මනුෂ්‍යයෝ ප්‍රවේශම් විය යුත්තේ ශක්තිය, ජවය, බලය තිබෙන කාලයේදීයි

සියලු මනුෂ්‍යයින් බලාපොරොත්තු වන්නේ ජීවත් වන කාලය පුරාම මානසික, ශාරීරික සහ ආර්ථික වශයෙන් සුවපත්ව ජීවත්ව සිටීමටයි. අවාසනාවට වැඩි පිරිසකට නොලැබෙන දෙයත් එයයි.
මෙහිදී මානසික සුවය සුවිශේෂීයි. මානසික සුවය ලබාගත හැකි සරල ක්‍රමවේදයන් පිළිබඳ අප මෙවැනි ලිපි කිහිපයක් මගින් පෙන්වාදී තිබෙනවා.


මෙම ලිපි කියවන ඉසිවර පාඨක භවතුන් විශාල පිරිසකගෙන් ඉසිවර පුවත්පතට ලැබෙන ලිපි, දුරකථන ඇමතුම්, ඊමේල් පණිවිඩ මගින් වැඩිපුරම ඉල්ලා සිටින්නේ මානසික සුවය පිළිබඳ ලිපි තව දුරටත් පළකරන ලෙසයි. එම ඉල්ලීම්වලට ගරු කරමින් මෙවරත් මානසික සුවය පිළිබඳ ලිපියක් පළ කරනවා.
අප විසින් මෙතෙක් පළ කරන ලද ලිපි කියවා බලා එහි සඳහන් කරුණු සහ යෝජනා අනුගමනය කරමින් සහ පිළිපැදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූ අය විශාල පිරිසක් සිටීමත් අපගේ බලවත් සතුටක් බව සඳහන් කළ යුතුයි.
ඔබ හොඳින් සිතා බලන්න කුමන කාලයේ ද? ඒ කෙසේද යන්න පිළිබඳව. මේ කාරණාව හොඳින් නිවැරැදිව දැනුවත් වීමත් මානසික සුවය ලබාගැනීමට බෙහෙවින් ඉවහල් වන හොඳ හේතුවක්.
අප හිතමු අලුත උපන් බිලිඳකු ගැන. මේ බිලිඳා තවමත් වටපිටාව දුටුවා පමණයි. කිසිවක් හඳුනා ගැනීමට තේරුම් ගැනීමට බිලිඳාට නොහැකියි. එහෙත් සීතල දැනිය හැකියි. කුසගිනි දැනිය හැකියි. වේදනාවක්, අපහසුතාවයක් දැනිය හැකියි. මේ කුමක් වුවත් ඔහු හෝ ඇය කරන්නේ හැඬීම පමණයි.
බිලිඳාට දුකක්, වේදනාවක් හෝ යම් අපහසුතාවයක් හටගත් වහාම ඒ පණිවිඩය මනසට යනවාඑවිට මනස අපහසුතාවයට ලක්වෙනවා. මනස ලබාදෙන ප්‍රතිචාරයක් ලෙසට තමයි හැඬීම සිදු කරන්නේ. මූලිකව මනස අපහසුතාවට ලක් වන්නේ එලෙසයි.
දිනෙන් දින බිලිඳාගේ වැඩීමත් සමඟ කෙමෙන් කෙමෙන් වටපිටාව හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. චලන වස්තු තේරුම් ගැනීමෙන් ආරම්භ වන මෙය ආලෝකය හඳුනා ගැනීම, වර්ණ හඳුනා ගැනීම, මව පියා හඳුනා ගැනීම, මනුෂ්‍යයින් සතා සිව්පාවන් ඇතුළු සියලු දේ කාලානුරූපීව හඳුනා ගැනීම් සහ තේරුම් ගැනීම් සිදුවෙනවා.
අනතුරුව ශරීරය වර්ධනය වීමත්, මනස ශක්තිමත් වීම හරහා බුද්ධි වර්ධනයක් සිදුවෙනවා. තමන් හැඬිය යුත්තේ කුමකට ද සිනහවිය යුත්තේ කුමකටද යන්න මනස තේරුම් ගන්නවා. දැන් දරුවා සතුටු වීමේදී සිනහවීමත් ආරම්භ වෙනවා.
ආදරය, දයාව, කරුණාව ඇතුළු යහගුණාංග මෙන්ම කෝපය, වෛරය ඊර්ෂ්‍යාව ඇතුළු දුර්ගුණාංග දරුවාගේ මනසට ඇතුළු වීමත් දරුවාගේ වැඩීමත් සමඟ සිදුවෙනවා. (තමන් උපදින විටදී රැගෙන ආ පිං ගස සහ පව් ගසේ බලවත්කම අනුව දරුවාගේ මනසේ දුර්ගුණාංග සහ යහගුණාංග අඩු වැඩි වීම සිදුවෙනවා.
තව දුරටත් දරුවා වැඩෙත්දී විවිධ දේවල්වලට ආශාවන් ඇතිකර ගන්නවා. විවිධ චර්යාවන්, විවිධ ආහාර පාන, විවිධ ඇඳුම් පැළඳුම් වැනි දේ ඉල්ලන දරුවා ඒවා නොලැබෙන්නේ නම් හෝ ලැබීම පමා වන්නේ නම් කරන එකම කාර්ය වන්නේ මනස අපහසුතාවට ලක්කර ගනිමින් හැඬීමයි. ඉන් අනතුරුව යම් යම් ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට පවා දරුවා යොමු විය යුතුයි. (අප මෙහිදී ප්‍රකාශ කරන්නේ දරුවා ඉල්ලන සියලු දේම දරුවාට ලබාදීමට දෙමාපියන්ට හෝ භාරකරුවන්ට යෝජනා කිරීම නොව, අවශ්‍ය දේ පමණක් දරුවාට ලබාදී දයාව, ආදරය, කරුණාව පෙරදැරි කරගෙන කරුණු පහදා දී දරුවාගේ මනස සුවපත් කිරීම සුදුසු බවයි.)
මෙලෙස වැඩෙමින් වසර 10-15 ඉක්මවමින් තරුණ වියට එළඹෙන්නේ ශක්තිය සහ ජවය ද වර්ධනය වෙමින්.
ශක්තිය සහ ජවය සහිත තරුණ වියේ බහුතර පිරිසක් කරන්නේ දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් ලබාදෙන අවවාද අනුශාසනාවලට කන් දෙනවාට වඩා තම ශක්තිය සහ ජවය ගැන විශ්වාස කරමින් හොඳ නරක ගැන වැඩි තැකීමක් නැතිව තමන්ගේ හිතුමනාපයට වැඩ කිරීමයි. නැතිනම් තනි තීරණ ගැනීමයි. එහිදී ගන්නා හැම වැරැදි තීරණයකම ප්‍රතිඵල පසුකාලීනව තම මනස ව්‍යාකූල කිරීමට නැත්නම් අපහසුතාවයට පත් කිරීමට හේතුවෙනවා.
මනුෂ්‍යයකුගේ ක්‍රියාශීලී අවධිය වන්නේ ශක්තිය, ජවය, බලය ඇති අවධියේදීයි. බොහෝ අය මේ කාලයේදී කිසිවක් කිරීමට බිය වන්නේ නැහැ එනිසාම ඔවුන් අතින් බොහෝ වැරැදි දේ සිදුවිය හැකියි. ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු අවධිය මෙයයි. වැරදි දේ කරන තරමටම තමන්ගේ පව් ගසද බලවත් වෙනවා. එවිට තව තවත් වැරැදි දේ කිරීමට තමන්ව පොළඹවනවා.
ඕනෑම කෙනෙකු සතු බලය ඕනෑම මොහොතක ගිලිහිය හැකියි. බලය ගිලිහීම බරපතළ මානසික අසහනයකට ලක්වීමක්.
බලය ගිලිහුණු විට මනස පීඩාවට පත්වීමත් ඉන් අණතුරුව විවිධ රෝගාබාද ඇතුළු ශාරීරික දුර්වලතා ඇතිවීමත් ඇතිවිය හැකියි.
ශක්තිය, ජවය, බලය ඇතිකළ බුද්ධිමත්ව කටයුතු නොකළ හොත් මහලු විය ගත කරන්න වන්නේ කල කී දෑ ගැන පසුතැවිලි වෙමින් සහ මානසික පීඩාවකින් යුක්තවයි.
බොහෝවිට මනුෂ්‍යයින් වැරැදි කරන්නේ තමන්ට ශක්තිය, ජවය, බලය තිබෙන කාලයේදීයි. මහලු වියේදී වැරැදි කිරීම ඉතාමත්ම අඩුයි.
එනිසා ශක්තිය, ජවය, බලය ඇති කළ හැම කටයුත්තක්ම දෙවරක් සිතා බලා ප්‍රවේශමෙන් කටයුතු කිරීම තුළින් මුළු ජීවිත කාලය පුරාම මානසික ඒකාග්‍රතාවය රැක ගනිමින් යහපත්ව සිටීමට හැකියාව ලැබෙන බව පැවසිය යුතුය.
ලබන කලාපයේ තව කොටසක්
සැකසුම
අමරසිංහ මාලගේ