මිනිස් සිරුරින් දුගඳ හැමීම නවතාලිය හැකියි

nnඅප ජීවත්වීමේදී විශේෂ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ තමාටත්, අනුන්ටත් හිරිහැරයක්, පාඩුවක් නොවන පරිදි ජීවත් වීමය. හිරිහැර හෝ පාඩු විවිධාකාරය. එනම් ගහබැණ ගැනීම, භාණ්ඩ සොරකම් කිරීම ශුභ කටයුතුවලට බාධා කිරීම, මුලා කිරීම ආදී වශයෙනි.

එසේම අප පිරිසක් සමග හෝ තවත් කෙනකු සමඟ කතාබහ කිරීමේදී එකට වාඩිවී සිටීමේදී වැඩ කිරීමේදී අපෙන් අනෙකාට සිදුවිය හැකි විශේෂ හිරිහැරයකි. තමාගේ මුඛයෙන් හෝ ශරීරයෙන් හෝ ඇඳුමෙන් හෝ නික්මෙන දුර්ගන්ධයකි. මීට හේතු වන්නේ නොදැනුවත්කම නොසැලකිලිත්කම ලෝභකම කම්මැලිකම, දුප්පත්කම වැනි විවිධ කරුණුය.
මිනිස් සිරුර උපමා කර ඇත්තේ “නව සිල් බඳුනකට”ය. හෙවත් ‘හිල් නවයක් ඇති භාජනයකටය. මේ හිල් නවය මොනවාද? ඒවා නම් ඇස් දෙක, නාසාපුට දෙක, කන් දෙක, මුඛය, ගුද මාර්ගය සහ ලිංගේන්ද්‍රිය යන නවයයි. භාජනයක හිලක් ඇති වුණොත් සිදුවන්නේ එහි යමක් දැරීමේ අපහසුතාවය පමණි. සමහර විට එම සිදුරු පිළියම් කිරීමෙන් භාජනයෙන් ප්‍රයෝජනයක් ගැනීමට හැකි වෙයි. එහෙත් මිනිස් සිරුරේ ඇති සිදුරුවලින් නිසි ප්‍රයෝජනය ගත හැකි වන්නේ ඒවා නිසි ලෙස පවිත්‍රව තබාගැනීමෙනි.
පිටට පෙනෙන, නිතර භාවිතා වන ප්‍රධාන සිදුර (හිල) වන්නේ මිනිසාගේ මුඛයයි. මෙය අපිරිසිදු වීමෙන් සර්වාංගයම රෝගී වීමට අපිරිසිදු වීමට ඉඩ ඇත. මිනිසා ජීවත් වීම සඳහා ආහාර පාන ගන්නේ මුඛය මාර්ගයෙනි. ආහාර ගැනීමෙන් පසු කෙසේ හෝ සුළු ආහාර කොටස් දත් අතරේ රැඳීමට ඉඩ ඇත. ඒ නිසා ආහාර ගැනීමෙන් පසු දත් කටුවකින් හෝ කරද, පිල, කොහොඹ වැනි මුලකින් සාදා ගත් දැහැටි කූරකින් දත් අතර පිරිසිදු කළ යුතුය. ඉන් පසු දිව, උගුර සමග ඇඟිල්ලෙන් පිරිමැද හොඳින් සෝදා දැමිය යුතුය. හැකිනම් දුම්කොළ නැතිව බුලත් කරුංගා පුවක් සහ හුණු ස්වල්පයක් සහි බුලත් විටක් සපා කෙළ ටික ගිල, හපය ඉවත දමා කට සෝදා ගැනීම මැනවි. බුලත්වලින් විෂ නැසීමත්, කරුංගා පුවක් වලින් ආහාර දිරවීමට අවශ්‍ය පිත වර්ධනය කිරීමත්, හුණු වලින් ආමවාතය සහ ආහාර දිරවීමේ ක්‍රියාවලියේදී පක්වාශයේ ඇතිවන ආමවාතය හා වෙනත් අපිරිසිදු වාතයන් නැසීමත් සිදුවෙයි. රාත්‍රි නින්දට යන්නට පෙර ද ඉහත සඳහන් පරිදිම බුලත් විටක් සපා කට සෝදා ගැනීමෙන් රාත්‍රි කාලයේ මුඛයේ ඇතිවිය හැකි අම්ල ගතිය සහ වෙනත් විෂ ගතිය දුරුවෙයි.
විදුරුමස්වලින් ලේ ගැලීම, ඉදිවීම, දියවීම, දත් දිරා යෑම වැනි රෝගාබාධ ඉහත කී ක්‍රමයෙන් වලකා ගත හැක. දත් මැදීම සඳහා නවීන දන්තාලේප වර්ගත් දත් බුරුසු වර්ගත් මම අනුමත නොකරමි. ඒවායින් විවිධ රෝග ඇතිවිය හැක. දත් මැදීම සඳහා කොහොඹ, කරද, පිල වැනි දඬු වර්ග වලින් සාදා ගත් දැහැටි ද ඒවා පුළුස්සාගත් අඟුරුද ඉතා යෝග්‍ය බව බුද්ධිමත් ඉංග්‍රීසි වෛද්‍යවරු පවා අනුමත කරති. එවැනි අඟුරු, පාන් සහ කරුංගා පුවක් පුළුස්සා ගත් අඟුරු කරාබුනැටි, සස්සඳ මුල්, මාදං පොතු, අරළු, සුදු හඳුන්, ගම්මිරිස්, ගොරක, ලුණු ආදිය වියලා කුඩුකර සාදා ගන්නා ලද කුඩුවලින් දත් මැදීමෙන් මුඛයේ ඇති විය හැකි දත් පණුවන් කෑම ඇතුළු සියලුම රෝග වළකා ගත හැකි බව මම අද්දැකීමෙන් ප්‍රකාශ කරමි.
මුඛයේ ඇතිවන දන්ත රෝග ඇතුළු සියලුම රෝග නිවාරණය හා වළක්වා ගැනීම සඳහා පොල් මුල්, පුවක් මුල්, කොහොඹ මුල්, අරළු, සුදුහඳුන් සමව ගෙන සාදා ගන්නා ලද කසායෙන් නිතර කට සේදීම ඉතා සුදුසුය. එසේ කළ විට කට ගඳ නමැති අප්‍රියභාවය සම්පූර්ණයෙන්ම වළකාගත හැකි බව මම දනිමි. මත්පැන් පානය, දුම් පානය, මාංශ භක්ෂණය සහ දුම්කොළ සැපීම කටගඳ ගැසීමට ප්‍රධාන හේතු වෙයි.
දිනකට කීප වරක් ඇස් සොදින් සෝදීමත්, දිය නෑමෙන් පසු පිරිසිදු පාන් තරයක් කණ ඇතුළ පිස දැමීමෙන් කණ් දුඟද නැති කරයි. නාසය ඉතා හොඳින් සූරා සොටු ඉවත් කර නාස් පුඬු තුළ මනාව සුද්ධ කළ යුතුය.
මළ පහ කිරීමෙන් පසු ගුද මාර්ගය සබන් දමා සේදීමත් ගුද මාර්ගය තුළට ඇඟිල්ල දමා ගුද මාර්ග ඇතුළ ඉතා හොඳින් සේදීමත් කළ යුතුය. ගුද මාර්ගය දවසට කීප වරක් සේදීම කළ යුතුය.
මුත්‍රා කිරීමෙන් පසු මුත්‍ර මාර්ගය ඉතා හොඳින් සේදිය යුතුය. විශේෂයෙන්ම ස්ත්‍රී පක්‍ෂය ඒ ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. ස්ත්‍රීන්ගේ යෝනිය, ගර්භාෂයේත්, මුත්‍රාෂයේත් අපද්‍රව්‍ය පිට කරන ස්ථානය වන්නේය. ස්ත්‍රීන්ට රක්ත ප්‍රදරය, ශ්වේත ප්‍රදරය, මාස් ශුද්ධිය වැනි විවිධ හේතු නිසා යෝනි ප්‍රදේශය නිතර කිළිටි වීමට ඉඩ ඇත. එහෙයින් දිනකට කීප වරක් සබන් යොදා යෝනි ප්‍රදේශය සේදීම කළ යුතුමය. එසේම පුරුෂ පක්‍ෂය ද තම ලිංගේන්‍ද්‍රිය දිනකට කීප වරක් හොඳින් සෝදාගත යුතුය.
මේ ආකාරයෙන් මිනිසා තම සිරුරේ ඇති ‘හිල් නවය’ පිරිසිදුව තබා ගැනීමෙන් තමා ළඟ එන දුඟද නැති කරගත හැක. යමෙකු ළඟ ඇති දුඟද වෙනත් අයකුට දැනෙන ප්‍රධාන කරුණු දෙක වන්නේ මුලින් සඳහන් කළ පරිදි මුඛය වන අතර දෙවැනි කරුණ වන්නේ ඇඳුම්ය. බොහෝ දෙනාගේ ඇඳුම්වලින් තද දුඟදක් නික්මෙයි. ඊට හේතුව ඩහදියයි. මාංශ භක්ෂණය කරන මත්පැන් හා දුම් පානය කරන සහ දුම්කොළ සපන තැනැත්තාගේ ඩහදිය ඉතා දුගඳකින් යුක්තය. එම ඩහදිය තැවරුණු ශරීරයෙන් තද අප්‍රසන්න දුර්ගන්ධයක් නික්මෙයි. එම ඩහදිය තැවරුණු ඇඳුම්වලින් ඊටත් වඩා දුර්ගන්ධයක් පිටවෙයි. එවැනි ආහාර භාවිතා කරන අයගේ මුත්‍රා ද තද දුඟදකින් යුක්තය. ඉහත කී වැරදි වලින් දුරුව පලා වර්ග සහ වෙනත් එළවළු වර්ග අනුභව කරන කෙනකුගේ සිරුරෙන් කිසි දිනක ඩහදිය ගඳක් හමන්නේ නැත. දින කීපයක් නොනෑවත් ඇඳුම් නොසේදුවත් අල්ප මාත්‍රයකින් හෝ කිසිදු දුඟදක් නිකුත් නොවෙයි. ඕනෑම කෙනකු සමග ඕනෑම ජන සමූහයක් සමග සැකයකින් තොරව හැසිරිය හැක. එක තැන දිනපතා මුත්‍රා කළත් එතැන දුඟද නැත. අවට පරිසරයේ ඇති පෝටා දලු, අත්තික්කා කොළ, කිරිඅඟුණ, කුරිඤ්ඤං, මොනරකුඩුම්බිය, තෝර, ඇත්තෝර, දිය මෙනේරි, ගැට තුබ, කැබැල්ල දලු, පැෂන් කොළ, කිරිහැන්ද, කුප්පමේනිය, කිරිමදු, කෝවක්කා කොළ වැනි කොළ වර්ග තනි තනිව හෝ කලවම් ඇඹුලක්, මැල්ලුමක් වශයෙන් සකසා ගෙන අනුභව කරන්නේ නම් ශරීරයේ දුඟදත්, විවිධ රෝගත් දුරුවී දීර්ඝායුෂ ඇතිව ඉතා සතුටින් දිවි ගෙවිය හැකි බව මම තරයේම ප්‍රකාශ කරමි.
ආයුර්වේද විශාරද පණ්ඩිත රා.මු.ක. බණ්ඩාර
වේගොල්ල, මාස්පොත
0723920873