හරියට තෙල් ගා තැවීම් කළොත් වාත රෝගවලින් මිදෙන්න පුළුවන්

33තෙල් ගෑම සහ තැවීම යනු සාමාන්‍යයෙන් වාත රෝගවලදී එකම ආකාරයට සිදුවන්නක් යැයි සාමාන්‍ය ජන සමාජයේ මතයක් පවතී. එහෙත් එය ඊට එහා ගිය විධිමත් හා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුවන්නක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. එනිසාම අප සඳහන් කරන්නාවූ විවිධ වාත රෝග අවස්ථාවන්හිදී ඒ එකිනෙකට සාධාරණ වූ චිකිත්සාවක් ලෙසටම මෙම ස්නේහ (තෙල් ගෑම), ස්වේද (තැවීම) ප්‍රතිකාරය සිදුවිය යුතුය. එබැවින් ඒ පිළිබඳ මනා නිපුණ දැනුමැති වෛද්‍යවරයෙක් ලවාම එම කාර්යය (ස්නේහ, ස්වේද) සිදුකර ගැනීමෙන් ස්ථිර සහ නිසැක ප්‍රතිඵල ළඟාකරගත හැක.


විශේෂයෙන්ම සන්ධිගත වාත රෝග අවස්ථාවන්හිදී ස්ථානයේ ඉදිමුම නැති නම් රළු බව, සන්ධියේ විකෘතිතාවය ආදී කරුණු මනාව පරීක්‍ෂා කර බලා ඊට සාධාරණ ලෙස සුදුසුම තෙල් වර්ගය යොදාගත යුතුය. එලෙසටම ස්වේදය ද (තැවිලි ප්‍රභේදයද) තීරණය කරගත යුතුය.
අදාළ සන්ධි ආශ්‍රිත වාත රෝගයේ ප්‍රභේදයට අනුව සහ ඊට අනුබද්ධ දෝෂයනට අනුව තෙල් වර්ගය තෝරාගත යුතුය. උදාහරණයක් ලෙසට සෝතජ (ඉදිමුම සහිත) ආමවාතජ සන්ධි රෝගයේදී සෝතහර ඝර්ම ගුණයෙන් (දහදිය වැගිරෙන සුළු) තෙල් වර්ග භාවිත කළ යුතුය. වියලී ගිය මෘදු අස්ථි ඛාදනයට ලක්වූ (කාටිලේජ ගෙවී ගිය) සන්ධිගත වාත වේදනාවන්හිදී තර්පන ගුණයුත් (පෝෂණය ඇති කරන) තෙල් වර්ග භාවිත කළ යුතුය.
තැවිලි ද එපරිද්දෙන්ම ඒ ඒ අවස්ථාවට අනුව විවිධ ලෙස වර්ග වේ. ආයුර්වේදයේ දක්වා ඇති ලෙසට ස්වේද චිකිත්සාව (තැවිලි) ප්‍රධාන ප්‍රභේද හතරකට බෙදා වෙන් කර ඇත. එනම් තාප ස්වේදය, උපනාහ ස්වේදය, ද්‍රව ස්වේදය සහ ඌෂ්ම ස්වේදය ලෙසිනි.
මෙම හතර වැදෑරුම් ස්වේද ක්‍රම නැවත දහතුන් වැදෑරුම්ව විස්තර වේ. ඒ චිකිත්සා උපක්‍රමයන් ලෙසටය.
අප මේ සඳහන් කළ ස්වේද ක්‍රම හතර අතුරින් තැවිලි යන වචනාර්ථය බහුල ලෙසටම භාවිත වන්නේ පොට්ටනිවලින් කරනු ලබන තැවීමේදීය. එහෙත් අප මෙම ලිපියේ තැවිලි ලෙස දක්වා ඇත්තේ පරිපූර්ණ ස්වේද චිකිත්සාවමය. එනිසා ඒ ඒ රෝගයේ තත්ත්වය අනුව ස්ථිරසාර ප්‍රතිඵල උදෙසා මෙම ප්‍රභේද හතරෙන් උපයෝගී කරගත යුත්තේ කුමක්දැයි වෛද්‍යවරයා විසින් නිගමනය කළ යුතුය.
කරුණු එසේ වන්නේ මෙවැනි වාත රෝග අවස්ථාවන්ට සිදුකරනු ලබන චිකිත්සාවන්හිදී එහි සුවය අභ්‍යන්තරිකව යොදවන පාන ඖෂධ වර්ග තරමටම නැතිනම් ඊටත් වඩා වැඩි සාධාරණයක් විධිමත් ස්නේහ ස්වේද චිකිත්සාව තුළින් ළඟාකර දෙන නිසාය.
තාප ස්වේදය මගින් උණුසුම් කළ ඖෂධීය ගුණයෙන් යුතු යම්කිසි ද්‍රව්‍යක රස්නය (උණුසුම) රෝගියාගේ ශරීරයට වැදීමට සැලැස්වීම සිදුකරයි. රත් කළ යම්කිසි පෘෂ්ඨයක් හෝ ගල් තලාවක් මත රෝගියා සැතපවීම මේ සඳහා උදාහරණයකි.
උපනාහ ස්වේදය යනු අවස්ථාවට අනුව සුදුසු වන තැවිලි පොට්ටනි මගින් තැවීමයි.
ඌෂ්ම ස්වේදයේදී ඖෂධීය ද්‍රව්‍ය තැම්බෙන ජලයෙන් නැගෙන හුමාලය වැදීමට සලස්වනු ලැබේ. (ස්ටී්‍රම් කිරීම)
ද්‍රව ස්වේදය මගින් ඖෂධීය ජලය තම්බා එම ජලයේ උණුසුමෙහි ආශ්‍රිත ස්ථානය ගිල්වා තැබීම හෝ නැහැවීම සිදුකරයි. බෙහෙත් ඔරුවක බහා තැබීම හොඳම උදාහරණයකි.
කොඳු ඇට පෙළ ඇතුළු බොහෝ සන්ධිගත වාත රෝගවලදී ද මේ සඳහන් කළ තෙල් හා තැවිලි ක්‍රම උපයෝගී කරගෙන කරන ප්‍රතිකර්මය මගින් නිට්ඨාවට සුවය ලබාගත හැකය.
අප මුලින් සඳහන් කළ ආකාරයටම රෝගී තත්ත්වය හා එහි අනුබද්ධ දෝෂයන්ගේ තත්ත්වය යන දෙකටම සාධාරණ වන අයුරින් තෙල් සහ තැවිලි ක්‍රම තෝරාගෙන චිකිත්සාව සිදුකළ යුතුය. ඊටත් අමතරව උදාහරණයක් ලෙස කියන්නේ නම් කාටිලේජ ගෙවී ගිය දණ හිස වැනි සන්ධිගත චිකිත්සාවේ බලාපොරොත්තුව වන්නේ නැවත කාටිලේජ කොටස් වර්ධනය කර ගැනීම සහ ක්‍රියාකාරිත්වය ප්‍රකෘතිමත් කිරීමයි. එහිදී එකිනෙක ගැටෙන අස්ථි නැවත නියමිත ලෙසට සකසා ගත යුතුය. කොඳු ඇට පෙළ ආශ්‍රිතයේදී ද එය එපරිද්දෙන්ම සිදුකළ යුතුය. මෙහිදී ලංවූ, ගැටෙන, වෙනස් වූ අස්ථීන් පළමුව නියමිත ආකාරයට සකස්කර ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුය. එසේ නොකොට තෙල් ආලේප කර තැවූ පමණින් රෝගාබාධයේ සම්පූර්ණ සුවයක් අපේක්‍ෂා කළ නොහැක. එනිසාම ඒ පිළිබඳව මනා දැනුමක් ඇති වෛද්‍යවරයෙක් ලවා ප්‍රතිකාර සිදුකර ගැනීමෙන් උසස් ප්‍රතිඵල අත්කර ගත හැක.
මේ සඳහා කොපමණ කාලයක් අවශ්‍ය වෙනවාද යන්න පිළිබඳ කතා කිරීමේදී එය තීරණය කළ යුතු වන්නේ රෝගී තත්ත්වයට අනුරූපීවය. ඉහත අප කී ආකාරයටම කාටිලේජ ගෙවී ගොස් ක්‍රියාකාරිත්වය විකෘති වූ දණහිස ආශ්‍රිත වාත රෝග අවස්ථාවකදී නම් එය නියමිත ලෙස සකසා සිදුකරන ස්නේහ ස්වේද චිකිත්සාවට රෝගයේ තත්ත්වය මත කාලය තීරණය කර ගත යුතුය.
කොඳු ඇට පෙළ ආශ්‍රිත වෙනස්වීම් සහ ආබාධ තත්ත්වයන්හිදී එය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රමවේදයට ද අවස්ථාව අනුව කාලය තීරණය වනු ඇත.
සාමාන්‍ය සන්ධිගත වාත වේදනාවන්හිදී දින කිහිපයක් හෝ වරු කිහිපයක් නිර්දේශිත තෙල් හා තැවිලි ප්‍රතිකාරය සිදුකිරීමෙන්ම විශිෂ්ට ප්‍රතිඵල අත්කර දෙයි.
සෑම අවස්ථාවකදීම ස්නේහ කර මිස (තෙල් ආලේප කර) ස්වේද (තැවිලි) චිකිත්සාව නොකළ යුතුය. තවා, තෙල් ආලේප කිරීමෙන් පේශි පටක ඉන්ද්‍රිය ආදී කොටස්වලට විශාල බලපෑම් පවා ඇතිවීමට පුළුවන. එහෙයින් තෙල් ආලේප කර තැවීමට වගබලා ගත යුතුය.
අනාධිමත් කාලයක පටන් වාත රෝග බොහොමයකදී තෙල් සහ තැවිලි ප්‍රතිකර්මය තුළින් විශිෂ්ට ප්‍රතිඵල රෝගීන් විෂයෙහි ළඟාකර ඇත. ඒ නියමිත ගුණ හා නියමිත ක්‍රමයට එම චිකිත්සාව සිදු කිරීම මගිනි. අප කරන ප්‍රතිකාර තුළින් ද රෝගීන් දහස් ගණනක් සුවය ලබා ඇති බවට බොහෝ අත්දැකීම් ඇත.
එලෙසටම මෙම ප්‍රතිකාරයේදී රෝගියාගේ ඇවතුම් පැවතුම් පත්‍ය අපත්‍ය යන කරුණු පිළිබඳව යම් සීමාවක් අවශ්‍ය වන්නේය.
වයස අවුරුදු 50-60 පසුවූ කාන්තා පිරිමි දෙපිරිසම හන්දි කැක්කුම නිසාවෙන් මැසිවිලි නගති. එවැනි අවස්ථාවලදී ඉතාමත්ම විධිමත්ව කරන්නාවූ ස්නේහ ස්වේද චිකිත්සාව තුළින් අති විශිෂ්ට ප්‍රතිඵල ළඟාවෙන බව ඉඳුරාම කිව හැකිය.
වෛද්‍ය අමිල බණ්ඩාර ගෝණිගොඩ සුවසහන මාලබේ
0775175409