ලෙඩෙක් නොවී නිරෝගීව ඉන්න හොටු සූරන්න – කැහි කාරන්න

මිනිස් සිරුරේ දොර 9 ක් ඇත. එනම් ඇස් දෙක, කන් දෙක, නාස් පුඩු, මුඛය, ලිංගය, ගුද මාර්ගය යනුයි. මිනිසාගේ කෑම බීම, ව්‍යායාම ආදිය නිසා දිරාගිය ඝණ ද්‍රව්‍ය මළ මගින් ද, දියර දෙය මුත‍්‍ර මගින්ද පිටවෙයි. ඊට අමතරව සෙසු කි‍්‍රයාකාරකම් නිසා දුෂ්‍ය වූ වාතය, පිත, සහ සෙම ද ඈනුම සහ දුෂ්‍ය වාතය ලෙස ගුද මාර්ගයෙන් ද පිටවෙයි.

පෙනහලූ, හෘදය, ගලනාලය, මොළය වැනි තැන්වල දුෂ්‍ය වූ සෙම සොටු මගින් නාසයෙන්ද කැසි සෙම මගින් මුඛයෙන්ද පිටවෙයි. ඒ සඳහා හිසේ තෙල් ගෑම, වේදු ඇල්ලීම, ඇඹුල් දොඩම් වැනි දේ පානය කිරීමෙන්ද, වාසක පැණිය, පස්පංගු කසාය සීනි දියකර බීමෙන්ද පස් පංගුව තම්බා වේදු ඇල්ලීමෙන්ද නික කොළ, පාවට්ටා කොළ වැනි දේ තැම්බූ දියෙන් නෑමෙන්ද බුරුල් වන සෙම කෑරීමෙන් මුඛයෙහි සෙම වශයෙන්ද, නාසය සීරීමෙන් සොටු වශයෙන්ද පිටවෙයි.
පෙර දවස තම නිවසේ කුඩා දරුවකුගේ නාසය හිර වූ විට නාසය තුළට පොල් කොස්සක් (කෙන්දක්* ඇතුල් කිරීමෙන් කිවිසුම් යැවීමට සැලසීමෙන් නාසය තුළ සිරවී තිබුණ සොටු පිටකිරීමට මව්පියෝ දැන සිටියහ. සෙම්ප‍්‍රතිෂ්‍යාව සෑදුන විට දින 7 ක් නාවන්නේ නැත. හිසේ තෙල් ගෑම, පස් පංගුව තම්බා පානය කිරීම හා වේදු ඇල්ලීම පමණක් කෙරිණ. 8 වැනි දවසේ උදේ ඉහත කී පරිදි නික කොළ හෝ පාවට්ටා කොළ තැම්බූ උණු දියෙන් ස්නානය කෙරිණි. එවිට පෙනහලූ, හෘදය, ගලනාලය, ස්වාස නාලය හිස යන තැන්වල ඇති දුෂ්‍ය සෙම බුරුල් වෙයි. එවිට එය කෑරීමෙන් හා සීරීමෙන් ඉවත් කෙරිණි. ඒ නිසා ලෙඩ රෝග නැති විය. එසේම එලබටු වැනි සෙම් බුරුල් කරන වෑංජනයක් සමග ආහාර කෑමට සැලැස්විණි. මේ ආදී ක‍්‍රම නිසා එදා සෙම් සොටු ආදියෙන් පීඩා ඇති නොවිණ. නිරෝගී පරපුරක් ඇතිවිය.
අද සිදුවන්නේ එවැන්නක් නොවේ. පපුවේ සෙම ගතිය හෝ නාසයේ සොටු ගතිය දැනුනොත් අද පුරුදුවී සිටින්නේ සෙම වේලීමට ප‍්‍රතිකාර කිරීමය. හිසේ දිය නෑවොත් සෙම බුරුල්වෙයි. ඒ නිසා බොහෝ දුරට වැඩිහිටියන් සහ දරුවන් හිසේ නාන්නේ නැත. මේ නිසා ඔවුන්ගේ ශාරීරික හා මානසික වර්ධනය අඩුවෙයි. රෝග වැඩි වෙයි. වයස්ගත වන විට විවිධ රෝග ඇතිවෙයි. අකාලයේ ලෙඩ වෙයි. අකාලයේ මිය යෑමට පවා ඉඩ ඇත.
සෙම් රෝග ඇත්තන්ට එලබටු, ගොටුකොළ කැඳ ඉතා හොඳ ආහාරයන්ය. ඒ අනුව කටයුතු කළොත් නිරෝගී අයෙක් වෙයි. නොඑසේනම් ලෙඩෙක් වෙයි.
ආයුර්වේද විශාරද පණ්ඩිත
රා.මු.ක. බණ්ඩාර
වේගොල්ල, මාස්පොත