සාමුද්‍රිකා ශාස්ත්‍රය තුළින් හස්තය නිවැරදිව හඳුනා ගනිමු

යමෙකුගේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය යන දත්ත තුනෙන් එකක් හෝ වැරදුනොත් කොතරම් අති දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු, සාදනු ලබන කේන්ද්‍ර සටහනක් වුවද වරදී. එහෙත් අත්ල, එහි පිහිටි රේඛා, සලකුණු හා චර්මීය රටා යනාදිය කිසිදා නොවරදී එහෙයින් සාමුද්‍රිකා ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා විද්‍යාවට හිමිවන්නේ සුවිශේෂී වටිනාකමකි.


සාමුද්‍රිකා ශාස්ත්‍රය අධ්‍යයනයේදී මූලික අංග 3 ක් හඳුනාගත හැක. එනම්
1. අත සහ ඇඟිලි අධ්‍යයනය
2. අත්ලේ රේඛා අධ්‍යයනය
3. අත්ලේ සහ ඇඟිලිවල චර්මීය රටා අධ්‍යයනය. අත්ල හෙවත් පානී තලය ප්‍රධාන කොටස් 3 කින් යුක්තය. ඒ ඇඟිලි සහිත කොටස, ඇඟිලි මුල සිට රේඛා ආරම්භය තෙක් කොටස හා රේඛා ආරම්භයේ සිට මැණික් කටුව දක්වා ඇති කොටස යනුවෙනි. මෙම කොටස් වෙන් වෙන්ව ගෙන අධ්‍යයනයෙන් පැවසිය හැකි කරුණු බොහෝය. එසේම අත්ලේ ප්‍රමාණය හා ස්වභාවය පදනම් කරගනිමින්ද ඇඟිලිවල ස්වභාවය අධ්‍යයනයෙන්ද හඳුනාගත හැකි ලක්‍ෂණ එමටය. කෙසේ වෙතත් සාමුද්‍රිකා ශාස්ත්‍රයේදී අධ්‍යයනය පහසුව සඳහා මිනිස් අත ප්‍රධාන අත් වර්ග 7 කට බෙදා දක්වයි. ඒ මෙසේය.
1. මූලික අත හෙවත් පාරම්භ අත
2. කාර්මික අත හෙවත් ස්පැචුලාකාර අත
3. කලා අත
4. දාර්ශනික අත
5. චෛතසික අත හෙවත් අධ්‍යාත්මික අත
6. චතුරස්‍ර අත
7. මිශ්‍ර අත
මෙම ප්‍රධාන අත් වර්ග 7 ට අතිරේකව කලාතුරකින් ත්‍රිකෝණාකාර අත දැකිය හැක. එසේම ඉහත සඳහන් ප්‍රධාන අත් වර්ග දෙකක ලක්‍ෂණ මිශ්‍ර වූ අත්ද දැකිය හැක. එහිදී වැඩියෙන් කැපී පෙනෙන ලක්‍ෂණ සහිත අත් වර්ගයට අදාළව වැඩියෙන් පලාඵල පැවසිය හැක.
තද අත්ලේ මහතට ඇඟිල්ලේ සිට සුලැගිල්ල දක්වා පිළිවෙළින් ඇඟිලි සිකුරු, ගුරු, ශනි, රවි බුධ ආදී ග්‍රහයන්ට අයත්කර ඇත. එසේම රාශි චක්‍රයේ රාශි 12 ද එක්තරා රටාවකට අනුව දබර ඇඟිල්ලේ සිට සුලැඟිල්ල දක්වා ඇඟිලිවල පුරුක්වලට ගලපා ඇත. එසේම එක් එක් ග්‍රහයන්ට අයත් මණ්ඩල ද අත්ල තුළම වේ. එම මණ්ඩලවල ස්වභාවය හා වැටී ඇති සලකුණු අධ්‍යයනය තුළින් ද පැවති හැකි දේ එමටය. හස්ත රේඛා විද්‍යාවේදී මෙම මණ්ඩල ඊට අනුරූප සංකේත අනුකරණයන් බොහෝ පොතපතෙහි දක්වා ඇත. පහත සටහන අධ්‍යයනයෙන් උක්ත කරුණු පහසුවෙන් හැඳින අවබෝධ කරගත හැක.
රූප සටහන
දූපත්, ත්‍රිශුල, කතිර, තරු, දම්වැල්, කව, ග්‍රිල්, දැල්, ලප චාමර, උඩුකුරු යටිකුරු රේඛා ආදිය දැක්විය හැක. මෙයට අතිරේකව මණ්ඩලවල සංකේත එම මණ්ඩල තුළ විද්‍යමාන වීමත් මණ්ඩලවල උත්තල අවතල ආදී කොට ඇති ස්වභාවයනුත් හස්ත රේඛා විමර්ශනයේදී සලකා බැලිය යුතුමය. ඒ අනුසාරයෙන් ප්‍රකාශ කළ හැකි අනාවැකි ද බොහෝය. අත්ලේ පිහිටන ප්‍රධාන රේඛා අත්ලේ සටහනක මෙලෙස නිරූපනය කළ හැක.
රූප සටහන
හස්ත රේඛා විෂය සම්බන්ධව හොඳ දැනුමක් ලබාගැනීම තුළින් ජන්ම පත්‍රය සේම හස්තයද ඉතා සාර්ථකව පලාඵල කථනයට යොදාගත හැක. දක්‍ෂ හස්ත රේඛා ජ්‍යොතිෂවේදියකුට හඳහනේ දක්නට ලැබෙන යෝග ආදියට අදාළ පිහිටීම් හස්තය තුළින් හඳුනාගත හැක. එපමණක් නොව අත්ලේ සහ ඇඟිලිවල චර්මීය රටා අධ්‍යයනය තුළින් ද බොහෝ කරුණු කාරනා ද ප්‍රකාශ කළ හැක. දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු වීමට නම් හස්ත රේඛා විද්‍යාව සම්බන්ධව ද දැනුවත් විය යුතුය.
ජ්‍යොතිෂවේදී, දේශබන්ධු,
මහේන්ද්‍ර පල්ලෙබැද්ද