පැරණි ආහාර රටාව අමතක කර ලෙඩ වෙන අපේ වර්තමාන ජනතාව

මේ ලිපිය ලියන මා 84 වැනි වියට පා තැබීමට ඇත්තේ තව මාසයක් පමණ කාලයකි. කටේ දත් සියල්ලම ඇත. හිසේ තට්ටය පෑදී නැත. ඇස් පෙනීම දුර්වල නැත. මීට හේතුව එදා අපේ කෑම, බීම, ගමන් බිමන්, ක්‍රීඩා දිය නෑම ආදියයි. රෑට උයන බත් ඉතිරි වුවහොත් දිය බත් දමා උදේට දෙහි සහ රතු ලූනු දැමූ දිය කිරි හොද්දක් සමඟ ද, වතුර නොදා තබා හීල් වූ බත් පොල් ගාලා ලුනු ටිකක් ඉහගෙන ඒ සමඟ ද කෑ බව අද මෙන් මතකය.

ශරීරයේ උෂ්ණ ගතිය ඇත්නම් දිය බත් ද ශක්තිය අවශ්‍ය නම් හීල් බත් ද වැදගත්ය. අද සමහරුන් දිය බත් කන්නේ බත් ටික මිරිකා ගෙන වෙනත් වතුරෙන් පොල් මිරිකා කිරි හොදි සාදා ගෙනය. එය ඉතා අසාර්ථක ක්‍රමයකි. එහි කිසිදු ගුණයක් නැති තරම්ය. දිය බතෙහි ගුණය ඇත්තේ බතට දමා තිබූ දියෙහිය. බත් නොකා දිය ටික පෙරාගෙන බීවත් මහත් ගුණයක් ඇති දෙයකි. දිය නොදා තබන බත ‘හීල් බත්ය’. බත හීල්වෙන විට එහි ‘යීස්ට්’ නමැති රසායනය ඇති වෙයි. එය පෝෂ්‍යදායකය. ඇතැම් රෝගවලට බෙහෙතකි.
හීලට තිබුණ බත් දීපන් ළමයින්    ට
රාලට ටිකක් දීපන් වැඩට යන්න    ට
යන කවි පැරණි කවි දෙපදයෙන් මෙය සනාථ වෙයි. ළමයාට මානසික හා කායික ශක්තිය අවශ්‍යයි. ‘රාල’ යනු ගෙදර ප්‍රධානියාය. ඔහු උදේ යන්නේ හේනේ, කුඹුරේ වැඩටය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හීල් බතෙන් ලැබුණේය. හීල් බත් කාලා ලබු කැටයකට ඇල් වතුර පුරවා ගෙන හේනට කුඹුරට ගිය මිනිසා කිසිදු අපහසුවක් නැතිව විශාල වැඩ කොටසක් කර දවල් ගෙදර ආවේ වැවෙන් දිය නාගෙන. එදා සෑම කෙනෙක්ම පාහේ දවල් කෑම කෑවේ දිය නාගෙනය. දිය නාන ගමන් අහල පහළ තිබුණොත් ඕලු නැටි, මානෙල් නැටි, කෙකටිය මල් මිටක් කඩාගෙන ආවේ නොමිලේ ලැබෙන ඉතා රසවත් ගුණවත් වෑංජනයක් සාදාගත හැකි නිසාය. කාන්තාවක් වුවත් එසේමය.
හේන් කෙටීමට ගොස් එන විට අත දිගහරියක කිබුණොත් එළබටු ගෙඩි ටිකක් කෙකටිය දලු, ලෝලු දලු, තෝර කොළ, ලී කොළ, කර කොළ, අඟුණකොළ, මැල්ල කොළ, කරපිංච අත්තක්, තැල්කොළ ටිකක් කඩාගෙන ඒමට ඔවුහු හුරුවී සිටියහ. මේවා අමතර කාලයක් ගතවන වෙහෙසක් වෙන දේවල් නොවීය.
කාන්තාවෝ වැවට දිය නෑමට ගිය විට කංකුන් (විලකොළ), මුඟුණුවැන්න, තුන්හිරිය පලා ටිකක් කටාගෙන ඒමට අමතක කළේ නැත. හේනට ගිය විට මෑකරල්, මුං කරල්, බණ්ඩක්කා කරල්, තම්පලා, ලංසි වැනි පලා වර්ගයක්, අසමෝදගම් පැලෑටි කීපයක් කඩාගෙන දර මිටියකුත් බැඳගෙන ගෙදර පැමිණි අම්මා ළඟ ආවේ සුවද මිස ගද නොවෙයි එදා හේන්වල අසමෝදගම් ඇට ඉසීම කෙරිණ.
අතට වෙරලු කඩාගෙ    නේ
ඉණට පලා නෙලා ගෙ    නේ
බරටම දර කඩාගෙ    නේ
එයි අම්මා විගසකි    නේ
යනුවෙන් එදා ගෙවිලිය, කාන්තාව, වර්ණනා කෙරිණි. පලා මැල්ලුමක්, මුං ඇට හොද්දක්, අඹ හොද්දක්, කුරක්කන් රොටියක්, පිට්ටුවක් එදා අනුභව කළේ මොන තරම් ආඩම්බරයකින්ද? එහි වස විස තිබුණාද? ආහාර ගැනීමෙන් පසු බුලත්, පුවක්, හුණු සමඟ බුලත් විටක් සැපුවේ කෙතරම් ප්‍රීතියෙන්ද? බුලත්විට සපා ගිලින කෙළ ටික මොන තරම් වටිනා බෙහෙතක්ද? බුලත් පුවක් සහ හුණු සහිත බුලත් විටේ කෙළ අප ගත් ආහාරවල යම්කිසි විසක් ඇතොත් එය නසන වටිනා ඖෂධයකි. හේනේ කුඹුරේදී ඇඟිල්ලක් කැපුණොත් එතැනට බුලත් හප ටිකක් තබා බැදීමෙන්ම එය සුව විය.
එදා අපේ ආහාර ක්‍රමයේ වැදගත් දෙයක් වූයේ ගෙදර උයන සෑම දේම සෑම දෙනාම භුක්ති විඳීමය. මම අහවල් දේ කන්නේ නෑ. යන තත්ත්වයක් එදා නොතිබිණි. මුං, මෑ වැනි ඇට වර්ග, තෝර, මුඟුණුවැන්න, තම්පලා වැනි කොළ වර්ග කටු අල, බතල, කිරි අල, මානෙල් අල වැනි අල වර්ග, බණ්ඩක්කා, මුරුංගා, වැටකොලු වැනි කරල් වර්ග, බටු, කරවිල, තුඹ කරවිල, එළබටු, තිත්ත තිබ්බටු, ගිරිතිල්ල ගෙඩි, අඹ වැනි ගෙඩි වර්ග, කුරක්කන්, මෙනේරි, අමු, හාල්, ලංසි, මුං වැනි ධාන්‍ය වර්ග රත් කැවිල, වැලි බිම්වල්, හීන් මැලියන්, වේ බිම්මල්, කුකුල් බඩවැල්, ඉදලෝලු, කඳන් හතු, අලි හතු, හුඹස් බිම්මල්, පිදුරු හතු වැනි හතු වර්ග, මාදං, හිඹුටු, කරඹ, කෑලිය, කටු කැලිය, දිවුල්, දඹ, වල් අනෝදා, වැලි අනෝදා, කටු අනෝදා වැනි ගෙඩි වර්ග, බඩඉරිඟු වැනි ඇට වර්ග, ප්‍රධාන ආහාර වේලක් වශයෙන් ගත හැකි සේරල, ඕලු අල, කෙකටිය අල, මානෙල් අල, නෙලුම් අල වැනි අල වර්ග තමා එදා අප කුඩා කාලයේ කෑවේ. ගෙදර හැම කෙනෙක්ම ඒ උයන ලද සෑම දෙයක්ම කෑවා. ඒ නිසයි අදත් අවුරුදු 80, 90, 100 වැනි වයස්ගත වුවත් නිරෝගීව, බුද්ධිමත්ව ජීවත් වන්නේ. ඉතා හොඳ මතක ශක්තියක් තියෙන්නේ.
එදා අප එලකිරි, මී කිරි මුදවාගෙන ඒ සමගයි බත් කෑවේ. කුරක්කන් රොටිය තරමක් දුරට මිරිස් ගලෙන් තලලා දුන් තෙල් ටිකක් තවරා පිඩ අඩලායි (අද රෝල්ස් වගේ) කන්ඩ දුන්නේ. අපි ඒක කකා පාසල් ගියා. පාර අයිනේ තිබෙන වැවට බැහැලා වතුරට කටෙන් පිඹලා රොඩු ඉවත් කරලා වතුරටම කට තියාගෙන බීවා. අපට ලෙඩ හැදුනාද? අදත් දතුත්, කෙසුත්, ඇසුත් ඇතිව නිරෝගීව ඉන්නේ ඒ නිසා නේද?
අද මේ බොහෝ දේවල් කන්න තබා දැක්ක අයෙක්වත් නැති තරමට පිරිහිලා. දැන් ළමා, තරුණ පිරිසගේ ආහාර වන්නේ යෝගට්, අයිස්ක්‍රීම්, චොක්ලට්, සෝස්, ෆ්‍රයිඞ් රයිස්, ඩෙවල්, මුරුක්කු, චොක්ලට් බීම වැනි දේවල්ය. එවැනි දේ කාලා බීලා පටන්ගන්නේ මට හාට් ඇටැක්, ආතරයිටිස්, සුගර්, කොලෙස්ට්‍රෝල්, ගැස්ට්‍රයිටිස්, කිඞ්නිවල ගල්, ප්‍රෙෂර් ආදී වශයෙන් නොදන්නා ඉංග්‍රීසි කෑලි වලින් හදාගත් ලෙඩ කිය කියා කිල්නික් යනවා. එක්ස්රේ ගන්නවා, ඉන්හේලර් උරනවා. කැප්සූල්, ටැබ්ලට් ගිලිනවා. දිවි හිමියෙන් හිසේ තෙල් ගාන්නේ නෑ. නාසයෙන් හොටු සූරන්නේ නෑ. උගුරෙන් සෙම සූරන්නේ නෑ. පැසුන කෙස් කළු කරනවා. ඒවා ගාලා සමහරු මැරෙනවා.
එදා – “දෙදලින් රැගෙන බිම ඇන්නා ලොකු    ඇත්තු
කොඳුඇට පණ නැතිව ඇයි වත්මන්    පුත්තු
අනේ අපේ රට ජාතියට වෙච්ච දෙයක්.
රාමුක බණ්ඩාර
ආයුර්වේද විශාරද පණ්ඩිත,
වේගොල්ල මාස්පොත