වන්ධ්‍ය නොහෙත් දරු ඵළ අහිමි වීම

ddddයුවළක් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර, සරු කාලයේදී සංසර්ගයේ යෙදීත්, වසරක් ගතවන තෙක් දරුවකු පිළිසිඳ නොගැනීම “වන්ධ්‍යා” හෙවත් “අසාර්යතාව” ලෙස හඳුන්වනු ලැබේ.

1. ප්‍රතිකාරයෙන් පසු හෝ ප්‍රමාද වී හෝ දරුවන් ලබන
2. කිසිම ආකාරයකින් දරුවකු පිළිසිඳ නොගැනීම


“නස්ත්‍රියං පුරුෂාත්චාපි වන්ධ්‍යාස්‍යපි” (භාරිත) බොහෝ දෙනා වඳභාවය පිළිබඳව කතා කිරීමේදී කාන්තාවට පමණක් එහි බර පැටවීම අද මෙන්ම පුරාණ සමාජයේ ද දැකගත හැකි විය. නමුත් ආයුර්වේදයේ සඳහන් කරන ආකාරයට මෙලෙස වඳභාවයට පත්වන්නේ කාන්තාව පමණක් නොවේ. පුරුෂයාද වඳභාවයට ලක්වේ. යම්කිසි යුවළක් දරුඵල අහිමිව පසුතැවේ නම් කාන්තාවට මෙන්ම පුරුෂයාටද අදාළ දෝෂ තත්ව විමසා ප්‍රතිකාර කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය.
දරුවකු පිළිසඳ ගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන සාධක හතරකි. එනම් ඍතු, ක්ෂේත්‍ර, බීජ, අම්බු යන මේවාය. ඍතු යනුවෙන් කාන්තාවකගේ සරු කාලය සලකනු ලැබේ. මීට අමතරව දරුවකු පිළිසිඳ ගැනීමට සුදුසු කාලය ද මේ “ඍතු” වලට අදාළව සැලකිය හැකිය. එනම් ආර්තව හරණයට හෝ වැඩිවියට පත් වීමෙන් පසු කාලයයි. “ක්ෂේත්‍ර” යනු සෞඛ්‍ය සම්පන්න, නිරෝගී ගර්භාෂයක් තිබීමයි. එහි රුධිර කේෂ නාලිකා හොඳින් වර්ධනය වී තිබිය යුතු අතර ගර්භාෂගත එන්ඩොමෙටි්‍රයම අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වී තිබිය යුතුය. “අම්බු” යනුවෙන් හඳුන්වන්නේ දරු ගැබට අවශ්‍ය පෝෂණයයි. එනම් පෝෂණ කොටස් අන්තර්ගත තරලයක් හා හෝමෝන වර්ග නිසි ප්‍රමාණයට තිබීම මගින් වර්ධන වන ගර්භයට නිසි පෝෂණය ලබාදිය යුතුය. “බීජ” යනු මවගේ ඩිම්බ හා පියාගේ ශුක්‍රාණු වේ. මේවා නිසි වර්ණ දේහ ප්‍රමාණවලින් යුක්තව දෝෂ රහිතව පැවතිය යුතුය. මේ ආකාරයට ඍතු, ක්ෂේත්‍ර, බීජ, අම්බු යන හතර එකට එකතු වූ ස්ථානයට “ආත්මයක්” පැමිණි කල්හි ගර්භාෂය තුළ ගැබක් හටගනී.
වන්ධ්‍යාත්වය සඳහා බලපාන හේතු කීපයකි. වයසින් අඩු වීම හෝ වර්ධනයෙන් අඩුවීම, ගර්භාෂගත තුවාල ආදිය නිසා නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති වීම, විවිධ රෝගාබාධ නිසා ශරීරය කෘෂ, දුර්වල වීම, යෝනි මාර්ගගත රෝග හෝ දෝෂ තත්ත්ව, සංසර්ග අසමර්ථතාවය, ශක්‍ර දෝෂ, ආහාර දෝෂ, අධික මෛථුනය, අකාල යෝග (සරු කාලයේ එක් නොවීම) ආදී කරුණු නිසා යම් පුද්ගලයෙක් වඳභාවයට පත්විය හැක.
කාන්තාවගේ මෙන්ම පුරුෂයාගේ පවතින විවිධ රෝගාබාධ හා දුර්වලතා හේතුවෙන් දරුඵල අහිමිවීම සිදුවිය හැකි බව පැහැදිලිය. නමුත් නිසි ප්‍රතිකාර යෙදීමෙන් දරුඵල හටගැනීම සිදු කළ හැකිය.
විශේෂයෙන් කාන්තාවන් හට Endometriosis, Pcos (ploy Cystic Orarian syndrome) රෝග තත්ත්වයක් පැවතීම මෙයට ප්‍රධානව බලපානු ලැබේ. අක්‍රමවත් ඔසප් චක්‍ර පැවතීම, නිසි අයුරින් ඩිම්බ පිට නොවීම ආදිය මෙහිදී දැකගත හැක. මේ සියලු රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ හා ප්‍රතිකාර ආයුර්වේදය සතු වේ.
බාහිර ප්‍රතිකාර වශයෙන් ස්නේහ, ස්වේදන එනම් තෛල අභ්‍යංග කර වාෂ්ප ස්වේද ලබාදීම (Body massage & Steambath) මගින් රෝගියාගේ ශරීරය තුළ ක්‍රියාකාරී බව වැඩි කළ හැකිය. ස්‍රෝතස් අවරෝධය වලක්වා ගත හැකිය. එමෙන්ම “ශිරෝධාරා” ප්‍රතිකාර හා නස්න කර්ම මගින් පිටයුටරි ග්‍රන්ථිය, හයිපොතැලමස වැනි මොළයේ කොටස් ක්‍රියාකාරී කිරීම මගින් හෝමෝන ස්‍රාවය නිසි අයුරි සිදුකරගත හැක. එමෙන්ම වස්ති කර්ම යෙදීම මගින් රෝගීන්ගේ වාත දෝෂ ඉවත් කිරීම කළ හැක.
අභ්‍යන්තර ඖෂධ වර්ග ලෙස කෂාය, ගුලි, කල්ක, චූර්ණ, අවලෝහ, රසායන, ඍත වර්ග ආදිය යෙදීම කළ හැක. මේ සියලු ප්‍රතිකාර මගින් ගර්භාෂ දෝෂ, ඩිම්බ දෝෂ, ශුක්‍ර දෝෂ මෙන්ම හෝමෝන දෝෂ ශරීරයෙන් ඉවත් කිරීම මගින් ඉතා කෙටි කාලයක් තුළ වුවද දරුවකු පිළිසිඳ ගැනීමට හැකි අවස්ථාව සපයා දීමට අපට හැකියාව ඇත. කරුණු කාරණා කෙසේ වෙතත් මෙහිදී රෝගීන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි වෛද්‍ය උපදේවලට අනුවම සිදු කළ යුතුය.
සුදුසු ආහාර පාන, හැසිරීම් රටා, ඖෂධ ආදී මේ සියල්ලත් පත්‍යාපත්‍යයත් රෝගියාගේ දෝෂ තත්ත්ව මත වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලැබේ. ඒවා නිසි ආකාරව පිළිපදිමින් ප්‍රතිකාරවලට යොමුවන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම ඉතා කෙටි කාලයකදී දැකගත හැකිය.

වෛද්‍ය ඩබ්. ඒ. අයි. පුෂ්පමාලි
බී. ඒ. එම්. එස්. (පළමු පෙළ ගෞරව) කැලණිය
ඉසිවරී වෙද අසපුව- බණ්ඩාරගම
නොමිලේ විස්තර සඳහා අමතන්න
0713160601/ 0718307411