ගණපති දෙති නුවණ

ffffඉසිවර පසුගිය ජුනි කලාපයේ ගණපති දෙති නුවණ මැයෙන් වූ ලිපියෙන් ගණදෙවියන්ගේ බලමහිමය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළෙමි. එම ලිපියේ ප්‍රධාන අරමුණ ලෙස විශේෂයෙන් සිප්සතර හදාරණ දූ දරුවන් වෙනුවෙන් නැණ නුවණ ලබා ගනිමින් සිය ජීවිත කාලය මුළුල්ලේම සාර්ථක ගමන් මගක් සනිටුහන් කිරීම සඳහා වත් පිළිවෙත් හඳුන්වා දීමයි.


ආරම්භයක් නොමැතිව අවසානයක් නැත. පහ වසරේ ඉගෙනුම ලබන පුංචි දූ පුතුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන් ඉදිරියේ ඇත. එය පහ වසර ශිෂ්‍යත්ව විභාගයයි. තුන වසරේ සිට පුංචි දූ පුතුන් මේ සඳහා වෙහෙසෙන බව හොරහසකි. දෙමාපියන්ගේ කැපවීම, ගුරුවරුන්ගේ කැපවීම, උපකාර පංති සහ දූ පුතුන්ගේ නොමද වෙහෙස අතිමහත්ය. පුංචි මොළයට හා මනසට දරාගත නොහැකි දැනුම් සම්භාරයක් එනම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා ගණිත ගැටලු විෂය නිර්දේශය තුළ අන්තර්ගත කර ඇත. දෙමාපියන්ගේ මූලික අරමුණ සිය දරුවා ඉහලම ලකුණු ලබා ගනිමින් ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමයි. වර්තමානයේ මෙම ලකුණු මට්ටම ද වසරෙන් වසර ඉහළ යයි. මේ නිසා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ඇතිවන මානසික තෙරපීම අතිමහත්ය.
එහෙත් දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුවද අසමත් වුවද එම දරුවා සිය අධ්‍යාපන ඉණිමගේ ඉහළට ඔසවා තැබීමත් ඒ සඳහා අවශ්‍ය පරිසරය සහ වටපිටාව සකස් කිරීම දෙමාපියන්ගේ කාර්යය භාරයයි. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් දරුවන් ලබා ගන්නා මූලික දැනුම් සම්භාරය අතිමහත් වන අතර ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ පමණින් දරුවා නොසලකා හැරීම නොකළ යුත්තේය.
ඈත පිටිසරබද පළාත්වල ළමුන් ඉහළම ලකුණු ලබන්නේ බෞද්ධාගමික වතාවත් සහ ගණදෙවියන් පිළිබඳ චාරිත වාරිත්‍ර විධි අනුගමනය කිරීමෙනි. ධාරණ ශක්තිය වැඩිදියුණු කර ගැනීම සඳහා ගණදෙවියන්ගෙන් පිහිට ගැනීම සහ සිය ජීවිත කාලයේ අධ්‍යාපන කටයුතු නිමකර ජයග්‍රහණ ලබන තෙක් ගණදෙවියන්ගේ පිහිට පැතීම නොනවත්වා කළ යුතුය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පුංචි දූ පුතුන්ට ගණදෙවියන් පිළිබඳ ලස්සන කතාන්දරයක් කියල දෙන්නම්. මේ කතාව හොඳට කියවන්න. ඉන්දියාවේ එනම් මහා භාරතයේ ගණදෙවියන්ට මහත් භක්තියෙන් පුද පූජා කරන බැතිමතුන් එදත් සිටියා අදත් ඉන්නවා. ඉස්සර කාලයේ ඉන්දියාවේ ඈත පිටිසර ගමක දුප්පත් පවුලක් හිටියා. ඒ ගෙදර හිටියේ අම්මයි, තාත්තයි, පුංචි පුතෙකුයි. මේ තාත්තා කොච්චර දුප්පත් වුණත් තමන්ගේ ගෙදර පිරිසිදු ස්ථානයක ගණදෙවියන්ගෙ රූපයක් තියල පුද පූජා කරනව. ටික කාලයක් යනකොට මේ පුංචි පුතත් තාත්තට උදව් කරනවා. තාත්තත් එක්ක කැලේට ගිහින් පලතුරු කඩාගෙන ඇවිත් පූජාව සකස් කරනවා.
තාත්ත ගෙදර හිටිය එළදෙනගෙන් කිරි අරගෙන මුලින්ම කරන්නෙ කිරි ටිකක් ගණදෙවියන්ට වෙන් කිරීම. ගණදෙවියො හරි කැමතියි අග්ගල වලට. පූජාවට තියන්න අග්ගලත් හදනවා. ඒ විතරක් නෙමෙයි ගණදෙවියො පලතුරුවලටත් ආසයිනෙ. ඒවත් කොහොම හරි හොයා ගෙන පූජාව ලෑස්ති කරල අර පුංචි පුතයි තාත්තයි එකට එකතුවෙලා ගණදෙවි රූපය ඉදිරිපිට ප්‍රාණයාම මන්ත්‍ර කියනව. හැබැයි පුංචි පුතාට පහුවෙනිදාට මේ කිසිවක් මතක නැහැ. තාත්තටයි අම්මටයි දුකයි පුතත් උදේටත් පාඩම් කරනව. හවසට පාඩම් කරනව. මතක නැහැ.
දවසක් මේ අම්මටයි, තාත්තටයි ඈත ගමනක් යන්න සිද්ධ වුණා. දැන් මොකද කරන්නේ නොකඩවා කරන ගණදෙවි පූජාව කරන්නෙ කොහොමද කියල තාත්තා දහ අතේ කල්පනා කරනව. පුංචි පුතා තාත්තා ළඟට ගියා. ගිහිල්ල මෙහෙම කියනව තාත්තෙ, අම්මෙ, ඕගොල්ලො යන්න මම දෙවියන්ගෙ පූජාව තියන්නම් කියලා. හොඳයි පුතේ කියල තාත්තයි අම්මයි උදේම පිටත්වෙලා ගමන ගියා. පුතා දන්නවනෙ පූජාව තියන හැටි. උදේම නැගිටලා එළදෙනගෙන් කිරි ටිකක් ගත්තා, කැලේට ගිහින් පලතුරුත් හොයා ගත්තා.
දැන් මේ පුංචි පුතා පූජාව තියන්න ලැහැස්තියි. ප්‍රාණයාම මන්ත්‍ර කිසිවක් පුතාට මතක නැහැ. කල්පනා කරනව කරනව. ඒත් මතකයට එන්නෙම නැහැ. දැන් මේ පුංචි පුතාට කේන්තියි. පුංචි පුතා හයියෙන් කෑගහල ගණදෙවියන්ට කතා කළා. පූජාව ලැහැස්තියි ඇවිල්ල කාල යන්න කියල. තුන් හතර පාරක් කිව්ව. ඒත් ගණදෙවියො ආවේ නැහැ. තුන් හතර පාරක් කිව්වා. ඒත් ගණදෙවියො ආවේ නැහැ. දැන් මේ පුංචි පුතා අඬන්න පටන් ගත්තා. මේ පුංචි පුතා අඬන ශබ්දය ගණදෙවියන්ට ඇහුණ. පුංචි පුතා බයවෙන හින්ද බ්‍රාහ්මණ වේශයක් මවාගෙන පුංචි පුතා ඉදිරියේ ගණදෙවි පෙනී සිටියා.
අර පූජාවට තිබුණ සියලුම දේ ගණදෙවියොයි පුංචි පුතයි අනුභව කළා. දෙන්නත් එක්ක සෙල්ලම් කළා. මොකද ගණදෙවියො පුංචි ළමයින්ට හරිම ආදරෙයි. පුංචි පුතාට මොනවද ඕනෑ කියල ගණදෙවියො ඇහැව්වා. පුංචි පුතා කිව්වා මට තාත්ත කියන ප්‍රාණයාම මන්ත්‍ර මතක හිටින්නෙ නැහැ කියලා. එතකොට ගණදෙවියො පුංචි පුතාගෙ ඔලුවට අත තියල වරමක් දුන්නා. පසුවදාත් ගණදෙවියො ආවා. එදාත් පූජාව අනුභව කරල සෙල්ලම් කරලා ගියා. මේ විදිහට අම්මයි තාත්තයි ගෙදර එනකන් පුතා මේ විදිහට ගණදෙවියොත් එක්ක එකට ඉඳල අම්මයි තාත්තයි එන දවසේ නොපෙනී ගියා.
අම්මයි තාත්තයි ගෙදර ඇවිත් පුතාගෙන් ඇහැව්වා පූජාව තිබ්බද කියලා. ඔව් තාත්තෙ කියල පුංචි පුතා කිව්වා. ගණදෙවියො ඇවිත් පලතුරුත් කෑවා. කිරිත් බිව්වා මාත් එක්ක සෙල්ලම් කලා කියලත් කිව්වා. පුංචි පුතාගෙ මේ කතාව අම්මයි තාත්තයි විශ්වාස කළේ නැහැ. කොච්චර පුතා කිව්වත් විශ්වාස කළේ නැහැ. පුතා කියන දේ ඇත්තද කියල බලන්න දවසක් තාත්තයි අම්මයි පූජාව ලැහැස්ති කරල තියල පුංචි පුතාට භාර දුන්නා. මේ දෙන්න හොරෙන් බලාගෙන හිටියා.
පුංචි පුතා හොඳට ප්‍රාණයාම මන්ත්‍ර කියනවා ඒත් ගණදෙවියෝ ආවේ නැහැ. පුංචි පුතා එදත් අඬන්න ගත්තා. දෙවියො අද නාවොත් තාත්තයි අම්මයි මට තලයි. මම බොරු කිව්ව කියල. අනේ දෙවියනේ එන්න කියල අඬන්න ගත්තා. එතකොටම ගණදෙවියො පෙනී සිටියා. අම්මයි තාත්තයි ගණදෙවියො ඉදිරියේ වැඳ වැටුණා. එදා ඉඳල මේ පවුල කිසිවක් අඩුවක් නැතිව සතුටින් ජීවත් වුණා.
එස්. ඩී. කන්නන්ගර,
0773299049
විද්‍යාවේදී විශේෂ උපාධි 1977