සශ්‍රීකත්වය මෙන්ම අභිවෘද්ධිය ගෙන දෙන සඳකඩ පහන

කැටයම් කලාප යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුණු දායාදයකි. කැටයම් කලාව පිළිබඳ විමසීමේදී වාහල්කඩ, කොරවක්ගල, මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩ පහනට ද හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. පාලි භාෂාවෙන් “අඞ්ඩචන්දකපදගණ්ඨිකා” යන නාමයෙන් හඳුන්වන සඳකඩ පහන මුල් යුගවල අඩසඳ පහන ලෙස ද පසුකාලීනව සඳකඩ පහන ලෙස ද නම් කළහ.


සඳෙන් අඩක් බදු ගල යන අර්ථයෙන් යුතු සඳකඩ පහන ආකාර දෙකකට නිර්මාණය විය. ඒ කිසිම හැඩයක් නැති දිග හතරැස් ගල් පුවරුවක් ලෙසත් හා අගනා මෝස්තර නිර්මාණය කළ සඳකඩ පහන ලෙසත් ය. මෙම සඳකඩ පහන පූජනීය හා රාජකීය ගොඩනැගිලිවල දොරටුව පාමුල නිර්මාණය කර ඇත. මුලින්ම මෙම සඳකඩ පහන පූජනීය ස්ථානවල පමණක් නිර්මාණය කළ අතර පසුකාලීනව සඳකඩ පහන මගින් සශ්‍රීකත්වය හා අභිවෘද්ධිය ගෙන දෙන බව ප්‍රකට වීමත් සමග රාජකීය ගොඩනැගිලිවල ද මෙය නිර්මාණය විය.
කැටයම් කලාව ක්‍රි.පු. 3 වන සියවසේ සිට විකාශනය වී ක්‍රි.පු. 6 වන සියවසේ දේශීය කැටයම් කලාව ඇති වූ බව සිතිය හැක. සම්ප්‍රදායික කලා මාධ්‍යයේ කැටයම් කලාවට ලැබුණේ අග්‍රගණයේ ස්ථානයකි. හෙල ගල් වඩුවා ඉතා දක්‍ෂ, ධෛර්ය සම්පන්න, හැකියාවෙන් හා නිර්මාණශීලිත්වයෙන් පිරිපුන් අය වූහ. එනිසාම එකල පැවති ජන සමාජයේ සිතුම් පැතුම් ජනතාවගේ රසඤ්ඤතාවයන්, විද්‍යාත්මක හා තාක්‍ෂණික ඥානයන් මෙන්ම ශිල්පීය කුසලතාවයන් ද මොනවට විද්‍යමාන විය.
ආගමික හෝ රාජකීය ගොඩනැගිලිවලට ඇතුල් වීමට ඇති පියගැටපෙළ මුලෙහි ඇති පාපිස්සක කාර්ය සිදුවන අර්ධ කවාකාර ගල් පුවරුව වන සඳකඩ පහනේ ආරම්භය අනුරාධපුර යුගයයි. මෙම සඳකඩ පහන යුග 3 කින් සංශෝධනය වූවකි. ඒ අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය හා මහනුවර යුගය යන යුග 3 නෙනි.
අනුරාධපුර යුගයේ සඳකඩපහන කිසිදු කැටයමකින් තොර සරල චාම් අර්ධ කවාකාර ගල් පුවරුවකි. මෙවැනි සඳකඩ පහනක් මිරිසවැටිය මහා විහාරයේ දී දැගත හැක. ඉන්පසු මෙම හිස් අර්ධ කවාකාර ගල් පුවරුවේ මධ්‍යයේ පිපුණු නෙළුම් මලක අර්ධයක් නිර්මාණය විය. මෙයට සාධකයක් ලෙස ශ්‍රී මහා බෝධියට ඇතුල් වන දොරටුව අභියස ඇති සඳකඩ පහන පෙන්වා දිය හැක. සම්පූර්ණ සඳකඩ පහන අනුරාධපුර මැද භාගයේදී නිර්මාණය විය. මෙම සඳකඩ පහන මෝස්තර 3 කින් නිර්මාණය විය. ඒ තීරු ලෙසය. පිටතින් ඇති තීරුවේ හමුවන්නේ ගිනි දැල් හෝ පලා පෙතිය. ඊළඟ තීරුවේ ඇත්, අස්, සිහ, ගව යන සතුන් හතර දෙනාගේ පෙරහැරකි. මෙම සතුන් වමේ සිට දකුණට ගමන් කරයි. ඉන් පසුව ලිය වැලකි. ලිය වැලට පසුව හමුවන්නේ වමේ සිට දකුණට ගමන් කරන නෙළුම් පොහොට්ටුවක් කටින් ගත් හංස පෙළකි. සඳකට පහනේ මධ්‍යයේ සම්පූර්ණයෙන්ම පිපුනු නෙළුම් මලක අර්ධයකි.
මෙම අනුරාධපුර යුගයේ සඳකට පහනට වඩා පොළොන්නරු යුගයේ සඳකඩ පහන බොහෝ වෙනස් විය. විශාලත්වය අතින්ද අනුරාධපුර යුගයේ සඳකඩ පහනට වඩා පොළොන්නරු යුගයේ සඳකඩ පහන විශාල විය. එමෙන්ම සඳකඩ පහනේ මධ්‍යයේ ඇති නෙළුම් මල ද තරමක් විශාල වී ඉහළට එසවී ඇත. අනුරාධපුර යුගයේ සඳකඩ පහනේ සත්ව පේළියේ ඇති ගවයා පොළොන්නරු යුගයට යත්ම අතුරුදන් වී ඇත. ඒ හින්දු ඇදහිලි මුල්කර ගෙනය. හින්දු භක්තිකයන් මහත් සේ පුද පූජා තබන ශිව දෙවිදුන් හෙවත් මහා දෙවිදුන්ගේ වාහනය ගවයා වන බැවිනි. හින්දු භක්තිකයන් ගවයා පූජනීය කර සලකන බැවින් ගව රූපය පෑගීම පාපයක් සේ සැලකූ බැවිනි.
අනුරාධපුර යුගයේ නිර්මාණය වූ සඳකඩ පහනේ සතුන් 4 දෙනා එක පෙළට ගමන් කරන සේ දිස් වුණ ද පොළොන්නරු යුගයට යත්ම එක සතෙකුට එක පේළියක් සේ සඳකඩ පහනේ ඉඩ වෙන් විය. අනුරාධපුර යුගයේ නෙළුම් මල ආසන්නයේ ඇති හංස පේළිය පොළොන්නරු යුගයේ සඳකඩ පහනේ පිටත තීරුවට තල්ලු වී ඇති අයුරු දැකගත හැක.
සඳකඩ පහනේ පිට ගැටියේ සිට මැද දක්වා එහි ඇති කැටයම් මෝස්තර පිළිවෙළින් මෙසේය. ගිනිදැල්, සිව්පා පංතිය, ලොකු ලිය වැල, හංස පංතිය, කුඩා ලිය වැල හා මැද විවෘත පද්මයයි. ගිනිදැල් වලින් රාග, දේශ මෝහ යන ගින්නෙන් ලෝකය ගිනිගත් බවත්, සිව්පා පන්තියෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක් සතරත්, ලොකු ලිය වැලෙන් තන්හාවත්, හංස පංතියෙන් හොඳ නරක බේරා ගැනීමත්, කුඩා ලිය වැලෙන් දෙව්ලොවත්, මැද පද්මයෙන් නිවනත් අදහස් වේ.
ලක්දිව කැටයම් කලාවේ කැපී පෙනෙනම අංගය වන සඳකඩ පහන පොළොන්නරු යුගයෙන් පසු මහනුවර යුගයේදී විවිධ වෙනස්කම්වලට ලක්විය. අඩ කවයක් ලෙස ඇරඹි සඳකඩ සම්පූර්ණ කවයක් ආකාරයට නිර්මාණය වූයේ මහනුවර යුගයේදී ය. අනුරාධපුර හා පොළොන්නරු යුගවල අර්ධව පිහිටි නෙළුම් මල ද මහනුවර යුගයේදී සම්පූර්ණ මලක් ලෙස නිරූපණය විය. සඳකඩ පහනේ මුල් යුගවල තිබූ සත්තු සහිත පේළි සියල්ල මහනුවර යුගයේ නැති වී ගොස් අලංකාර ලියවැල් හා මල් වැල් වලින් පිරී ගිය බව පෙනේ. මෙම යුගයට අයත් හොඳම සඳකඩ පහන නිර්මාණය වී ඇත්තේ දළදා මාලිගයෙහිය.
යුග තුනක් හරහා ව්‍යාප්ත වුණු සඳකඩ පහන අදටත් විහාරස්ථාන, පූජා භූමි මෙන්ම මන්දිරවල දොරකොඩ පාමුල දැකගත හැක. හෙළ සංස්කෘතියේ මෙන්ම හෙළ කලාවේ ප්‍රධානම ස්ථානයක් ගත් සඳකඩ පහන මතු පරපුරටත් දැක ගැනීමට අද ජීවත් වන අප එය සංරක්‍ෂණය කළ යුතුය. එය සිංහලයන් වන අප කාගේත් යුතුකම මෙන්ම වගකීම ද වනු ඇත.
ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජ්‍යොතිෂවේදිනී,
දේශබන්ධු,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද,
පානදුර