කෝවක්කා ව්‍යාංජනය කෑවොත් ලෙඩ ගොඩක් සුවයි

දේශීය වෙදකමේ මධුමේහය හෙවත් දියවැඩියාව ඇතුළු රෝගාබාධයන් රාශියකට යොදාගත හැකි අගනා ඖෂධ පැළෑටියක් ලෙස කෝවක්කා හඳුනාගත හැක.
ආරෝහණ ලතා විශේෂයක් වන කෝවක්කා ඉන්දියාවේ සෑම ප්‍රදේශයකමත් බෙංගාලය සහ බිහාර් ප්‍රාන්තවලත් ශ්‍රී ලංකාවේත් බහුල ලෙස වැවෙන ප්‍රකට ඖෂධීය ශාකයකි.


වර්ෂා කාලයේදී පැතිරී වැවෙන සහ ආරෝහණ ලතා විශේෂයේ  කටුක රසයෙන් හා මධුර රසයෙන් යුක්ත පැළෑටි වර්ග 2 ක් ඇත. ඒවා පිළිවෙළින් වනය හෙවත් වනගතව වැවෙන සහ ග්‍රාම්‍ය හෙවත් ගම්වල වැවෙන වර්ගයයි. මේ වර්ග දෙක අතුරින් ඖෂධ සඳහා ගනු ලබන්නේ වන්‍ය වර්ගයයි. එහි පංචාංගයම තික්ත රසයෙන් යුක්ත වේ. අනෙකුත් වර්ගය වන ග්‍රාම්‍ය වර්ගය ආහාර සඳහා ගන්නා වර්ගයයි. තවත් විටෙක මෙසේ සඳහන් වේ.
1. මධුර බිම්බි
2. තික්ත කුණ්ඩි වශයෙනි.
මධුර බිම්බි කෝවක්කා  ගෙඩි අමු අවස්ථාවේ කිරි රසයෙන් ද ඉදුණු විට මිහිරි රසයෙන් ද යුක්ත වේ.
අතීතයේ සිටම කෝවක්කා ඖෂධ යෝග සඳහා යොදා ගෙන ඇති බව චරක සුශ්‍රැත ආදි සංහිත ග්‍රන්ථ පරිශීලනයේදී පැහැදිලි වේ. ඊට අමතරව ධනවන්තරි නිඝණ්ඩුවේ සහ කෛයදේව නිඝන්ඩුවේද කෝවක්කා ගුණ සඳහන් වේ. වමනාදී ගුණයටද කෝවක්කා අඩංගුවේ.
කෝවක්කා ගුණ කර්ම ඖෂධීය වශයෙන්
රසයෙන් – තික්ත කටුක කෂායද
ගුණයෙන් – ලඝු රුක්ෂ සහ තික්ෂණ ද වෙයි
විර්යෙන් – උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ.
දෝෂ අනුව සැලකීමේදී  සෙම් පිත් නාශක ද්‍රව්‍යයකි. වමනයෙන් සෙමත් විරේකයෙන් පිතත් බැහැර කරයි. මෙම නිසා සෙම් පිත් රෝගවලදී ප්‍රයෝග කරනු ලැබේ.
ඖෂධ සඳහා භාවිතයේදී පංචංගයම ගත හැක. මුල් කොළ සහ දඬු ද ගෙඩි භාවිතා කරන අවස්ථාද ඇත.
කෝවක්කා මැල්ලුම රසවත් පළාවකි.
ඉඳුණු ගෙඩි රසවත්ය. කෑමට සුදුසු වේ.
මධුමේහය හෙවත්, දියවැඩියාව, සෙම් රෝග පිත් රෝග නසන රෝග රැසකටම ගුණ දෙන කෝවක්කා ගෙඩි ව්‍යාංජනය සාදන්නේ මෙසේය.

අවශ්‍ය ප්‍රමාණයට කෝවක්කා ගෙඩි, පොල්, පොල් කිරි කෝප්ප 1, (මිටි කිරි), රතු ලූනු 05, අමු මිරිස් කරල් 3, කරපිංචා, රම්පේ, උළුහාල්, කුරුඳු පොතු, අමු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, (ලුණු ස්වල්පයක්) ව්‍යාංජනයට අවශ්‍ය ප්‍රමාණයට ස්වල්පයක්
අවශ්‍ය පමණට සෝදා ගත් කෝවක්කා ගෙඩි කැබලි භාජනයකට දමන්න. ඉන් පසුව එය කපා ගත් රතු ලූනු, අමු මිරිස් ද දමා උළුහාල්, කරපිංචා, රම්පේ ද, එකතු කර එයට කුරුඳු පොතු ද දමා අමු මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු ද, තුනපහ කුඩුද, එකතුකර පොල් කිරි (දිය කිරි දමා පළමුවෙන්ම) ඊට පසුව මිටි කිරි ද එකතු කර හොද්ද උතුරන තුරු තබා ලුනු ස්වල්පයක් එකතු කර තැම්බුණු පසුව ලිපෙන් බා අනෙකුත් ආහාර සමඟ රස විදින්න.