සාස්තර ගැන දැනගන්න

ප්‍රධාන වශයෙන් සාස්තර කියන ක්‍රම පහක් තියනවා. ඒවා නම් ආරූඪ, ආකර්ෂණ, කර්ත ම්‍රෘඩ, පේන, අංජනම් එළි ලෙස හඳුන්වන්න පුළුවන්. මේවා දේවතාවුන් වහන්සේලාගේ බලයෙන්, ඥාතීන්ගේ බලයෙන් අංජනම් දේවි හනුමන්ගේ බලයෙන් විය හැක. දේව ආරූඪයෙන් නම් එතරම් ශරීර වෙනස්වීමක් දකින්න ලැබෙන්නේ නෑ. දේව ආකර්ෂණයෙන් සාස්තර කියන විට කිසිම වෙනසක් දකින්නට බෑ. ඥාති ආරූඪයෙන් නම් බොහොම ශරීර වෙනස්කම් දකින්න පුළුවන්. සාස්තර කියන පුද්ගලයා ගැහෙනව, නටනව ආදී වශයෙන්. තවත් සාස්තර කීමක් තියනව නිමිති නමින් හඳුන්වනවා.

මෙය ජ්‍යොතිෂයට සම්බන්ධ ක්‍රමයක්. කුන්ඩලියේ ග්‍රහයන් පිහිටුවා කරන පලාඵල කථනයක් වගේ කීමක්. ග්‍රහයන් පිහිටුවන්නේ ග්‍රහස්පුට ලිතේ තිබෙන විස්තර අනුවයි. මෙය අදට එතරම් ගැලපෙන්නේ නැත්තේ ඒවා පිළියෙළ කර ඇත්තේ 1900 තරම් කාලයේදී පිළියෙළ කරල ‘රෆායල්’, ‘ලහිරු’ ආදී පොත්වල ඇති ගණිතානුසාරයෙන්ය. එදා එහෙම වුණත් අද ග්‍රහයන් එදා සිටි තැන් හා සැසදීමේදී වෙනස්කම් දකින්න පුළුවන්. ඔබට තාරකා විද්‍යාඥයෙක් හෝ නාසා වැනි ආයතන සමග සම්බන්ධකම් තිබෙනවා නම් මා මේ කියන දේ හරිද කියා විමසා විශ්වාසය ලබාගන්න. ඉහතින් දැක්වූ සාස්තර ගැන කියනවානම් දේවාරූඪයෙන් කියන සාස්තර බොහෝ දුරට ඇත්ත. ඥාති ආරූඪයෙන් කියන ඒවා මුලින් කියන දේ ඇත්ත විය හැකි. ඒ ඔබේ විශ්වාසය දිනාගන්න. ඊටපසු කියන ඒවා විශ්වාස කළ හැකි ද කියලා දහ සැරයක් හිතා බලන්න. ගෙදර විනයක් කරල තියනවා එක නැට්ටේ දෙහි කපන්න, පුහුල් කපන්න, අහු කපන්න, කොඩොල් අල, අලු කෙසෙල් අල කපන්න, දෙහි වළලන්න ආදී කියයි. වහාම පූජා තබා මේවා නිදහස් කරගන්න කියලා කියයි. කවුද කරන්නේ කියල ඇහුවහම කියයි අපි කෙනෙක් මුනගස්සන්නන් කියලා. මතක තියාගන්න ඥාති ආරූඪය කියත් කුබුරුම් ගෙනත් දෙන සම්බන්ධයක්. කුබුරුම් දෙනවා කියන්නේ ජීවත් වන තම ඥාතියාව පොහොසත් කරවීමය. මේ සඳහා බොරු කරන තැන් බොහොම තියනවා. දේව ආරූඪයෙන් එහෙම බොරු කරන්න කියලා කියන්නේ නැත. නියම තත්ත්වය පහදා එයින් ගැලවෙන්න පිහිට ලබාගන්න කළ යුතුම ප්‍රතිකර්මය කියා දෙනවා. අංජනම් එළි ගැන කියනවානම් ඒවා කපුරු, අඳුන, බෙහෙත් අඳුන, පිච්ච මල් අඳුන ආදිය සාමාන්‍යයෙන් හඳුන්වන්න පුළුවන්. පාතාල අඳුන් වර්ග තිබෙනවා ඒවා භයානක තත්ත්වයේ ඒවා නිසා විස්තර කියන්නේ නෑ. සාමාන්‍ය අඳුන් අංජනම් දේවිය හා හනුමන් වඩම්මවා කියන ක්‍රමයකි. මෙහි ඇත්තක් තියනවා. හැබැයි කිසිම තැනකින් එක්වරක් පමණක් කියන දේවල් විශ්වාස කරල වැඩ කරන්න එපා. මුදල් ගැන නොබලා තවත් වරක් තව තැනකින් හෝ අසා විශ්වාසය ඇතිකර ගන්න. ඉන්පසු කරන දේවල් කලාට කමක් නැත. තවත් සාස්තර කීපයක් තියනවා. ඒවා නාඩි සාස්තරය, රේඛා සාස්තරය, අංක සාස්තරය නම් වේ. නාඩි සාස්තරය එය සොයාගත් උදවියගේ පරම්පරාවටම උරුම වී ඇති සාස්තරයක් නිසා. එය එතරම් ප්‍රසිද්ධ නැත. නමුත් ඉන්දියාවේ මෙය ප්‍රසිද්ධය. අනිකුත් සාස්තර කියන්න සෑහෙන ඉගෙන ගැනීමක් තිබිය යුතුය. මේවායේ ඇත්තක් තිබෙනවා. මේ සාස්තර කීමේදී ද ඥාති සම්බන්ධකම් තිබිය යුතුමය. මේ සම්බන්ධකම අපට පේන්නේ නැත. ඒ ආකර්ෂණය කියන ක්‍රමය නිසයි. ඔබ ඒ අය සමඟ හිතමිතුරුකම් ඇතිකර ගත්පසු මෙහි ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්. බෝඞ් එකක් දුටු විට මෙතන හොඳ තැනක් කියා ගිහින් බොරු වැඩවලට මුදල් වැය කරන්නේ නැතුව තව තැනකින් අසා විශ්වාසයක් ඇති වූ පසුව ඒ ශාන්ති කර්ම කළාට කම් නැත. ඇත්ත ඇතිසැටියෙන් දැනගෙන කටයුතු කරන්න දෙවි පිහිටයි.
ආර්. එස්. තුඩුගල
23, වනවාසල පාර,
තොරණ හන්දිය – කැලණිය