දෙවියන් මැවූ ශාකය මුරුංගා

ශෝබාංජන, තීක්‍ෂණමූල, අක්‍ෂි, ශ්‍රීගර්ද යන පර්‍යාය පදවලින් හඳුන්වන මුරුංගා වියලි කලාපයේ හා තෙත් කලාපයේ යන කලාප දෙකේම සරුවට වැවෙන ශාකයකි. මුරුංගා ශාකයේ මේරූ අතු කැබලි හොඳින් සූර්යාලෝකය වැටෙන ස්ථානයක සිටවීම තුළින් අතුපතර හොඳින් වැඩුණු සාරවත් මුරුංගා ශාකයක් ලබාගත හැක. මුරුංගා ඵදරසබට්ජැ්ැ කුලයට අයත් වන අතර ඵදරසබට ්දකැසfැර් යන උද්භිද විද්‍යාත්ක නාමයෙන් හඳුන්වයි. අතු හොඳින් විහිදී සාරවත්ව වැඩුණු මුරුංගා ශාකයක මුරුංගා මල් හටගනී. මෙම මුරුංගා මල් හටගන්නා කාලයේ වර්ෂාව අධික නොවී වියලි කාලගුණයක් පැවතිය හොත් මුරුංගා කරල් සාර්ථකව වර්ධනය වේ.


මුරුංගා වර්තමානයේ බහුකාර්ය ශාකයක් ලෙසත් අතීතයේදී දෙවියන් විසින් මැවූ ශාකයක් ලෙසත් පිළිගැනේ. එසේ වී ඇත්තේ මුරුංගාවල ඇති ඖෂධීය ගුණය පදනම් කර ගනිමිනි. මුරුංගා කරලේ ඇති ඖෂධීය ගුණ අසාමාන්‍ය වේ. එපමණක් ද නොව මුරුංගා ශාකයේ මුරුංගා මල්, පොතු, පත්‍ර හා මුරුංගා ගහේ ලාටු ද ඖෂධ සඳහා යොදාගනී.
මුරුංගා විෂ නාශක ඖෂධයකි. දැල්ලො, ඉස්සෝ ආදී උෂ්ණ අධික සැර ව්‍යාංජන පිළියෙළ කිරීමේදී මුරුංගා කොළ දමනු ලබයි. එමගින් එම ව්‍යාංජනයේ ඇති විෂ හරණය වේ. උත්සව අවස්ථාවලදී දමන අච්චාරුව ඉක්මනින් පැසවීම සඳහා ඊට මුරුංගා පොතු එක්කරනු දැකිය හැක. පෙර විසූ ආදි ජනයා මුරුංගා පොතු වියලා කොටා කුඩුකර තබා ගනිමින් කුළුබඩුවක් ලෙස දිනපතා ව්‍යාංජනවලට දැමීම සිදු කළහ. එසේ කිරීම තුළින් ඔවුන් රෝග ගණනාවක් සෑදීම වළක්වා ගත්හ. ඒ අතර පනු රෝග, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග, කැස්ස, ඇදුම ආදී රෝග ප්‍රධාන වේ. මුරුංගා නිතර ආහාරයට ගැනීම තුළින් ශරීරය දුර්වලවීම නැතිවී ශරීරයට නව පනක් ශක්තියක් ගෙන දීම ද විශේෂය. මුරුංගා ආහාරයට ගැනීම තුළින් ආහාර ජීර්ණය හොඳින් සිදුවී මළ බද්දය ඇතිවීම පාලනය කරයි.
මුරුංගා කොළ මැල්ලුමක් ලෙස යොදාගත හැක. මුරුංගා කොළයේ ද අප නොහිතන තරම් ඖෂධීය ගුණයක් පිරී පවතී. මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී කැරොටීන්, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස් හා ඛනිජ ලවන ඇත. මුරුංගා කොළ කොටා යුෂ ගෙන එම යුෂ කැඳ ලෙස හෝ වෙනත් ක්‍රමයකට පානය කිරීම ද ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යෑමට බෙහෙවින් උපකාරී වන දෙයකි. තවද මුරුංගා කොළ අස්ථි වර්ධනයට, ගැබිනි මවුවරුන්ට, කුඩා දරුවන්ට ඉතා පෝෂ්‍යදායී වේ. එමෙන්ම හන්දිපත් රුදාව ඇති අයට ද මුරුංගා කොළ අනුභව කිරීම ඉතා වටී.
දෙබර, බඹර, ගෝනුසු ආදී සතුන් දෂ්ට කිරීම තුළින් ඇතිවන විෂ හරණයට ද මුරුංගා ආහාරයට ගැනීම වටී. තවද බල්ලන්, පූසන්, ලේනුන්, මීයන්, මුගටින් සපා කෑ විට මුරුංගා කොළ විට කන හුණු සමග කොටා එම තුවාල මුඛයට තැබීම අදටත් නිවෙස්වල සිටින පැරැන්නන් අත් බෙහෙතක් ලෙස සිදු කරනු දැකිය හැක. එමෙන්ම ශරීරයේ ඇති කොලෙස්ටරෝල් හා සීනි පාලනයට ද තම ආහාර වේලට මුරුංගා එක්කර ගැනීම වටී. ඇස් රෝග ඇතිවීමද මුරුංගා මගින් පාලනය වේ.
මුරුංගා කරලේ ඇති ඇට ද ජලය පවිත්‍ර කිරීම සඳහා යොදාගනී. නමුත් මෙම ක්‍රමය ලංකාවේ දැකිය නොහැකි වුවත් මුරුංගා වගාව සිදුකරන බුරුමය, ඉන්දියාව, පිලිපීනය වැනි රටවල දැකිය හැක.
මුරුංගා ප්‍රභේද 3 ක් ඇත. ඒ හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා ය. මෙම මුරුංගා ප්‍රභේද කර ඇත්තේ එම මුරුංගා ශාකයේ හටගන්නා කරලේ ස්වභාවය අනුවය. හේන් මුරුංගාවල කරල සිහින් වන අතර මස් මුරුංගාවල කරල විශාලය. මහතය. වැට මුරුංගා හෙවත් වැටේ මුරුංගා වතුවල මායිම්වල වවන මුරුංගා විශේෂයකි. මෙම මුරුංගා ශාකයේ කරල මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තය.
මේ හැරුණු කොට මුරුංගා මලේ පාට අනුව ද ප්‍රභේද 3 කට වෙන් වේ. ඒ මල රතු පාට මුරුංගා, මල නිල් පාට මුරුංගා හා මල සුදුපාට මුරුංගා ලෙසය. මෙයින් මල රතුපාට මුරුංගා හා මල නිල්පාට මුරුංගා ලංකාව තුළ ඉතා විරල වන අතර සෑම ස්ථානයකම පාහේ දැකිය හැකි වන්නේ මල සුදු පාට මුරුංගාය.
මුරුංගා ශාකයට එතරම් සාත්තුවක් අවශ්‍ය නොවන නිසා කාර්ය බහුල අයකුට වුවද මුරුංගා ශාකයක් වවාගත හැක. මන්ද මුරුංගා ඉතා වියලි නිසරු පරිසර පද්ධතියක් යටතේ වුවද හොඳින් වැඩීම හේතුවෙනි. මුරුංගා ශාකය අතු අනෙකුත් ශාකවල අතු මෙන් හයිය නැති බවද තරයේ සිත තබාගත යුතුයි. එනිසා මුරුංගා ශාකයේ අස්වනු නෙලීමේදී කිසිවිට මුරුංගා ශාකයට ගොඩ නොවිය යුතුයි. ඵලදාව නෙලීම කෙක්කක් ආධාරයෙන් කළ යුතුයි. නෙලා ගත් ඵලදාව සතියක් පමණ වුවද කල්තබා ගත හැකිවීම මුරුංගා කරලටම ආවේනික වූවකි. නමුත් සතියට වඩා කල් ඉකුත් වෙත්ම මුරුංගා කරල මේරීමට මෙන්ම වේලීමට පටන්ගනී. එනිසා අස්වනු නෙලා සතියක් ඉක්මවීමට පෙර ආහාරයට ගැනීම මෙන්ම වෙළෙඳපොළට දැමීම සිදු කළ යුතුයි.
මුරුංගා යනු ඖෂධීය ගුණයෙන් පිරිපුන් මෙන්ම ආර්ථික වටිනාකමක් ද හිමි බෝගයකි.
ඔබත් ඔබේ ගෙවත්තේ මෙම වටිනා දිව්‍යමය ශාකය සිටුවා එහි ඵල ප්‍රයෝජන ලැබ නිරෝගී වාසනාවන්ත ධනවත් පුද්ගලයකු වන්න.
ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
ජ්‍යොතිෂ් ශිරෝමණී (බීඒ)
ජ්‍යොතිෂ් විඤ්ඤානාචාර්ය (එම්එම්)