බිරිඳ හැඩ වැඩ වෙනවාට සැමියන් අකමැති වන්නේ ඇයි

ජ්‍යොතිෂයයේ දී සෙනසුරු මහල්ලෙකු සේ හඳුන්වයි. මහල්ලාට තරුණ සුරූපී බිරියක් සිටිය හොත් ඇයට ඊර්ෂියා කිරීම ස්වභාවිකය. ඇයගේ සිනහව ගමන බිමන ඔහුට රූස්සන්නේ නැත. මේ ආකාරයට ස්වාමි පුරුෂයා තම බිරිඳට ඊර්ෂ්‍යා කරන්නේ ඔහුගේ කේන්දරයේ සෙනසුරු නීචව, සතුරුව සිටීම සහ සතුරු ග‍්‍රහයන්ගේ දෘෂ්ටිය සෙනසුරුට වැටුණු පුරුෂ කේන්දර ඇති අයයි.


බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වසල සූත‍්‍රයේද මෙසේ ඊර්ෂ්‍යා කරන තැනැත්තා පිරිහෙන බව බුදුරජාණන් වහන්සේද දේශනා කර ඇති බව මෙසේ සඳහන් වේ.
‘‘අතීතයොබ්බනෝ පෝසෝ
ආනේති තිම්බරුත්ථිනිං
තස්සාඉස්සා න සුපති’’
යොවුන් විය ඉක්ම වූ පුරුෂයෙක් යෞවනියක ආවාහ කොට ගෙන ඊර්ෂ්‍යාවෙන් නිදි වර්ජිතව සිටීම යනු එහි තේරුමයි.
මේ අයුරින් සෙනසුරු නීචව පුරුෂ කේන්ද්‍රයේ පිහිටා ඇති සැමියන් තම බිරිඳ ලස්සනට සිටිනවාට අකමැතිය. ඇයගේ විලාසිතා කෙරෙහි ද්වේශ කරයි. මෙවැනි පිරිමි බොරු රණ්ඩු අරගෙන බිරිඳගේ විලාසිතා උපකරණ විනාශ කරන අවස්ථාද දක්නට ඇත.
සිකුරු 22 වන දෙකර්ණාධිපති වීම
පුරුෂ කේන්දරයේ සෙනසුරු නීචව සිටිනවා වගේම සිකුරු 22 වන දෙකර්ණාධිපති වී සිටීමද අහිතකරය. මෙම අය විකෘති කාම ආශාවෙන් පෙළෙන අයයි. බිරිඳ ලස්සනට ඇඳ පැලඳ ගෙන සිටිනවාට කැමතියි. ඇයගේ ලක්ෂණ කෙරෙහි බලා සතුටු වෙනවා පමණක් නොව ඇයට හොරා ඇගේ නග්නත්වය නැරඹීමට ද පි‍්‍රය මනාපභාවයක් දක්වයි.
මෙම අය නවීන මනෝ විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘පරපීඩන කාමුකත්වය’ යනුවෙනි. පරපීඩන කාමුකත්වය යනු විකෘති මානසික ආශ්වාදය ලැබීමේ ක‍්‍රමයයි. කාමුකත්වය විවාහක පුරුෂයා තුළ ඇති වීම ස්වභාවික බව මානසික වෛද්‍යවරුන්ගේ මතයයි. මෙය වරදක් නොවුවත් විකෘති තත්ත්වය අහිතකරය.
බොහෝ විට එවැනි තත්ත්වයන් උදාවෙන්නේ පුරුෂ කේන්දරයේ සිකුරු 22 වන දෙකර්ණාධිපති වූ අයයි. අයථා ක‍්‍රම මගින් අකාලයේ ශරීර ශක්තිය හීනකර ගනී. සමලිංගික ආස්වාදයට නැඹුරු විය හැක. භාර්යාව ස්වාමියා අතර, සමගිය බිඳවැටේ. ලිංගික දුර්වලතා ඇතිවේ. ක‍්‍රමයෙන් ජීවිතය කලකිරුණු තත්ත්වයකට පත්වේ.
සිකුරු ශුක‍්‍ර ධාතුවට හා ඊට අයත් ඉන්ද්‍රියන්ට බලපවත්වයි. ඒ නිසා දුර්වල සිකුරු එවැනි ඉන්ද්‍රියන් තුළ දුර්වලතා ද ඇති කරයි.
පුරුෂ කේන්දරයක සෙනසුරු නීච වීම, සිකුරු දුර්වල වීම විවාහයට තදින් බලපාන කරුණකි. මේ දෙදෙනා විවාහ අවුල් කරයි, විවාහ කඩා දමයි. දෙදෙනා දෙපළකට යවයි. මෙය වැන්දඹු දෝෂයක් හා සමාන ප‍්‍රතිඵල ගෙන දෙන බැවින් පොරොන්දම් බැලීමේදී මේ ගැනත් විශේෂ අවධානය යොමු කළ හොත් අකාලයේ විනාශ වන විවාහ ආරක්ෂා කරගැනීමට හැකිවනු නොඅනුමානය.
22 දෙකර්ණාධිපතිගේ භීතිකාව
22 වන දෙකර්ණාධිපති ග‍්‍රහයාට බොහෝ දෙනෙක් බියක් දක්වති. සෑම ලග්නයකටම 22 දෙකර්ණාධිපති ග‍්‍රහයෙක් සිටී. මේ අනුව එම ග‍්‍රහයා නිසා කිසියම් දුර්වලතාවයක් ඇතිවීම වැළැක්විය නොහැක.
එහෙත් උප්පත්ති කේන්දරයේ ග‍්‍රහ චාරය බලවත් නම්, 22 වන දෙකර්ණාධිපතියා ශුභ නවාංශයක ශුභ නැකතක සිටින විට හා සුබ දෘෂ්ටිය ලබන විට 22 වන දෙකර්ණාධිපතියාගේ අශුභ තත්ත්වය අඩු වන බව මතක තබා ගන්න.
ජනමාධ්‍යවේදී ජ්‍යොතිෂ්‍ය
වාස්තු විද්‍යා උපදේශක, ධර්මාචාර්ය විද්‍යාජෝති ධර්ම බන්දු දේශකීර්ති සාම විනිසුරු (මුළු දිවයිනටම* ජ්‍යොතිර් විද්‍යා කීර්ති ලංකාපුත‍්‍ර