනවාලු. මේ ගසේ මුල් බිම නේපාලය බව සඳහන්. පසුව ආසියාවේ දේව සංකල්ප ඇදහිලි සමඟ පූජනීය තත්ත්වයට පත්ව තිබෙනවා. ලංකාවේත් මේ ගස පූජනීය තත්ත්වයෙන් සලකා රෝපනය කර තිබෙන ස්ථාන 5 ක් මට හමුවී තිබෙනවා. ලංකාවේ මෙය හඳුන්වන්නේ නිල් වෙරලු නමින්ය. නේපාලයේ ජපානයේ වැනි අනිකුත් රටවල හැදෙන ගෙඩි තරම් ලංකාවේ ගෙඩි විශාල නැත. තද දම් පැහැයෙන් යුතු රවුම් ගෙඩිය.තද කහට ඇඹුල් රසයෙන් යුක්තය. වවුලන්ගේ හොඳ කෑමක් බවද කිවයුතුය. ඇට සියයකට එකක් වත් පැළ නොවන බවත් සඳහන්ය. මෙම බීජය ලංකාවේ පොල් වෙරලු ඇටයේ මෙන් වටේටම වළවල් තිබෙනවා. වෙනස දෙකොන උල් නොවී වටේටම කාණු මෙන් ඉරි බේරී තිබීම හා බීජයෙන් බාගයකටත් වැඩියෙන් මැද කුහරයක් තිබීමය. මෙම ‘කාණු ඉරි’ ‘මුක’ ලෙස හඳුන්වනවා. මේ බීජ වල කාණු එකේ සිට විසිඑක දක්වා තිබෙනවා. මීට වැඩි කාණු තිබේ. බීජ ඉන්දියාවේ හමුවී තිබෙනවා. ඉතාම දුර්ලබයි. ගෙඩි 100 ක් ගත්තොත් 99 ක් ම කාණු 5 ‘පංච මුඛ’ ඇති බීජය. අනිත්වා ඉතාම අඩුයි. අඩුකම, දුර්ලබ තත්ත්වය නිසා හා එහි ගුණ හා බලය නිසා මුඛ ප්‍රමාණය අනුව මිල ඉතා අධිකය. මිල ඉතා අධික නිසාම කෘතිම බීජ ඉතා බහුලය. මේ හැම බීජයේ මුඛ ප්‍රමාණය අනුව මැතිරිය යුතු මන්ත්‍ර වෙන වෙනම තිබෙනවා.

මෙය ලක්‍ෂ්මී දේවියට හෝ පංච භූතයන්ට හෝ ග්‍රහයන්ට හෝ අයිති බව සඳහන් කර මිනිසුන් මුලාකර කෘතිම බීජ විකුණන අය දැන් දැන් අපි අතරට ඇවිත් ඉන්නවා. මෙම බීජය සම්පූර්ණයෙන්ම අයිති ‘ශිව’ දෙවින්ට බව සිහිතබා ගන්න. එක එක රෝග හා දියුණුව සඳහා පැළඳිය යුතු නිර්දේශිත මුඛ සංඛ්‍යාව සහිත බීජ සඳහා ඒ ඒ මන්ත්‍රයෙන් ජපකර වළලු, මුදු, මාල පිළියෙළ කර පැළඳිය යුතුය. රූපවාහිනියෙන් මා දැක තිබෙනවා. ප්‍රසිද්ධ ගායකයන් දේශපාලකයන් මේ බීජ පැළඳගෙන ඉන්නවා. පංච මුඛ බීජය එතරම්ම බලවත් නොවන බවත් එය පොදුවේ භාවිතා කළ හැකි බවත් විශේෂයෙන්ම තමා පානය කරන වතුර බෝතලයේ මේවා දමා තබාගෙන එම ජලය පානය කිරීමෙන් රෝග වැළඳීමෙන් ආරක්‍ෂාවක් යම් තරමකින් හෝ ලැබෙන බව සඳහන්. ලංකාවේ ප්‍රසිද්ධ දේවස්ථාන අවට කඩවල රුද්‍රාක්‍ෂ මාල කියා විකුණන්නේ මස ඇට මාල නැතිනම් ඉන්දියාවෙන් ගෙන්වන ප්ලාස්ටික් කෘතිම ඇට මාල බව දැනගන්න. මේ පිළිබඳව විස්තර හොයන්න උනන්දු වන්නේ නම් ‘ශිව පුරානය’ ‘කත්ස යාන පුරානය’ වැනි පොත් කියවන්න. දැනට ‘මුඛ’ 21 වැඩි මුඛ සංඛ්‍යාව තිබෙන බීජ වර්ග දෙකක් ජපානයෙන් සොයාගෙන තිබෙන බව සඳහන්. ඒවාට යොදා ඇති නම් ‘ගව්රී ශන්කරී බීජය’ ‘ත්‍රිපුති බීජය’යි. මේවායෙහි මිලක් නියම කිරීමට පවා අපහසු බව සඳහන්. තවදුරටත් ඔබ මේ සම්බන්ධයෙන් උනන්දු වනවානම් ඉන්දියාවේ මුම්බායි නගරයේ මුම්බායි ගුවන්තොටුපළ පාරේ ‘රුද්‍රා සෙන්ටර්’ ආයතනයට ගොස් විමසන්න. රුද්‍රාක්‍ෂ බීජ පැළඳීමෙන් සැලසෙනවා යයි පොත්වල සඳහන් සෙත් මෙසේය.
1. මුඛ – අනතුරු අකල් මරණ වලක්වා ගත හැකිමුත් මෙය භාවනානුයෝගීන්ට උචිත බවද සඳහන්.
2. මුඛ – කුණ්ඩලිනී ශක්තිය ඇතිවේ.
3. අමනුෂ්‍ය දෝෂ දුරුවේ.
4. මුඛ – වඳභාවය දුරුකර ගත හැකිවේ. බුධගේ බලය තිබෙනවාලු. මහාබ්‍රහ්ම ආශිර්වාදය ලැබේ. චතුර්යන්න අර්ථ ධර්ම කාම මෝක්‍ෂ ලෙස දක්වා ඇත. ජන්ම අංකය 5 අයට සුදුසුය.
5. මුඛ – මෝක්‍ෂය ලබාගන්න පංච භූත දෝෂ සමතුලිතව තබාගන්න ජන්ම අංක 3 අයට සුදුසුය
6. මුඛ – ලිංගික ජීවිතය සාර්ථක වනවාලු. කතරගම දෙවි ආශිර්වාදය ලැබේ. ජන්ම අංක 6 අයට සුදුසුය.
7. මුඛ – කාලසර්ප දෝෂයට යහපත් – කාම දෙවි ආශිර්වාදය ලැබෙනවාලු. ජන්ම අංක 8 අයට සුදුසුය.
8. මුඛ – ඥානයට ගණ දෙවි ආශිර්වාදය ලැබේ. ජන්ම අංක 4 අයට සුදුසුය.
9. මුඛ – කාලසර්ප යෝගයේ විඳවීම අඩු කරයි. දුර්ගා දේවියගේ හා යම ගේ ආශීර්වාදය ලැබේ.
10. මුඛ – අධ්‍යාත්මික ශක්තිය ලැබේ. විෂ්ණු දෙවි ආශිර්වාදය ලැබේ.
11. මුඛ – ඉන්ද්‍ර දෙවි හා හනුමන් දෙවි ආශිර්වාදය ලැබී ආරක්‍ෂාවේ
12. මුඛ – විධායක බලයක් ලැබෙනවාලු – විෂ්ණු දෙවි ආශීර්වාදය.
13. මුඛ – ආදරය නොබිඳී තබාගත හැක. කාම දෙවි ලක්‍ෂ්මී දෙවියන්ගේ ආකර්ෂණය ලැබේ.
14. මුඛ – දරුපල කීර්තිය ලැබේ.
15. මුඛ – සාමය සතුට ලැබේ.
16. මුඛ – (සොළොස් මුඛ) – ජායි රුද්‍රාක්‍ෂ නමින් හඳුන්වන මෙය ව්‍යාපාර දියුණුවට ශිව විෂ්ණු දෙවි ආකර්ෂණයට
17. මුඛ – ධාරන ශක්තියට – දරුවන්ට සුදුසුය. විශ්වකර්ම දෙවි දුර්ගා දෙවියන්ගේ ආශීර්වාදය ලැබේ.
18. මුඛ – භූමි සම්පත් ලැබෙනවාලු – පොළොව මහී කාන්තාවගේ ආශිර්වාදය ලැබේ.
19. මුඛ – ධන සම්පත් ලැබේ. විෂ්ණු දෙවි ලක්‍ෂමී මෑණි, ගණපති, ශිව පාර්වතී ආශිර්වාදය ලැබෙනවාලු.
20. මුඛ – වශිය ආකර්ෂණය ලැබේ. මහබ්‍රහ්ම ආශිර්වාදය ලැබේ.
21. මුඛ – ධනය වාසනාව ලැබේ. කුවේර යක්‍ෂ නම් වූ දෙවියන්ගේ ආශීර්වාදය ලැබේ. මීට අමතරව මේ සමග ‘කුවේර කෝලම’ නම් යන්ත්‍රය පාවිච්චි කළ යුතු බව සඳහන්.
ගෞරීශන්කර් බීජය (ඇට 2 ක් එකට හාවී තිබෙන වර්ගය) පැළඳීමෙන් නොබිඳෙන පවුල් සමගිය ලැබේ. ඇට 108 (මොන මුඛ වුවත් කම් නැත) මාලය පැළඳීම ළඟ තබාගැනීමෙන් (කාන්තාවන්) මරණ උපත් ගැටලු ඇති නොවේ. ඇට 140 ක් පැළඳීමෙන් ලස්සන වනවාලු. ඇට 32 පැළඳීමෙන් භෞතික දියුණුව සැලසෙනවාලු. මතක තබාගත යුතු වැදගත්ම කරුණ නම් මේ හැම බජයක් සඳහාම වෙන වෙන මන්ත්‍ර තිබෙනවා. ඒවා පිළිවෙත් රැක නිසි වාර ගාන මතුරා පැළඳිය යුතුය. මීට අමතරව ‘දැගුන්’ ‘කවච’ ගයාත්‍රි මන්ත්‍ර ආදියෙන් ද පේ කළ යුතුය. උදේ සවස අඩු තරමේ හඳුන් කූරක්වත් දල්වා ගයත්‍රි මන්ත්‍රයක් හෝ ගායනා කර ස්තුති පූජා පැවැත්විය යුතුය. මේවා විශ්වාස කර පළඳින උදවිය ඊශ්වර දෙවි, පාර්වතී දෙවඟන, ගණ දෙවි, ස්කන්ධ දෙවි, මානස දෙවඟන ගැන භක්තියක් ඇතිකර ගත යුතුමය. ලෙඩක් දුකක් ප්‍රශ්නයක් ඇතිවූ විට බොහෝ දෙනකු පුරුදු වී ඉන්නේ දෙවියන්ට පූජා වට්ටියක් පගාවක් සේ දී ශාන්තියක් ලබාගන්නටය. ඒක හරියන්නේ නැත. නිතරම තමුන් විශ්වාස කරන දෙවි කෙනකුට හෝ සියල්ලන්ටම හඳුන් කූරක් පමණක් වත් නිදන විටදී හෝ ස්තුති පූජා පවත්වා පින් දී කරුණු කියා පිහිට පතන්න පුරුදු වන්න. සුදුසු වේලාවල දී ඒ දෙවිවරු දිවියන්ගනාවන් යක් ආණ්ඩුවේ සේනාධිපතිවරු බිසෝවරු පිහිට වනවාමයි.
වාලම්පුරි ගැන කියන්න තියෙන්නේත් අද 99% තිබෙන්නේ ඉන්දියාවේ හදන කෘතිම වාලම්පුරිය. මා මුලින්ම මෙය කියන්නේ අද බොහොම අය දැන්වීම්වලට රැවටී දහස් ගණන් දී වාලම්පුරි කියන සෙල්ලම්බඩු ගෙන පුරසාරම් දොඩනව මට අහන්නට ලැබුණ නිසාය. වාලම්පුරියක් නිසි අයුරින් පුද පූජා තබා ස්තෝත්‍ර ආදියෙන් පේ කර තබාගන්න ස්වභාවික වාලම්පුරියක් නම් අනිවාර්යයෙන්ම දියුණුව ලැබෙනවා. මතක තබාගන්න ග්‍රහචාරයේ දෝෂ තිබෙනවා නම් නියම ඵල ලබාගන්න අමාරුයි. ඒවා දුර්වල කරගන්න ප්‍රතිකර්ම කරන විට මෙහි ඵල ලැබෙනවා. සල්ලි තිබුණ පළියට වාලම්පුරි ගොඩගහ ගත්තට වැඩක් නැත. පිරිමි ස්වභාවික වාලම්පුරි 2 ක් එක තැන තබාගැනීම සුදුසු නැත. ගෑනු පිරිමි යුගලක් තබාගන්නවානම් සුභයි. කෘතිම එක ස්වභාවික වාලම්පුරිය හඳුනා ගන්න ක්‍රම තිබෙනවා. බැලු බැල්මට පෙනෙන එක දුර්වලකමක් කියන්නම්. ස්වභාවික වාලම්පුරිය මතුපිට දිලිසෙන්නේ නැත. සාමාන්‍ය හක් බෙල්ලකුගේ මෙන් දිලිසෙන්නේ නැති තත්ත්වයක් පෙනෙනවා. නමුත් වාලම්පුරිය යම්කිසි ආකර්ෂණයක් වෙනසක් පෙනෙනවා. ලස්සනයි. කෘතිම වාලම්පුරිය ගනකම් යම් දිලිසීමක් තිබෙනවා. වාලම්පුරිය සහ හක් බෙල්ලන් 1000 ට එකක් වගේ ඉන්න බලයක් ඇති බෙල්ලෙක්ය. අද සිවුරු කඩ, සිංහල බෙහෙත් බඩු කඩ වලත් වාලම්පුරි විකුණන්න තිබෙනවා. මෙහෙම සුලබව මේ බෙල්ලන් ඉන්නවා නම් මෙතරම් මිල අධික විය හැකිද? මෙය මෝඩ අසහනකාරීන් මුලා කිරීමක්ය. ගුප්ත විද්‍යාවෙන් මිනිසුන් මුලා කරන්න හරිම ලේසිය. අන්ධ විශ්වාසය අන්ධ භක්තිය අනවබෝධය මෙයට හේතුවයි. ‘හිතට ඔලුව’ භාරදී කටයුතු කිරීමේ වරදට ඔහේ වන්දි ගෙවපුවාවේ. දැනගන්න කැමති උදවියට උදව් කරන්න මා සූදානම්. වාලම්පුරියක් ළඟ තබාගන්නවා නම් එයට නිසි පුද දැක්විය යුතුයි. කිරි පැන් වලින් සෝදා විෂ්ණු ලක්‍ෂ්මී දැහැන් කවච මන්ත්‍ර ආදියෙන් පේකර පුද දැක්විය යුතුය. මේ වියදම් කර ලබාගෙන පෙට්ටිවල තබා ගත්තාට වැඩක් නැත. මේවා වාසනාවේ එකම හේතුවම නොවන බවත් දැනගත යුතුයි. ඔබට දෙවි පිහිටයි.
ආර්. එස්. තුඩුගල