වෙසක්, පොසොන් පොහොය මාස වෙනස් වුණේ ඇයි

උදාවූ 2018 නව වසරේ වෙසක් හා පොසොන් යන පොහොය දින දෙක මෙවර පිළිවෙලින් අප්‍රේල්, මැයි හා ජුනි යන මාසවලට යෙදී තිබීම පිළිබඳ මේ වන විට ජන සමාජයේ කතිකාවක් ගොඩනැඟී ඇත. මූලිකවම අපට ජ්‍යොතිෂානුකූලව වගකීමෙන් පැවසිය හැක්කේ මෙම පොහොය දින යොදා ඇති ආකාරය නිවැරදි බවයි. පොහොය යෙදෙනුයේ චන්ද්‍රයා මුල් කර ගෙනය. නමුත්  විශේෂයෙන්ම සාම්ප්‍රදායික ක්‍රමයට සිංහල බෞද්ධ ජනතාව හුරු පුරුදු වී ඇත්තේ සෑම වසරකම මැයි මාසයේ දිනක වෙසක් උත්සවය සැමරීමටත්, ජුනි මාසයේ දිනක පොසොන් උත්සවය සැමරීමටත් ය.


නමුත් මෙවර එය වෙනස් වී ඇති අතර රාජ්‍ය පොහොය කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පොහොය නිවාඩු දින අනුව මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය අප්‍රේල් මස 29 වැනි ඉරිදා දිනට යෙදී ඇති අතර අධි පොසොන් පුර පසළොස්වක පොහොය මැයි 29 වැනි අගහරුවාදා දිනට යෙදී ඇත. නැවත ජුනි මස 27 වැනි බදාදා දින පොසොන් පුර පසළොස්වක පොහොය යෙදී ඇත. ඒ අනුව වෙසක් අප්‍රේල්වලටත් පොසොන් පොහොය දෙකෙන් අධි පොසොන් පුර පසළොස්වක පොහොය මැයි මාසයටත් යෙදී ඇත. මේ ආකාරයට මෙවර පොහොය දින වෙනස් වීමට බලපා ඇති හේතු පිළිබඳ විමසා බැලිය යුතුය.
වෙසක් හා පොසොන් පොහොයවල්  අප්‍රේල් හා මැයි යන මාසයන් තුළ යෙදී ඇති අවස්ථා කීපයක් මීට පෙර පංචාංග ලිත් තුළ දැකිය හැකිය. එනම් 1937 වසර 1939 වසර 1947 වසර 1950 හා 52 යන වසර වල මෙන්ම 1999, 2001, 2002 හා 2004 යන වසර වලත් සා, අනුර හා විසා යන නැකැත් උදාව තිබියදී වෙසක් පෝය ලබා තිබේ.
ඊට අමතරව,
1961 අප්‍රේල් 30 ඉරිදා
1953 අප්‍රේල් 29 වන බදාදා අධි වෙසක් පොහොය
1961 මැයි 30  අඟහරුවාදා අධි පොසොන් පොහොය
ඉංග්‍රීසි ක්‍රමයේදී අප දැනට භාවිතා කරන කැලැන්ඩර් ක්‍රමයට අනුව  ජනවාරි, පෙබරවාරි හා මාර්තු ලෙසට මාස හඳුන්වා මාස 12 කට පසු දෙසැම්බර් මාසයේ දී අවුරුද්දක් නිමාවී නව වසරක් උදා වන බව පවසයි.  නමුත් එය අප භාවිතයට පහසු වීමට යොදා ගත් පිළිගත් කාලය මැනීම සඳහා වූ එක් කෘතීම ක්‍රමයකි. මෙම ක්‍රමය ක්‍රිස්තු වර්ෂ ක්‍රමය පදනම් ව ගොඩනැඟී ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ සිට එම කාලසීමාව ගණන් ගනු ලබයි. එසේම කාලය මැනීම සඳහා හිරු සඳු මුල් කර ගත් ස්වභාව ධර්මයේ ශාස්ත්‍රය වූ ජ්‍යොතිෂානූකූලව චන්ද්‍ර මාස ක්‍රමය ද යොදා ගනී. මෙහිදී ජ්‍යොතිෂානූකූලවත් තාරකා විද්‍යාවට අනුවත් මෙම චන්ද්‍ර මාස ක්‍රමය ඉතාම නිවැරදි වේ. ඒ අනුව චන්ද්‍ර මාස ක්‍රමයේදී සිංහල ක්‍රමයට අනුව දුරුතු, නවම්, මැදින් ලෙස මෙම මාස 12 හඳුන්වන අතර උඳුවප් මාසයෙන් නිමාවට පත්වනු ඇත. ක්‍රි .ව හා චන්ද්‍ර වර්ෂ යනු කාලය මැනීම සඳහා භාවිතා කරන ක්‍රම දෙකක් වුවද මෙම ක්‍රම දෙක අතර වෙනස්කම් ද පවතී.
සාමාන්‍යයෙන් පොහොය දින යෙදෙන්නේ  චන්ද්‍ර මාස ක්‍රමය පදනම් කරගෙනය. පෝය ක්‍රමය පුර අට භේදය, තිථි ක්‍රමය හා නැකැත් 27 පදනම් වී ඇත්තේ චන්ද්‍රයා මුල් කර ගනිමිනි. හිරු හා සඳු මුල්කර ගත් නිවැරදි ශාස්ත්‍රයක් වන ජ්‍යොතිෂය අනුව හිරු සඳු ඇතුළු ග්‍රහ තාරකාවන්ගේ ගමන අප කිසිවකුට වෙනස් කළ නොහැක. එය එම ග්‍රහයන්ටම ආවේනික වූ නිෂ්චිත වූ ගමන් රටාවකි. එය ස්වභාව ධර්මයයි.
අප ජීවත් වන පෘථීවිය අංශක 23 1/2 ක් ඇලව ගමන් කරන නිසාවෙන් වසර 72 කට වරක් අංශකය බැගින් එහා මෙහා වීමක් සිදුවිය හැකිය. වත්මන් තාරකා විද්‍යා දත්තයන්ට අනුව වසරකට දින 365 කුත් පැය 06 යි තත්පර 8 යි සීයෙන් 87 ක්  ක කාලයක්  අඩංගුය. මෙම වෙනස්කම් හේතුවෙන් හිරු උදාව නැකැත් උදාව තිථි උදාවන් හා ගෙවී යෑම් දිනෙන් දින වෙස්කම්වලට ලක් විය හැකිය.
වෙසක් යනු වෛශාක්‍ය මංගල්‍යයයි. වෛශාක්‍ය යන සංස්කෘත වචනය විසා යන අර්ථය දෙයි. ඒ අනුව නියම වෙසක් පෝය විසා නැකතේ උදාවිය යුතු අතර සා හෝ අනුර යන නැකැත් වලින් උදා වුවද මේ අතරතුර කාලය තුළ විසා නැකතත් පෝය දින වලදී උදාවිය හැකිය. මෙය බොහෝ විට නැකත හා තිථියේ පැය ගණන අනුව බලපානු ඇත. වෛශාක්‍ය මංගල්‍යය යනු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වූ උතුම් මංගල්‍යයයි. එසේම  වෛශාක්‍ය යනු විසා නැකත යෙදුනු දිනයට යෙදී ඇති මංගල්‍යයයි. සිදුහත් කුමරුගේ උපත, බුදුවීම හා පරිනිර්වාණය යන මංගල්‍ය තුනම සිදුවී ඇත්තේ චන්ද්‍ර මාස ක්‍රමය තුළ යෙදෙන වෙසක් මාසය තුළ මිසක මැයි මාසය තුළ ම නොවේ. කෙසේ වෙතත් බොහෝ අවස්ථා වල මෙම වෙසක් පෝය යෙදී ඇත්තේ ඉංග්‍රීසි මාස ක්‍රමයට අනුව මැයි මාසය තුළය. නමුත් නිශ්චිතවම මැයි මාසය තුළම වෙසක් පෝය යෙදිය යුතු යැයි සම්මතයක් නැත. එසේම දෙට නැකත යෙදුනු දිනයට පොසොන් පොහොය දිනය උදා වේ. පැරණි ඉතිහාස කතාවක කියවෙන්නේ දෙට නැකතට මුව යෝනිය යෙදෙන නිසා රජතුමා මුවකු පසු පස ලුහුබැද ගිය බවයි.
චන්ද්‍ර වර්ෂ ක්‍රමයේදී එක් අමාවක තිථියක සිට ඊළඟ අමාවක තිථිය දක්වා කාලසීමාව මාසයකි. නමුත් එය ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට අනුව ආරම්භ වන නිශ්චිත දිනයක් නැත. ඒ අනුව සඳුගේ ගමන අනුව යෙදෙන චන්ද්‍ර මාස ක්‍රමයේදී මෙන් ඉංග්‍රීසී මාස හෙවත් ක්‍රි .ව වලදී එම දිනය එක් නිශ්චිත තැනකින් ආරම්භ නොවේ. ඒ අනුව මෙම ක්‍රම දෙක එකක් නොව දෙකකි. මෙහිදී අප අවධාරණය කර ගත යුත්තේ මැයි මාසය යනු වෙසක් මාසයම නොවන බවයි. දැනට අප භාවිතා කරන ක්‍රි. ව. ක්‍රමයට අනුව අප්‍රේල් අඟ නැති නම් මැයි මාසය තුළ හෝ නැති නම් ජුනි මාසය තුළ ද වෙසක් යෙදිය හැකි බවයි. චන්ද්‍ර මාස ක්‍රමය අනුව යෙදෙන පොහොය දින තුළ ආකාශයේ චන්ද්‍රයා පිරිපුන්ව බබලන්නේය. සඳ පිරිපුන්ව බබලන්නේ නැති හඳ නොපිරුණු දිනයක් කෙසේ වත් පුර පෙහොය දිනක් ලෙස නම්  නම් කළ නොහැක.
ඉහත ජ්‍යොතිෂමය කරුනු මෙන්ම පැරණි පංචාංග ලිත් තොරතුරු හා අදාල මුලාශ්‍රයන්වලට අනුව 2018 වෙසක් හා පොසොන් පොහොය යෙදීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් දක්නට නැති බව ප්‍රකාශ කළ හැකිය.
ජ්‍යොතිෂවේදී,
බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ
“තසුනි”  සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය.
නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම.