දියණියගේ කන් විදීම නිවැරදිව කරමු

දෙකන් විද අරුංගල්, කඩුක්කං හෙවත් තෝඩු යුගලක් පැළඳීම පෙර රජ දවස පටන් පැවත එන සිරිතකි. පුරානයේ ස්ත්‍රීන් පමණක් නොව බොහෝ පුරුෂයන්ද කන් විද කඩුක්කන් පැළඳූහ. ඒ අතර රජවරු, සිටුවරු වැනි ධනවතුන් ප්‍රමුඛය. අතීතයේ සේම වර්තමානයේද දුප්පත් පොහොසත් බේදයකින් තොරව කන් විද අරුංගල් දමනු දැකිය හැක. කඩුක්කං පැළඳීම ගැහැනුන් හා පිරිමින් අතර අතිශයින් ජනප්‍රිය වූයෙන් තුන්වැනි ශත වර්ෂයෙන් පසුව රෝම අධිරාජ්‍යයා පිරිමින්ට කන් විදීම හා අරුංගල් පැළඳීම තහනම් කළහ. මේ හේතුවෙන් අරුංගල් පැළඳීම කාන්තාවන්ට සීමා විණි. වර්තමානයේ එක කන් පෙත්තක නොයෙසේ නම් කන් පෙති දෙකේම අරුංගල් පළඳිනු වෙනුවට කන් පෙත්ත දිගේම රත්‍රං හෝ රිදී අරුංගල් කිහිපයක් පළඳිනු දැකිය හැක.


කන් පෙත්ත යනු කාටිලේජ වලින් සකස් වූ කොටසකි. කන් පෙත්ත දිගේ හිල් කිහිපයක් විද අරුංගල් පැළඳීම වෛද්‍ය විද්‍යාව අනුමත නොකරයි. ඒ අතුරු ආබාද ගෙන දිය හැකි බැවිනි. අරුංගල් විවිධ හැඩවලින් මෙන්ම විවිධ වටිනාකම් වලින් යුතුය. අරුංගල් නිපදවීම සඳහා රත්‍රං, රිදී, තබක්ක, පස්ලෝ වැනි විවිධ ලෝහ වර්ගත් මැණික්, මුතු, දියමන්ති හා බෙරලියන්තු වැනි වටානා ද්‍රව්‍ය ද භාවිත වේ. උක්ත ලෝහ වර්ග අතුරින් අලුත උපන් බිලිදියකට අරුංගල් දැමීම සඳහා මුලින් සකසන කන් වැල් ලෙස හඳුන්වන කරාබු විශේෂය සාදනුයේ පස් ලෝ වලිනි. මෙම  පස්ලෝ කන් වැල් කනේ අරුංගල් දමන සිදුර සකස් කර ගැනීමට යොදා ගනී. මෙලෙස පස්ලෝ කන් වැල භාවිතයෙන් කනේ අරුංගල් දමන සිදුර සැකසූ කල කුමන ලෝහයක අරුංගල් පසුකාලීනව පැළදුවද කන පැසවීමක් තුවාල වීමක් සිදු නොවේ. මෙහිදී සිදුරු කරන්නේ කන් පෙත්තේ පහළ ඇති කාටිලේජ කොටසයි. සාමාන්‍යයෙන් කන් විදීම සිදුකරන්නේ දියණියක ඉපදීම මාස කිහිපයක් ගත වන විටය. එහෙත් අවුරුද්දක් ගතවීමට පෙර කන් විදීම සාමාන්‍ය සිරිතයි. කන් විදීම සඳහා පුරාන සම්මත කාලසීමාව වනුයේ දැරිය ඉපදී මසක් ගතවූ පසු යෙදෙන ඉරට්ටේ දිනයක් හෝ මාසයක්ය. යම් හේතුවකින් කන් විදීම අතපසු වුවහොත් ඉරට්ටේ වසරක එය සිදු කළ යුතුය. කන් විදීම සඳහා සුදුසුම වයස දැරියට මාස 5 ක් 6 ක් පිරෙන විටය. කෙසේ වෙතත් දැරිය තේරුම් වයසට පැමිණි පසු කන් විදීම ගැටලු සහිතය. ඒ ඇය ඒ සඳහා ඉඩ නොදෙන නිසාත් සිදුර නිසි ස්ථානගතව විදීමට නොහැකි නිසාත් කනට දමන කන් වැල හෝ නූල ඇද කන ඉරා ගැනීම නිසාත්ය. ඇතමුන් කන විද සිදුර ඇහිරීම වැලැක්වීමටත් කන විද සිදුර ඉක්මනින් සුව වීමටත් කරපිංචා නැටි කැබලි ඇතුල් කරති. මෙසේ නොකිරීමෙන් කුඩා දැරියන්ගේ මෙන්ම ඇතැම් වැඩිහිටියන්ගේ ද කනේ විදි සිදුර ඇහුරුණු අවස්ථා ද නැතුවා නොවේ. දැරියකගේ කන් විදීම සිදු කරනුයේ ශුභ මුහුර්තයකට අනුවය. මෙම ශුභ මුහුර්තිය සාදනුයේ කලාව පිහිටන ක්‍රමයද සලකාය.
ග්‍රහස්ඵුට පංචාංග ලිතින් ශුභ මුහුර්ත සාදා ගැනීම පහසු කරවන චක්‍රවල කන් විදීම සඳහා නිර්දේශක කන්කාල ලග්න ලෙස මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර දැක්විය හැකි අතර කන් විදීමට සුදුසු නිර්දේශිත නැකැත් ලෙස මුවසිරස, පුනාවස, පුෂ, හත, සිත, සුවන, දෙනට, රේවතී හා තුනතුරු නැකැත් වන උත්‍රපල්, උත්‍ර පුටුප හා උත්‍රසල දක්වා ඇත. දැරියකගේ කන විදීමේදී ශුභ මුහුර්ත වේලාව වෛද්‍යවරයාට ලබාදී එම වේලාවට කන විදීමෙහිදී මුලින්ම කන් පෙති දෙකේම සිදුරු කිරීමට අවශ්‍ය තැන පෑනෙන් ලකුණු කරයි. ඊටපසු සර්ජිකල් ස්ප්‍රීතු වලින් කන් පෙත්තේ දෙපසම පිස දමා ඉදිකට්ටකින් කන් පෙත්ත විදී. මෙහිදී 100% නිවැරදිව සෑදූ කාර්ය සිද්ධි සහිත බලගැන්වූ නැකතකින් කන් පෙත්ත විදින විට දරුවාට වේදනාවක් ඇති නොවන බව ජ්‍යොතිෂ පිළිගැනීමයි. ඊටපසු විදූ සිදුරු නොවැසීම සඳහා සිදුර තුළට නූලක් දමා ගැටගසයි. සිදුරු කළ ස්ථානවල තුවාලය වේලෙන තුරු දරුවා නෑවීම මෙන්ම එම ස්ථානය තෙමීම නොකළ යුතුය. දැරියට නින්ද ගිය පසු එම නූල සෙමින් ඉදිරියට හා පසුපසට ඇදීමත් සජිකල් ස්ප්‍රීතු මගින් සිදුරු කළ ස්ථාන පිස දැමීම් කළ යුතුය. එසේ නොකළ විට නූල සිදුරටම ඇලේ. තවද එම නූල එහා මෙහා ඇදීමේදී දරුවාට වේදනාවක් නොවේ නම් කන සිදුරු කිරීමෙන් ඇතිවූ තුවාලය සුවවී ඇත. ඊට පසු නූල් ගලවා කන් පෙති දෙකට පස්ලෝ වලින් සෑදූ කන් වැල් දමා එය එහා මෙහා කරමින් කනේ සිදුරු කළ ස්ථාන සකස් කරයි. සිදුරු නියමාකාරව සකස් වූ පසු රත්‍රං අරුංගල් දමනු ලැබේ.
මීට අමතරව ඉහත ක්‍රමයටම වෛද්‍යවරයා ලවා ඉදිකට්ට වෙනුවට අරුංගලය මගින් කන විදීමද තවත් ක්‍රමයකි. මෙහිදී අරුංගල් පෙත්ත කන් පෙත්තේ පිටුපසට තබා තදකර කන් පෙත්ත සිදුරු කර අරුංගලය එවේලේම කනට දමයි. මෙය දරුවාට වේදනාකාරී වන අතර බොහෝ විට කන පැසවයි. තවද අතීතයේ දැරියකගේ කන විද්දේ කනේ පිටුපසින් දෙහි ගෙඩියක් තබා අමු කහ ආලේප කළ ඉදිකට්ටකිනි. එහිදී කන් පෙත්ත පසාරු කර දෙහි ගෙඩියද සිදුරු වන තුරු ඉදිකටුව යවයි. එම ඉදිකටුව ආපසු ගැනීමේදී දෙහි ගෙඩියේ ඉස්ම හා අමු කහ සිදුරු කළ ස්ථානයේත් සිදුරේත් තැවරී තුවාලය සුව වේ. මෙහිදී ද කනේ සිදුර හාවීම වැලැක්වීමට එම සිදුරට කුඩා කරපිංචා නැටි කැබලි ගසනු ලැබේ.
කන් විදීමට අවශ්‍ය දැරියගේ කනේ ප්‍රමානයට පස්ලෝ වලින් මුදු දෙකක් ආකාරයට අරුංගල් දෙකක් සාදා සුභ මුහුර්තයකින් දැරියගේ කන් පෙති වල තල තෙල් ආලේප කර මෙම මුදු හැඩති අරුංගල් කන් පෙති හරහා දමා තද කිරීම අතීතයේ පැවති තවත් එක් කන් විදීමේ ක්‍රමයකි. මෙය දැරිය නිදාගත්විට නිතර නිතර සිදු කිරීමෙන් දැරියට වේදනාවක් නොවී කන සිදුරු වීම කරගත හැක. මෙම ක්‍රමය කන් විදීමට සුදුසුම ක්‍රමය වේ. මෙහිදී කන පැසවීමක් ද නොවේ. පසුව එම සිදුරට රනින් කළ කරාබු දැමිය හැක.
කන විද්ද පසු දරුවාට වේදනාවක් නොදැනීමටත් දරුවා එම ස්ථානය ඇල්ලීම, කැසීම, ඇදීම ආදී දේ කිරීමෙන් වලකා ගන්න. මේ සඳහා ටික දිනක් ගතවන තුරු වැඩිහිටියකු අවධානයෙන් දරුවා ළඟට වී සිටින්න. කන් විදි දිනයේ දරුවාට වෙනිවැල්ගැට, කොත්තමල්ලි තැම්බූ වතුර ස්වල්පයක් බීමට දෙනු ලැබේ. විශේෂයෙන් දරුවාගේ කන් සුවවන තුරු ගෙදර අනෙක් අය කිළි සහිත ස්ථාන වන මල ගෙවල්, මල්වර ගෙවල් ආදී ස්ථානවලට යෑමෙන් වැලකිය යුතුය. යම් ලෙසකින් එවැනි ස්ථානයකට යෑමට සිදුවුවහොත් දරුවා අසලට ඒමට පෙර නා පිරිසිදු වී දෙහි ඉස්ම හිස පටන් සිරුරේ තවරා පිරිසිදු ඇඳුම් ඇඳ සූදානම් විය යුතුය. රෝහලකට ගොස් පැමිණිය ද පිරිසිදු විය යුතු ක්‍රමවේදය ඉහත ආකාරය. එසේ නොකෙරූ කල කිල්ලට අසුවී දරුවාගේ කන පැසවීම, ඉදිමීම, කන් පෙත්තේ බිබිලි දැමීම ආදී දේ සිදුවිය හැක.
ජ්‍යොතිෂවේදී, දේශබන්ධු,
මහේන්ද්‍ර පල්ලෙබැද්ද,
ජ්‍යොතිෂ් විඥ්ඥාචාර්ය (එම්ඒ)