රෝග රැසකට ගුණ දෙන දිව ඔසුව ඉරිවේරිය

P-557-1 Plectranthus amboinicusසකු බසින් ශ්‍රීකරවාලක නාමයෙන් හැඳින්වෙන ඉරිවේරිය ශාකය ශ්‍රී ලංකාවට ආවේණික වූ පැළෑටියකි. දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ බහුල ව යෙදෙයි.
මෙම පැළෑටියේ ආවේණික ලක්‍ෂණය සුගන්ධයත් දණ්ඩහි රත් පැහැයත්ය. මෙය කප්පරවල්ලිය පැළෑටියෙන් වෙන්කර හඳුනාගත හැකිය. ඉරිවේරිය ගෙවතු අලංකාරය සඳහා ද යොදාගත හැකි අගනා ශාකයකි.


වැවෙන ප්‍රදේශ – ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ පහත රට ප්‍රදේශවල ඉතා සරුවට වැඩෙන අතර විශේෂයෙන් කුරුණෑගල, රත්නපුර, මහනුවර, කඩුගන්නාව ආදී ප්‍රදේශවලද ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකම වගා කළ හැකිය.
ඉරිවේරිය පැළේ ස්වභාවය – බහු වාර්ෂික පැළෑටියක් ලෙස හඳුනාගත හැකිය. ඉරිවේරිය ශාකය සෙවන ප්‍රිය කරන පැළෑටියකි. ඍජු කඳකින් යුත්, කඳේ පහළ කොටසින් මුල් හටගන්නා මෙහි පත්‍ර පළල් වන අතර පත්‍ර දාරය කර පත්‍රික හෝ උන්තුර ආකාරය ගනී. පත්‍ර දිගින් සෙ.මී. 6 ක් පමණ ද, පළලින් සෙ.මී. 5 ක් පමණ ද වේ.
ඉරිවේරිය පත්‍ර කප්පරවල්ලිය තරම් මංසල නොවේ. යටි පැත්තේ තෙල් ගෝලිකා තිත් ඇත. කඳ සහ පත්‍රවල යටි පැත්ත රතු මිශ්‍ර දම් පැහැයක් ගනී. පත්‍ර පිහිටා ඇත්තේ එකිනෙකට විරුද්ධවය. පත්‍ර වලින් සිත්ගන්නා සුළු වාෂ්පශීලී සුගන්ධයක් නික්මෙයි. මෙහි මල් පිපෙන්නේ කිණිති වශයෙනි. ඉතා කුඩා පුෂ්පයෝ එක කිණිත්තක 8-12 දක්වා දක්නට ලැබේ. ඉරිවේරිය ශාකයේ මල් නිලට හුරු සුදු පැහැයකින් යුක්තය. මල් දැකගත හැක්කේ කඳේ අග්‍රයෙහිය.
ඉරිවේරිය ශාකයේ උද්භිද විද්‍යා නාමය

Plectranthus Zeylanicicus Benthcc

කුලය – Labiatac Lamiaceac
හෙවත් කුලසි නමින් හැඳින් වේ. (මෙම කුලයට අයත් අනෙකුත් ශාක විශේෂ වනුයේ යක්වනස්ස මදුරුතලා කප්පරවල්ලිය, පුදිනා සහ කොල්ලම් කොළ ආදියයි.
සංස්කෘත නාමයන් – ශ්‍රීකරවාලක දිවාස බර්භිෂ්ථ, ලලනා ප්‍රිය වාලකන්, කේශවාචි
දෙමළ නාමයන් – ඉරිවේලී සහ චෙට්ටියර් යන නාමවේ.
ඉරිවේරිය ශාකයේ ඖෂධීය ගුණ කර්ම
රසයෙන් – තික්ත හා කෂාය
ගුණයෙන් – ලඝු සහ රුක්‍ෂයි
වීර්යෙන් – ශීත ද වේ.
විපාකයෙන් – කටුකයි.
දෝෂ අනුව සැලකීමේදී ගුණ කර්ම
සෙම් පිත් ශ්‍රමන ගුණ ඇත. තුන් දෝෂ ශමන ගුණයෙන් යුක්තය.
ප්‍රධාන ගුණ කර්ම – ආම පාචනය ස්වර නාශකය. වමන අජීර්ණ මන්දාග්නි අවස්ථාවන් වලදී සහ අතීසාරයේදී ද විශේෂ ගුණයක් දක්වයි. රත් පිත් නාශකද ගුණ ඇත. සන්නි රෝග චිකිත්සාවේදී ද යෙදේ.
එක් එක් රෝග අවස්ථා අනුව ඉරිවේරිය ඖෂධීය ශාකය යෝගකරණයෙන්ද ප්‍රයෝගකරණයෙන් ප්‍රලේප වශයෙන් භාවිතා කරන ආකාරය මෙසේ සඳහන් කළ හැක.
එනම් ඒ මෙසේය.
ඉරිවේරිය ශාකය දේශීය වෛද්‍ය ක්‍රමයේදී පාරම්පරිකව භාවිතා වන ඖෂධයකි.
අතීසාර චිකිත්සාවේදී යෙදෙන ගුලි, කල්ක, සඳහා වන අනුපාතවල ප්‍රධාන උපාදානයක් වන ඉරිවේරිය මහඟු ඖෂධීය ගුණ ප්‍රකට කරයි.
උණ සහිත අතීසාරයට
කළාදුරු අල, ඉරිවේරිය, සුදු හඳුන්, රසකිඳ, මී මල්, ඉරමුසු, කෂාය, මී පැණි සමග දවසට දෙවරක් දීම
වමනයට – ඉරිවේරිය සැවැන්දරා කලාදුරු සුදු හඳුන් එක පමණ ගෙන අඹරා වැටි සාදා පොල් තෙල්වල බහා අවුලවා නිවා නැගෙන දුම් කටින් ආශ්වාස කිරීම ඉතා ගුණයාක යෝගයකි.
ඉරිවේරිය මුල් කෂාය බීමට දීම
වමනය සහ අතීසාරයට
ඉරිවේරිය යුෂ ගෙන ඊට ගිණියම් කරන ලද යකඩයක් බහා බොන්නට දීම (යකඩ කැබැල්ල ඉවත් කර යුෂ පමණක් බොන්න)
ඉරිවේරිය මුල් කෂාය කර දීම
අතීසාරයට – ඉරිවේරිය, ඉඟුරු කලාදුරු අල කලං 4 බැගින් ගෙන වතුර පත 8-1 සිඳවා පත බාගය බැගින් උදේ සවස බීම
ලේ සහිත අතීසාරයට – කලාදුරු අල ඉරිවේරිය, බෙලි මද අතිවිඩයන් කෙලිදසාල් කෂාය කර දවසට දෙවරක් බීමට දීම
බඬේ කැක්කුමට ඉරිවේරිය දළු අමු ඉඟුරු සමව කොටා ගත් යුෂට රත් කළ යකඩ කෑල්ලක් උණු ගන්වා බීමට දීම රත් කළ යකඩ කෑල්ල නැවත ඉවත් කර ගන්න. යුෂ පමණක් පානය කරන්න.
අජීර්ණ හා බඩඑළිය යාමට – ඉරිවේරිය දළු කොටා උතුරණ වතුරට දමා මිරිකා ගත් යුෂ තේ හැන්දක් මී පැණි සමඟ බීමට දීම
සුදුකබර රෝගයට – ශ්විත හෙවත් ශ්වේත කුෂ්ඨ රෝගයට ඉරිවේරිය දඬු වියළා අන්තර් දුමයෙන් භෂ්ම බවට පමුණුවා ගිතෙල් මි තෙල්, දෙඩ තෙල් කොහොඹ තෙල් යන තෙල් වර්ගයකින් එක වර්ගයක් ගෙන එයින් අනා රෝගය ඇති තැන් පමණක් ආලේප කළ යුතුය.
හිසේ අමාරු සඳහා – ඉරිවේරිය, බෙලි මුල්, මුරුවා මුල්, කටුකරෝසන, එළබටු මුල්, රසකිඳ, දුම්මැල්ල කොත්තමල්ලි, කලාදුරු අල වියළි ඉඟුරු කලං, මදටිය 4 බැගින් ගෙන කෂාය කර ප්‍රතිවාපයට තිප්පිලි කුඩු දමා උදේ – සවස පත භාගය බැගින් කෂාය වඩි 4 බීම යහපති.
ස්භාව ධර්මයාගේ පැවැත්මට ඖෂධීය වටිනාකමක් ගෙන දුන් මෙවැනි ශාකයක ගුණ තතු සමඟ නැවත හමුවෙමු. ඔබට ජය සතුට.
සියලු දනන් හට ආයුෂ බොහෝ    වේවා
ඉසිවර අරණ ඔබ හට සුව සෙත    වේවා
ඔසු ගුණ වරුණ සැමගේ යහපත    වේවා
හෙළ වෙද සුවය අපේ රට රැක     දේවා
ඉසිවර අරණ ඔසුතුරු කේන්ද්‍රය, දේශීය පාරම්පරික වෛද්‍ය,

අනුර කමල්සිරි පීරිස්, මොරවින්න, පානදුර