හරියට හිටියොත් ගැහැනියට පිරිමියාට පෙර නිවන් දකින්න පුළුවන්

ගැහැනිය බිරිඳක් වූ පසු ගෙදර බුදුන් කියලා කියනවා. මේ උත්තරී තත්ත්වය රැකගෙන කටයුතු කරන ගැහැනුන් අද කීදෙනාද ඉන්නෙ. බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ සුත්ත නිපාත වග්ගයේ හොඳ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. මේවා පැහැදිලි කර දියයුතු පුද්ගලයන් මේවා පහදා දෙනවාද උගන්වනවාද? මේවා හරි විදිහට ගැහැනුන්ට කියා දෙනවා නම් කවදාවත් මොලේ හැඳිමිටේ දිග වන්නේ නෑ. ගැහැනියට පුළුවන් පිරිමියකුට පෙර නිවන් සැප ලබන්න.

ඒ තම ගැහැනුකම හරිහැටි තේරුම් ගෙන ජීවත් වනවා නම් පමණයි. මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ ඇත්ත ඇති සැටියෙන් දැක ගැහැනුකම තේරුම්ගෙන එක ගැහැනියක් හෝ ජීවිතය ලස්සන කරගන්නවා දැකීමයි. සරත් බන්ධනයට ඇතුල් වීමට පෙර විවාහය යනු කුමක් දැයි ඔබ වටහාගත යුතුයි. විවාහය යනු ලිංගික ජීවිතයට අවසරයයි. ඉන්පසු දෙදෙනකු නොව එක්කෙනකු බව වටහාගත යුතුය. මේ බන්ධනයට ඇතුල් වන ගැහැනිය මුලින්ම මව් පදවිය ගැන සිතිය යුතුය. මුලින්ම මම අම්මා කෙනකු වන්නේ කොහොම දැයි අවබෝධ කරගත යුතුය. ඊළඟට ඒ තත්ත්වයෙන් ලැබෙන සම්පත් සමාජයට කෙසේ දායාද කළ යුතුද යන්න ගැන දැනුමක් අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතුය. ගුණදහමින් පිරි නුවනින් පිරුණ දරුවන් සමාජගත කරන්න ඔබ දත යුතුයි. මෙය තමයි ඔබ ලබන පිරිමියෙකුට පෙර නිවන් ලබන්න හේතු වාසනා වන පින. සිහිතබා ගන්න. නොවරදින සත්‍යයක්. ඊළඟ පින තමයි ඔබට මේ පදවිය ලබා මේ පින් රැස්කර ගන්න මේ වාසනාව උදා වුණේ කෙසේ දැයි අවබෝධ කර ගැනීමයි. ඔබ මව් පදවිය මුදලට ලබා ගත්තාද? අම්මා, තාත්තා දුන්නාද නැතිනම් ස්වාමිපුරුෂයා කියන පිරිමියා දුන්නාද? මේ තත්ත්වය ඔබේ සහකරු ඔබට ලබා දෙන උතුම්වූ දායාදයි. එහෙනම් ඒ පිරිමියාට දෙවියකු සේ රැකගත යුතුය. මේ නිසයි “ගැහැනියට පුළුවන් මිනිසෙකු දෙවියෙක් කරන්නත් සතකු කරන්නත්” කියල පිරුලක් අප අතරේ භාවිත වන්නේ. ඔබ ඒ තත්ත්වය ලබා දුන් පිරිමියාට විරුද්ධ වුණොත් කවදා හෝ විඳවන්න වනවාමයි. සුත්ත නිපාත වග්ගයේ ඇති ස්ලෝක වලින් මේ බව තේරුම් ගන්න පුළුවන්. එක් ස්ලෝකයක මෙහෙම සඳහන් වනවා. “ගැහැනියක් බිරිඳක් වූ පසු මවක් විය යුතුය. සොහොයුරියක් විය යුතුය. යෙහෙලියක් විය යුතුය. සුන්දර බිරිඳක් ලෙස නියම පහස ලබාදිය යුතුය. මෙවන් ගැහැනියට දෙව් සුව අනිවාර්යයි. නිවන් සැප අනිවාර්යයි. එතකොට ඔබට නිවන් ලබන්න හේතු වාසනා ලබන්න කාරණා දෙකක් මා සඳහන් කළා. මුලින්ම ස්වාමියාට දෙවියකු ලෙස සලකන්න. ඊළඟට යහපත් පුරවැසියන් සමාජගත කරන්න. අනිකුත් පින් හා කුසල් ඊළඟට කල්පනා කරගන්න. එයත් බුදුන් වන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට “අනුන්ට කරදරයක් නොකර ජීවත් වන්න” එවිට ඒ පින් හා කුසල් ඉබේටම ලංවෙනවා.
කවදාවත් අඩෝවැඩියාව ගේ තුළ එපා. ඒක මහා හූනියමක් ඔබගේ ශබ්ද කෝෂයෙන් පවුලේ ප්‍රශ්නවලදී පමණක් “නෑ” “බෑ” වචනය මකා දමන්න. මට හිමි දේ පමණයි මා ළඟ රැඳෙන්නෙ කියන දහම අනුව කටයුතු කරන්න. අනිත් අය මහ දවල් අසූහාරදාහේ ආලෝක පූජා තබනවා කියා ඔබත් මිනිහට වද දීලා ණයවෙලා මේවා කරන්නන් වාලේ කරන්න එපා. දෙවියන්ට පහනක් පත්තු කරනවා නම් ඉර බැස ගියාට පසු ආලෝක පූජා තබන්න. පහනක් පත්තු කර ඔබ බලාපොරොත්තු වන්නේ ආලෝක පූජාවක් නම් දවල් කාලයේ හිරු ආලෝකය මදිය කියා හිතනවා නම් පමණක් ආලෝක පූජා පවත්වන්න. එසේ නැතිනම් ඔබ කරන්නේ අපිව ජීවත් කරන්න උදව් කරන හිරු ග්‍රහයාට නින්දාවක් බව අමතක නොකරන්න. මතවලට රැවටිලා ගොස් ජීවිතය කාලකන්නි කරගන්න එපා. විශේෂයෙන්ම ගැහැනුන් ළඟ තිබෙන පිරිමින් ළඟ නොතිබෙනවා නොවෙයි, දුර්වලකම්වලින් ඔබ මිදෙන්න, මා ළඟ හැංගිලා හෝ තිබෙන මේ දුර්වලකම් වලින් මිදෙන්න මම ඒව මටම මතක්කර ගන්නවා ඉන් මිදෙනවා කියල පහත සඳහන් දේ කියන්න පුරුදු වන්න. ඔබ ළඟ නැති ඔබ නොකරන දේවල් වලින් වලකිමි කියනවට වඩා ඔබ ළඟ නොදැනුවත්ව හෝ තිබෙන කිලිටි සිතිවිලි පුරුදුවලින් සුළු වශයෙන් මිදෙන්න හැකි නම් එය කුසලක්ම වනවා. කුසල් යනු බැඳීම් වලින් ඉවත් වීමයි. ලැබෙන සතුට ඔබටම අත් විඳින්න පුළුවන්. “මම ඊර්ෂයා නොකරමි” “මම වෛර නොකරමි” “මම අධික තන්හාවෙන් කටයුතු නොකරමි” “මම අන්ධ විශ්වාසයෙන් කටයුතු නොකරමි” “මම අන්ධ භක්තියෙන් කටයුතු නොකරමි” මෙම පංච ශීලයෙන් අනිවාර්යෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් බව මගේ අත්දැකීමයි.
විශ්ව ශක්තීන්ට ගරු කරන්න අවනත වන්න. ඔබ හරි යැයි කියා කිසිවිට නොසිතන්න. හුඟක් ගෑනු හදනවා ඒ අයට ඕන විදිහට අනිත් අය හදාගන්න. ඒක ඔබ නොමග යවන සිතුවිල්ලක්. හොඳ දේවල්වලට ඇහුන්කන්දී හොඳ තෝරා බේරා ගෙන ඉදිරිය ගැන සිතා කටයුතු කරන්න. “හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී”
ආර්. එස්. තුඩුගල