සැවොම අසුවීමට බිය කිල්ල

ගැමි ජනයා අතර ඉතා ප්‍රචලිත පචනයකි කිල්ල. පුරාණ ගැමියන් මෙන්ම අද වෙසෙන ජනයාද කිල්ල යන වචනයට මහත් බියක් දක්වයි. කිලි යනු සරලව කියතොත් අපිරිසිදු, අපවිත්‍ර, අපවිත්‍ර යන්නයි. මෙම කිලි බොහෝ විට පුද්ගල ශරීරය තුළින්ම හටගනී. එනම් ස්වභාවික හේතු මත ශරීරය අපවිත්‍ර වී විෂබීජ හටගැනීම කිලි සේ සැලකේ. පුද්ගලයන් තුළින් කිලි ඇති වන ආකාර කිහිපයකි. ඒ අතර ප්‍රසූත කිල්ල, මල්වර කිල්ල, ඔසප් කිල්ල, මඟුල් කිල්ල හා මරණ කිල්ල ප්‍රධාන ස්ථානයක් ගනී. මෙම කිලිවලින් මරණ කිල්ල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු වුවද අනෙක් කිලි සියල්ල ස්ත්‍රී පාර්ශවයෙන් ඇති වේ.


පුරාණයේ සිටි බමුණන් ස්ත්‍රීන් අපිරිසිදු යැයි පවසා නිතර කොන් කිරීම සිදු කළහ. නමුත් එය ඉතා අසාධාරණ ක්‍රියාවකි. ස්ත්‍රීන්ගේ ජීවිත ගමනේ යම් යම් වකවානුවල සිදුවන ශාරීරික වෙනස්වීම් පදනම් කර ගනිමින් සිදුවන විෂබීජ මෞත්‍ර ලිංගික පද්ධතිය හරහා පිටවීම, මුළු ජීවිත කාලය පුරාවටම ඇය කොන් කිරීම අනුමත කළ නොහැක. ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුළ පමණක් දැකිය හැකි මෙම කොන් කිරීම බටහිර සමාජයේ අද දක්නට නැත. ඔවුන් මේවා කිසිසේත් පිළිනොගනී. ස්ත්‍රීන් තුළින් කිලි හට නොගත්තා නම් ලොවෙහි පැවැත්ම ඇති නොවනු ඇත. පිරිසිදු යැයි කියන පුරුෂයින්ද ලොව තුළ දක්නට නොලැබෙනු ඇත. මොකද කිලි සම්බන්ධව ලිවීමේදී මතක්කර දිය යුතුම කරුණකි.
ඉහත සඳහන් කිළි බලපැවැත්වෙන කාලසීමා ද විවිධය. මල්වර කිල්ල දින 12 ක් පවතින බවද, ප්‍රසූත කිල්ල දින 30 ක් පවතින බවද, මරණ කිල්ල දින 90 ක් පවතින බවද, මාස් ශුද්ධිය හේතු කොටගෙන ඇතිවන කිල්ල දින 3, 4 පවතින බවද පුරාණ පොත පතේ සඳහන් වේ. මඟුල් කිල්ල ද දින 7 ක් පවතින අතර එය සමාජය තුළ එතරම් ගණන් නොගනී. මෙම කිල්ල සෑම මඟුල් ගෙදරකම නොපවතී. චරිතය, පිරිසිදු ස්ත්‍රියක් විවාහ පත් වූ මංගල්‍යයක පමණක් මෙම කිල්ල පවතී.
මල්වර කිල්ල යනු දියණියකගේ පළමු ඔසප් වීමයි. මෙහිදී දැරිය දින 7 ක් පමණ වනතුරු සමාජයෙන් වෙන්කර මුළුගන්වා තබයි. මෙම මල්වර කිල්ලට බොහෝ දෙනා මහත් බියක් දක්වයි. මල්වර කිල්ල දින 12 කදී අවසන් වන නමුත් දැරියක් මල්වර වී දින 90 ක් යන තුරුම කිළි පවතිනු ඇතැයි පුරාන ජනයා තුළ විශ්වාසයක් පැවතින. එබැවින් එම මල්වර වූ දැරිය දේවාල, විහාරස්ථාන වැනි ශුද්ධ භූමි කරා එදා මෙන්ම අද ද කැටුව නොයයි.
ප්‍රසූත කිල්ල යනු දරුවකු ප්‍රසූත කිරීමේදී ඇතිවන කිල්ලයි. මෙම කිල්ල ඉතා දරුණුය. මෙය මරණ කිල්ලට පමණක් දෙවැනි වේ. මෙම ප්‍රසූත කිල්ල තරමක් දුරට හෝ අඩුකර ගැනීමට පුරාණ කාන්තාවන් පාවට්ටා කොළ, තෙල් එරඬු කොළ, නික කොළ, දෙහි කොළ යන ඖෂධීය කොළ වර්ග තම්බා ගත් ජලය දරුවා ප්‍රසූත කර දින 9 ක් හෝ 10 හෝ 15 ක් හෝ ගිය තැන නෑම සිදු කරයි. එහිදී ප්‍රසූත කිල්ලේ ඇති දරුණුකම තරමකට හෝ පහවන බව පිළිගැනීමයි.
මරණ කිල්ල පුරා දින 90 ක් ම පවතින, කිළි අතර දරුණුතම කිල්ලයි. මෙම කිල්ල ඇති නිවෙස්වලට බොහෝ දෙනෙක් යෑමට අසතුටුය. මන්ද ශරීරයේ යම් ස්ථානයක කුඩා තුවාලයක් තිබුණ හොත් එය පැසවන තත්ත්වයට පත් වේ. යන්ත්‍ර, සුර ආදිය පැළඳ සිටී නම් ඒවා පුපුරා යෑම හෝ බල බිදීම සිදුවන බැවිනි.
ඔසප් කිල්ල හෙවත් රජස් කිල්ල යනු මල්වර වූ දියණියක් මැදි වයස ඉක්මවන තෙක් මාස්පතා සිදුවන ආර්ථවයයි. මෙම කිල්ල බොහෝ විට දින 3, 4 ක් පවතී. මෙම කිල්ලට ජනයා එතරම්ම බියක් නොදක්වයි. නමුත් එම ස්ත්‍රිය හා පිරිසිදු වන තෙක් දේවාල, විහාරස්ථාන ආදී පිරිසිදු ස්ථානවලට යෑමෙන් වලකී.
මෙයිට අමතරව සොහොන් බිම්, රෝහල් මෘත ශරීරාගාර, ආදාහනාගාර ආදී ස්ථානද කිළි සහිත ස්ථාන වේ. එනිසා මෙවැනි ස්ථානවලටද ජනයා යන්නේ නොයා බැරිම අවස්ථාවක පමණි. කිල්ලට මිනිසුන් බිය වුවද යක්‍ෂයන්, ප්‍රේතයන් ආදී කොට ඇති අමනුෂ්‍ය කොට්ඨාශ දැඩි ආශාවක් දක්වයි. එනිසාම කිලි සහිත වූ පුද්ගලයන්ට අදෘශ්‍යමාන දෝෂ ඇති වීමේ ඉඩකඩ වැඩිය. එනිසා කිළි වූ පුද්ගලයන් බොහෝ පරිස්සම් කළ යුතුය. විශේෂයෙන් මල්වර වූ දියණියන් මෙන්ම දරුවකු ප්‍රසූත කළ මවක් බොහෝ පරිස්සම් කළ යුතුය. විශේෂයෙන් මල්වර වූ දියණියන් මෙන්ම දරුවකු ප්‍රසූත කළ මවක් බොහෝ පරිස්සම් විය යුතුය. නොයෙසේ නම් අමුනුෂ්‍ය බලවේග නිසා අතුරු ආබාධවලට ලක්වීමට සිදුවිය හැක. ඒ අතර තනිකන් දෝෂ, වලිප්පුව ආදිය ප්‍රධාන ස්ථානයක් ගනී.
ස්ත්‍රීන් ගෙන් හෝ ස්ථාන වලින් පමණක් නොව කිළි සහිත ආහාර ගණනාවක්ද පුරාණ පොත පතේ සඳහන් වේ. ඒ අතර ඌරු මස්, හරක් මස්, මොනර මස්, මගුරන්, අලුකෙසෙල්, අලු පුහුල්, තෝර මාළු, මෝර මාළු, මඩු මාළු,  බිළු දඬු, කංකුං, ඉස්සො, දැල්ලො, කකුළුවො ප්‍රධාන ස්ථානයක් ගනී.
කිල්ලේ බලය අති මහත්ය. එයට ජීවම් කළ යන්ත්‍රයක් පිළිස්සීමට මෙන්ම පුපුරා හැරීමට ද හැකියාව ඇත. ශරීරයේ ඇති ඇසට නොපෙනෙන තරමේ කුඩා සීරීමක් ලොකු වනයක් බවට පත් කළ හැක. එනිසා මෙවැනි කිලි වලින් අප කවුරුත් ප්‍රවේසම් විය යුතුය. සමාජයේ ජීවත් වන අප කවුරුත් නිතර මෙම කිලිවලට හසුවීම සුලභ දෙයකි. නමුත් එයින් ඇතිවෙන ප්‍රශ්න මගහරවා ගැනීමට විවිධ ක්‍රමද පුරාණ පොත පතේ සඳහන් වේ.
ඒ අතර කිල්ලට හසුවන විට ඇඳ සිටි ඇඳුම ගලවා සෝදා  තමුනුත් දිය නා දෙහි ඉස්ම හිසේ සිට පාද දක්වා තවරා ගෙට ඒම එක් විසඳුමකි. තවද දෙහි කොළ පොඩිකර හිසේ ගා ගැනීමෙන් ද කිලි නැති වී යතැයි සඳහන් වේ. තවද කිල්ලට හසුවූ පුද්ගලයා පිරිසිදු අමු ගොම ගොඩක් කතා නොකර පෑගීමද කිල්ල නැතිවන තවත් ක්‍රමයකි. අමු කහ, පෙරුම්කායම් වැනි ද්‍රව්‍ය කුඩා කැබලි ගෙන අතේ බැදීමෙන් ද කිල්ල නැති වී යයි.
ගුප්ත විද්‍යාවේදී මන්ත්‍ර මගින් යන්ත්‍ර ජීවම් කිරීමේදී කිලිවලට හසුනොවන ලෙස ජීවම් කළ යුතුයි. ඊට අමතරව සිංහල වෙදකමේද ඇතැම් වෙදකම් කිලිවලින් තොරව සිදු කිරීමටද වගබලා ගත යුතුය.
යම් නිවසක කිලි සහිත දෙයක් ඇත් නම් ඒ බව ප්‍රදේශයේ ජනයා දැනුවත් කරනු වස් නිවසේ දොරකඩ හෝ වත්තට ඇතුළුවන ගේට්ටුව අසල හෝ ඉදිරිපිට ගොක් කොළ තිර නූලක අමුනා එල්ලා තැබීම අද ද සිදු කරයි. ගොක් කොළ වෙනුවට කුඩා කොහොඹ අතු, අඹ අතු, අඹ කොළ වැනි දෑ එල්ලීමද දැකිය හැක.
පුරාණයේ සිට අද දක්වාම පැවත එන මෙම කිල්ල කුමක් දැයි හරියාකාරව හඳුනාගෙන එයින් ආරක්‍ෂා වී නොසැලකිල්ල මගහරවා සැලකිල්ලෙන් යුතුව ජීවත් වීමට ඔබත් අද සිටම අදිටන් කර ගන්න.
ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද,
ජ්‍යොතිෂ්විඤ්ඤානාචාර්ය (එම්ඒ)