සංසාර බන්ධන

ජීවත් වන මනුෂ්‍යයින් අතර සිදුවෙන යම් යම් අසාමාන්‍ය සිදුවීම් සංසාරගතව එන පුරුදු හෝ යටි සිතේ තැන්පත් වන මතකයන් හරහා සිදුවිය හැකියි.
මෝහනය කිරීම තුළින් යටි සිත අවධි කිරීම සහ යටි සිතේ තැන්පත්ව ඇති සංසාරගත බැඳීම්, මතකයන්, මෙන්ම සිදුවීම් විමසා බලා දැන ගැනීමේ හැකියාව මෝහනය පිළිබඳ හසල දැනීමක් ඇති දක්‍ෂ මෝහන විද්‍යාඥයින් හට තිබේ. එවැනි සිද්ධියක් පිළිබඳව සත්‍ය වාර්තාවක් මාතර ශානිකා මධුරංගී මෙනවිය විසින් අප වෙතට ලියා එවන්නේ ‘ඉසිවර සහ සුබනෙත’ පාඨක හදවත් දැනුවත් කිරීම සඳහාය. ඇයගේ ලිපිය කිසිදු වෙනසක් නොකර අප මෙසේ පල කරන්නෙමු.

– ඉසිවර සංස්කාරක-

swan_116143උදෑසන චමත්කාරය තවත් ඔප් නංවමින්, මිහිදුම් සේලය වැව් ඉස්මත්ත සිප ගනිද්දී සුදෝ සුදු පුළුන් බෝල වන් හංස රෑන නිල් පැහැ ජලාශයේ එහාට මෙහාට පිහිනන්ට වූයේ කුමක් හෝ දෙයක් සොයාගත් විද්‍යාඥයින් පිරිසක් මෙන් ඉපිල යන ප්‍රමෝදයකිනි.


වැව සහ හංස රංචුව දැකීම පුංචි මලිතිගේ විනෝදාංශය වූයේ සසර පුරුද්දක් නිසා ද නැත්නම් අහේතුවක් ද යන්න ඇගේ මාපියන්ට වූ ප්‍රබල ගැටලුවකි. අව් රැල්ල බිමට වැටෙනවාත් සමගම පුංචි මලිති ඉහළ මාලයට ගොස් වැව දිහා බලාගෙන ඉන්නේ නිම් හිම් නැති ප්‍රීතියක් නෙත් කෙවෙනි වල රඳවා ගනිමිනි. හංසයින් මලිතිගේ නෙත් මායිමෙන් සැඟවෙන තෙක්ම ඇය වැව දෙස බලා සිටියි.
ඇය ටිකෙන් ටික වැඩෙද්දීද, මෙම චර්යාව ඇගෙන් දුරස් වූයේ නොමැත. මලිති දැන් පාසල් යන වියට පැමිණ සිටින්නීය. එහෙත් ඇය එයට අදි මදිකරයි. තම දෙඇස වන් එකම දියණියගේ මෙම තත්ත්වය මවුපියන්ට අසීමිත කුතුහලයකි. “ඇයි මගෙ පුතේ ඉස්කෝලෙ යන්න බැහැ කියන්නෙ? ඔයා ලොකු නෝනා කෙනෙක් වෙලා කාර් එකෙන් යන්නෙ කොහොමද ඉගෙන ගත්තෙ නැත්නම්?” දිනක් මලිතිගේ මව එලෙස කියද්දී “මම ඉස්කෝලේ ගිහාම, හොරු ඇවිල්ලා හංසයෝ අරන් යයි.” මලිති එසේ කීවේ ඇගේ දොකොපුල්වල රූරා වැටෙන කඳුළු පිස දමමිනි. ඇයගේ පුංචි මනස මනාව තේරුම් ගත් මව කියා සිටියේ “වැව ගොඩක් ගැඹුරුයි. කොහොමද වැවට බහින්නේ? බැස්සොත් මැරෙනවානෙ. ඒ නිසා කවුරුවත් එන්නෙ නැහැ හංසයෝ ගෙනියන්න” මව එලෙස කරුණු පැහැදිලි කළ පසුවද, මලිති අසා සිටියේ “එහෙනම් මම එනකම් අම්මා හංසයෝ බලාගන්නවද?” එලෙස ඇසූ මලිති හංසයින්ගේ සුරක්‍ෂිතභාවය මව විසින් භාරගත් පසුවයි පාසල් යාමට අවනත වූයේ.
මෙදින මලිති පාසලට ගිය පළමු දවසයි. කවදාවත් චිත්‍රයක් ඇඳීමට අතැඟිලි හුරු කර නොතිබූ මලිති එදා පළමු වරට ලස්සන චිත්‍රයක් ඇන්දේ ගුරුභවතුන් සියලු දෙනාම මවිතයට පත් කරවමිනි. හංස ජෝඩුවක් තමයි මේ චිත්‍රයෙහි අන්තර්ගත වුණේ. සියලු දෙනාම මලිතිව වර්ණනා කරද්දී උද්දාමයට පත් ඇය තවත් නිර්මාණයක් කළාය. ඒ හංසයින් පිළිබඳව කියැවෙන ගීතයක්ය.

“නිල් දිය මත පිහින පිහින
ඒ අතටයි මේ අතටයි
පුළුන් බෝල වගේ පෙනෙන
ලස්සන මගෙ යහලුවනේ

අනේ පුංචි හංසයිනේ
ගන්න බැරිද මාත් වැවට
ආසයි මට ඔහෙල එක්ක
වැව පුරාම දඟලන්නට”

මෙය පිරික්සා බැලූ ගුරුභවතුන් කියා සිටියේ “අවුරුදු 06 ක ළමයෙකුට මෙහෙම දෙයක් ලියන්න පුළුවන්ද? අනික ඇයි මෙයා හංසයින්ට මේ තරම් ආකර්ෂණය වෙලා?” ගුරුතුමියට සවන් දුන් මලිති පිළිතුරු දුන්නේ මෙසේය,
“මම හංසයින්ට විතරයි ආදරේ”
“ඇයි අනික් සත්තු?”
“එයාලට පොඞ්ඩයි ආදරේ” මට හංසයෝ දිහා බලන් හිටියට ඇති වෙන්නෙම නැහැ. කැලණියේ පුංචි අම්මලා ආවහම දැනෙන සන්තෝසයටත් වඩා සන්තෝෂයක් දැනෙනවා හංසයෝ දකින කොට” ඇය එසේ කියද්දී, සියල්ලන්ම විමතියෙන් බලා සිටියෝය.
කාලය මෙසේ ගෙවී ගියාය. මලිති දැන් 12 හැවිරිදි වියෙහි පසුවෙයි. එහෙත් තවම හංසයන් සමඟ ඇති ගනුදෙනුව එසේමය. දැන් ඇය රාත්‍රියට පවා වැව අසලට යන්නේ මාපියන්ට ද රහසිගතවය. මෙය දැනගත් මලිතිගේ මව්පියන් නිවස හැරදා වෙන ප්‍රදේශයක පදිංචියට යාමට තීරණය කරන්නේ වැව සහ හංසයින් මලිතිගේ මතකයෙන් ඉවත් කිරීම සඳහාය.
අලුත් නිවසක පදිංචිය සඳහා යන බව දැනගත් මලිති සිහිසුන් වී ඇදවැටුනාය. ඇය වහා රෝහල්ගත කළ අතර එහිදී ඇයව යොමු වුණේ දැඩිසත්කාර ඒකකය වෙතය. දින කිහිපයකට පසු මලිතිව සාමාන්‍ය රෝගීන්ගේ වාට්ටුවට යොමු කළ ද ඇගේ තත්ත්වය සාමාන්‍ය නොවන බව කාර්ය මණ්ඩලයට මෙන්ම මලිතිගේ මවටද මනාව පැහැදිලි වූවාය. ඉන් පසු ඇයව මානසික රෝග වාට්ටුව වෙත යොමුකළ අතර එහි ප්‍රධාන වෛද්‍යවරයා විසින් කියා සිටියේ ඇයව මෝහනය කළ යුතු බවයි. ඒ අනුව දින කිහිපයකට පසුව ඇය මෝහනය නමැති තත්ත්වයට පත් කෙරුණේ අදාළ වෛද්‍යවරයා විසිනි. එහිදී මලිති කියා සිටියේ,
“පෙර ආත්මයකදී ඒ හංසයෝ තමයි මගේ පවුලේ සාමාජිකයෝ වුණේ. ඒ කියන්නේ ලොකු හංසයෝ, දෙන්නා තමයි මගේ අම්මයි තාත්තයි. පැටව් ටික මගේ මල්ලිලා 03 දෙනා. අපි 06 දෙනාම විනෝද ගමනක් යනකොට වාහනය පල්ලමකට වැටිලා අපි 06 දෙනාම මැරුණා.”
ඒ විස්තරය අනුව ඒ ආත්මයේදී මලිති ගොඩක් දහමට ලැදිව ගුණගරුක ජීවිතයක් ගෙවූ නිසා ඇය මරණයෙන් පසු නැවත මිනිස් ලොවටම ආවත්, ඒ ආත්මයේ මවුපියන් සහ මල්ලිලා දහමෙන් පිට ජීවත් වූ නිසා තිරිසන් ආත්මයක උපන් බවයි තීරණය වුණේ.
ඒ ආත්මයෙදිත් මලිති තම පවුලේ අයට බෙහෙවින් ලෙන්ගතුව හිටපු නිසා තමයි ඒ බැඳීම ඒ ආකාරයටම හංසියින් වෙත යොමු වී තිබුණේ.
එම මානසික තත්ත්වය ඉවත් කිරීමට මෝහනයේදී වෛද්‍යවරයා සමත් වූ අතර, මලිති ද නිරෝගී සුවය ලබා රෝහලෙන් පිටව ගියේ කාගෙත් නෙත්වලට තුටු කඳුළු එක් කරවමිනි.

නිමි

ඩී. කේ. ශානිකා සයුරංගි
තෙලිජ්ජවිල, මාතර